04

E   |     |  

 දිනය: 2019-03-11   පිළිතුර ලබා දී ඇත 

0548/2019: කිළි/මුළංගා‍විල් මහා විද්‍යාලය: අඩුපාඩු

548/’19

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කිළිනොච්චි දිස්ත්‍රික්කයේ, පූනගරි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිළි/මුළංගා‍විල් මහා විද්‍යාලය නමින්  ජාතික පාසලක් තිබෙන බවත්;

            (ii)       කිළිනොච්චි දිස්ත්‍රික්කයේ තිබෙන ජාතික පාසල් දෙක අතරින් ගුරු හිඟය,  කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ හිඟය, ඩෙස්ක් පුටු හිඟය හා වෙනත් සම්පත් ඌනතාවලින් දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙන්නේ කිළි / මුළංගා‍විල් මහා විද්‍යාලය බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) කිළි / මුළංගා‍විල් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නම් කවරේද;

(ii) ඉහත පාසලේ පවතින සුළු සේවකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කටයුතු නොකිරීමට හේතු කවරේද;

 (iii) මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර සිටීම තුළින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කළ හැකි වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම පාසලෙහි ගොඩනැගිලි අවශ්‍යතාවයන් සපුරනු ලබන දිනය කවරේද;

(ii) ‍ඩෙස්ක් පුටු හිඟය මුළුමනින්ම සපුරනු ලබන දිනය කවරේද;

(iii) මෙම පාසලෙහි කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-11

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       ඔව්.

              (ii)       මීට පෙර යථෝක්ත පාසල් බලධාරින් විසින් පාසලේ මානව හා භෞතික සම්පත් ඌනතා  සම්බන්ධව අප වෙත දන්වා නැත.

(ආ)          (i)       විදුහල්පති             - පී. ආනන්දරාසා මයා

                         නියෝජ්‍ය විදුහල්පති       - එස්. ශ්‍රීරංජන් මයා

                         අධ්‍යයන කාර්ය මණ්ඩල නාම ලේඛනය    - ඇමුණුම 01/ඇමුණුම 02*

                         අනධ්‍යයන කාර්ය මණ්ඩල නාම ලේඛනය  - ඇමුණුම 02*

(ii) ජාතික පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව මත අවශ්‍ය පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇත. දැනට මෙහි එක් සනීපාරක්ෂක කම්කරුවෙක් සේවය කරනු ලබයි.

අවශ්‍ය පුරප්පාඩු පිරවීමට කටයුතු සිදු කළ ද, වෙනත් හේතු නිසා එම පාසල්වල සේවක සංඛ්‍යාවේ ඌනතාවක් මතු වී ඇත. ඌන සේවක සංඛ්‍යා සඳහා නව බඳවා ගැනීම් සිදු කරන අවස්ථාවේදී පුරප්පාඩු පිරවීමට කටයුතු කෙරේ.

(iii) කලාප ව්‍යුහ කමිටුවේ නිර්දේශ ද, පළාත් ව්‍යුහ කමිටුවේ නිර්දේශ සහිතව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ සහ පළාත් අධ්‍යාපන ලේකම්ගේ නිර්දේශය ද සහිතව, පළාත් ආණ්ඩුකාරතුමා විසින් මෙම පාසලට අවශ්‍ය සියලු මානව හා භෞතික සම්පත් සපුරා ඇති බවට නිර්දේශ කළ බැවින් මෙය ජාතික පාසලක් ලෙසට උසස් කරන ලදී. දැනට පවතින ඌනතා  ඉදිරියේදී සම්පූර්ණ කරනු ලැබේ.

(ඇ) (i) වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදනවලින් සෑම පාසලකම අවශ්‍යතා සපුරාලීමට හැකි වන පරිදි ඉදිරියේදී ගොඩනැඟිලි ලබා දීම සිදු කෙරෙනු ඇත.

(ii) ප්‍රතිපාදන ලබෙන ආකාරය අනුව සිදු කෙරේ.

(iii) ඔව්.

උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ, රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනවල සේවය කරනු ලබන සංවර්ධන සහකාර, මූල්‍ය/සැලසුම් සහකාර සහ සංවර්ධන නිලධාරින්, ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට තරග විභාගයක් පවත්වා සුදුසුකම් ලැබූවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණය ද පවත්වා ඇත. කිළිනොච්චි දිස්ත්‍රික්කයේ, කිළි/මුළංගාවිල් මහා විද්‍යාලයේ, දෙවන භාෂාව (සිංහල) විෂය සඳහා පුරප්පාපඩු එකක් පවතින අතර, එම පුරප්පාඩුව ඉහත සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන අයගෙන් පත් කිරීමට කටයුතු කරනු ලැබේ.

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ 2018 වර්ෂයේදී උතුරු පළාතේ ජාතික පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් 53ක් පත් කළ අතර, පළාත් පාසල් සඳහා පත් කිරීමට උපාධිධාරී ගුරුවරුන් 15ක් පළාත් සභාවට අනුයුක්ත කරන ලදී. එහිදී කිළි/මුළංගාවිල් මහා විද්‍යාලයේ පැවැති ගුරු පුරප්පාඩු සඳහා, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය විෂයය සඳහා ගුරුවරයෙකුත්, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය විෂය සඳහා ගුරුවරයෙකුත් වශයෙන් ගුරුවරුන් දෙදෙනෙක් පත් කරන ලදී.

13 වසරක සහතික කරන ලද ඇතැම් වෘත්තීය විෂයයන් සඳහා සුදුසුකම්ලත් උපාධිධාරින් ප්‍රමාණවත් තරම් නොමැති බැවින්, ඩිප්ලෝමාධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති අතර, එම අනුමැතිය ලද පසු බඳවා ගැනීමට කටයුතු කරනු ඇත. ඒ අනුව 2019 වර්ෂයේදී ද උක්ත වැඩසටහන යටතේ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ.

අවසාන වසරේ සීමාවාසික පුහුණුව ලබන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අපේක්ෂකයින් 4,489ක් සිටී. ඔවුන් අතරින් අවසන් විභාගය සමත්වන ඩිප්ලෝමාධාරින්ගෙන්, 2019 වර්ෂයේ පාසල්වල තෙවන අධ්‍යයන වාරය ආරම්භයේදී උතුරු පළාතේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව සලකා බලා, ජාතික හා පළාත් පාසල් සඳහා එම ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ. එහිදී මෙම පාසලේ පුරප්පාඩු තිබේ නම්, අදාළ පුරප්පාඩු සඳහා ද එම ගුරුවරුන් අනුයුක්ත කරනු ලැබේ.

(ඈ) ඉහත ඇ(iii) හි ප්‍රශ්නයට අදාළ පිළිතුරු අනුව උතුරු පළාත තුළ උපාධිධාරී හා විද්‍යාපීඨ ගුරු හිඟය පියවීමට කටයුතු කිරීමේදී උක්ත පාසලේද පුරප්පාඩු පිරවීමට කටයුතු කළ හැකි බැවින් ගැටලුවක් ඇති නොවන බව දන්වමි.

පිළිතුරු දුන් දිනය

2019-03-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks