01

E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0756/2019: පොළොන්නරුව, රාජකීය කණිෂ්ඨ විද්‍යාලය : දියුණු කිරීම

756/’19

ගරු රොෂාන් රණසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පොළොන්නරුව, රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ, 5 ශ්‍රේණිය සමත් ශිෂ්‍යයන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ, 6 වැනි ශ්‍රේණියට ඇතුලත් කර නොගැනීමට හේතුව කවරේද;

             (ii)       රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ, 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්ට ඉදිරි පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන විසඳුම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ, 5 ශ්‍රේණිය සමත් ශිෂ්‍යයන් කණිෂ්ඨ විද්‍යාලය තුළම වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු කරවීමට අදහස්කර තිබේද;

(ii) ඒ සඳහා එම විද්‍යාලයේ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමේ කඩිනම් හා දිගුකාලීන සැලසුම් සකස්කර තිබේද;

(iii) එසේ නම්, එම සැලසුම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       පො‍ළොන්නරුව ප්‍රදේශයේ ශිෂ්‍යත්වධාරින්ට ඇතුළත් විය හැකි පහසුකම් සහිත ප්‍රධානතම පාසල වන්නේ පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලයයි. වාර්ෂිකව ශිෂ්‍යත්වධාරින් විශාල පිරිසක් මෙම පාසල ඉල්ලුම් කරන අතර තිබෙන සීමිත පුරප්පාඩු සංඛ්‍යාව නිසා බහුතරයක් දුෂ්කර පාසල්වලින් පෙනී සිට ශිෂ්‍යත්ව සුදුසුකම් ලබන සිසුන්ට මෙම පාසලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබේ.
‍‍එසේම 2018 වර්ෂය සඳහා පෝෂිත පාසලක්ව පැවැති ‍පොළොන්නරුව ප්‍රාථමික විද්‍යාලයේ සමාන්තර පන්තිවල සිසුන් නියමිත සීමාව ඉක්මවා අත්තනෝමතිකව වැඩිකර ඇත. මේ හේතුවෙන් එම සිසුන් සියල්ල රාජකීය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් කිරීමෙන් දුෂ්කර ප්‍රදේශවලින් ශිෂ්‍යත්ව සුදුසුකම් ලබන සිසුන් විශාල පිරිසකට මෙම රාජකීය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විමට අවස්ථාව ලැබී නැත.

එබැවින් 2018 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය ව්‍යුහ කමිටුව මඟින් පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලයට 2019 වර්ෂයේ සිට ශිෂ්‍යත්වධාරින් පමණක් ඇතුළත් කිරීමට තීරණය කරන ලදී. එසේම රාජකීය ප්‍රාථමික විද්‍යාලය ද්විතීයික පාසලක් ලෙස සංවර්ධනය කිරීමට නිර්දේශ කර අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා පළාත් අධ්‍යාපන ලේකම් වෙත දන්වා ඇත.

(ii) රාජකීය ප්‍රාථමික විද්‍යාලය ද්විතීයික පාසලක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පළාත් අධ්‍යාපන අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇත.

2019 වර්ෂයේ 6 ශ්‍රේණිය සදහා පන්ති 03ක් ආරම්භ කර ඊට අදාළ ගුරුවරු පළාත් අධ්‍යාපන අධිකාරිය මඟින් ලබාදී තිබුණි. නමුත් රාජකීය ප්‍රාථමිකයේ සියලු සිසුන්ට ප්‍රමාණවත් පරිදි පහසුකම් නොතිබු බැවින් සිසුන් මුහුණ දෙන ගැටලුකාරි තත්ත්වය සලකා බලා මෙම වර්ෂයට පමණක් සීමා වන පරිදි ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් 120ක් පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් කරන ලදී.

(ආ) (i) පොළොන්නරුව ප්‍රදේශයට තවත් ද්විතීයික පාසලක අවශ්‍යතාව තිබෙන බැවින් රාජකීය ප්‍රාථමික විද්‍යාලය ද්විතීයික පාසලක් ලෙස සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට දිගින් දිගටම පළාත් අධ්‍යාපන අධිකාරිය දැනුවත් කරන ලදී.

(ii) ඔව්.

(iii) 80 x 20 දෙමහල් ගොඩනැඟිල්ලක් සඳහා මුදල් වෙන් කර ඇති අතර, 2019 වර්ෂය තුළ දී එහි වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත.

ඉදිරි වර්ෂ සඳහා ‍භෞතික සම්පත් ලබා දීමට සැලසුම් සකසා ඇති අතර, එම අවශ්‍යතා පිළිබඳ ඉල්ලීමක් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් වෙත ඉදිරිපත් කර ඇත.

එසේම මේ වන විට පාසලේ පවතින මානව හා භෞතික සම්පත් ඇමුණුම 01හි** දක්වා ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks