පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
663/’18
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා—
(අ) (i) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැනට පවුල් 43,818ක් පමණ ජීවත්වන බවත්;
(ii) මෙම පවුල් අතරින් පවුල් 4,039කට නැවත පදිංචි කළ පසු මෙතෙක් විදුලි සම්බන්ධතා ලබා දී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම පවුල් සඳහා විදුලි සම්බන්ධතා ලබාදීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) නොඑසේ නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-04-03
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මෙම අමාත්‍යාංශය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා 2016 වසරේ සිදු කරන ලද සමීක්ෂණය මඟින් විදුලි සේවාව ලබා ගෙන නොමැති නිවාස ඒකක 200,000ක් පමණ පවතින බව හඳුනා ගන්නා ලදී. ඒ අනුව මෙම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබූ "රටම එළියයි - අඳුර දුරලයි" ජාතික වැඩසටහන යටතේ ඉහත නිවාස සඳහා විදුලි සේවාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. (ඇමුණුම 01)
ඇමුණුම 01 සභාගත* කරමි.
මෙම වැඩසටහන යටතේ,
* විදුලි සේවාව ලබාගෙන නොමැති සියලු නිවාස ඒකක වෙත එම නිවාස තතැදුම් කිරීමට හා විදුලි සේවා සම්බන්ධතාව ලබා ගැනීමට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව සහන ණයක් ලබා දෙන ලදී. සියයට 7ක වාර්ෂික පොලී අනුපාතයක් මත ගණනය කරන ලද සමාන මාසික වාරික 72කින් විදුලි පරිභෝජන ගාස්තුව සමඟ එම ණය මුදල අය කරනු ලැබේ.
* නිවසේ හෝ එහි ඉඩමේ අයිතිය පිළිබඳව සැලකිල්ලට නොගෙන, අදාළ නිවසේ අයදුම්කරුගේ පදිංචිය විදුලි සම්බන්ධතාව ලබා දීමේ නිර්ණායකය ලෙස සලකා කටයුතු කිරීමට අදාළව චක්‍රලේඛය නිකුත් කරන ලදී.
* නිවාස ඒකක තතැදුම් කිරිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මඟින් පවත්වාගෙන යනු ලබන සුදුසුකම් සහිත විදුලි කාර්මික ලේඛනයේ ලියා පදිංචි වී ඇති විදුලි කාර්මිකයන්ගේ සහාය ලබාදෙන ලදී.
පැවති යුද වාතාවරණ අවසන් වීමෙන් අනතුරුව "උතුරු වසන්තය" වැඩසටහන යටතේ භාණ්ඩාගාර අරමුදල් යොදවා ගාස්තු රහිතව නිවාස සඳහා විදුලි සම්බන්ධතා ලබා දුන් අතර, කිලිනොච්චි දිස්ත්‍රික්කය ද ඇතුළුව පළාතේ පදිංචි සමහර පවුල් ඒකක ඉහත වැඩසටහන යටතේ විදුලි සම්බන්ධතා ලබා ගැනීමට කැමැත්තක් නොදැක්විය.
එයට අතිරේකව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක නැවත පදිංචි කිරීම හා ප්‍රතිසංස්කරණය සඳහා වූ සංවර්ධන වැඩසටහන යටතේ දිසාපතිවරයා විසින් වෙන් කරන ලද අරමුදල් යොදවා 2017 හා 2018 වර්ෂවලදී පිළිවෙළින් පවුල් ඒකක 532ක් හා 427ක් සඳහා විදුලි සම්බන්ධතා ලබා දෙන ලදී.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වාසය කරනු ලබන සියලු පවුල් සඳහා විදුලි ප්‍රවේශය පවතී.
(ආ) (i) විදුලි අවශ්‍යතාව ඇති පවුල් ඒකක සඳහා විදුලිය ලබා දීමට මෙම අමාත්‍යාංශය සූදානම්ව පවතී. "ගම්පෙරළිය" වැඩසටහන යටතේ සෑම දිස්ත්‍රික්කයකම විදුලි සේවා නොමැති පවුල් ඒකක අදාළ දිසාපතිවරුන් මඟින් හඳුනාගෙන එම තොරතුරු මෙම අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් ඉල්ලා ඇත. ඇමුණුම 02 යටතේ තවදුරටත් විස්තර තිබෙනවා. ඇමුණුම 02 මම සභාගත* කරනවා.
ඉහත තොරතුරු කිලිනොච්චිය දිස්ත්‍රික්කය වෙතින් මෙම අමාත්‍යාංශය වෙත මෙතෙක් ලැබී නොමැත.
(ii) කිලිනොච්චි දිසාපතිවරයා වෙතින් ඉහත තොරතුරු ලැබුණු වහාම, 2016 වසරේ ක්‍රියාත්මක කළ වැඩසටහනට -(අ) (ii) පිළිතුරෙහි සඳහන් ලෙස- සමාන වූ වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම මඟින් විදුලිය නොමැති නිවාස සඳහා විදුලිය ලබා දීමට කටයුතු කරනු ඇත.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks