04

E   |     |  

 දිනය: 2019-06-21   පිළිතුර ලබා දී ඇත 

0453/2019: ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්: සුබසාධන කටයුතු

453/’19

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ කාර්යභාරයන් කවරේද;

             (ii)      2017 වර්ෂයේදී මහජන සුබසාධනය උදෙසා සිදුකළ වැඩසටහන් කවරේද;

(iii) එම වැඩසටහන් වෙනුවෙන් වැය කළ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීඝ්‍ර ලෙස ඉහළ යන බවත්;

(ii) වැඩිහිටි ජනගහනයෙන් බොහෝ දෙනෙකුට ජීවත් වීමට කිසිදු ආදායමක් නොමැති බවත්;

(iii) ආදායම් උපයාගත හැකි ආකාරය පිළිබඳ දැනුම ප්‍රමාණවත් නොවන බවත්;

(iv) දරුවන් ඔවුන්ව රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කිරීම‍ හේතුවෙන් අසරණ වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) එසේ නම්, ඒ සඳහා ගනු ලබන විසඳුම් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-21

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

                        වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ කාර්යභාරය වන්නේ "ශ්‍රී ලංකාවේ සිටින වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සහ වැඩිහිටි තැනැත්තන්ට ආත්ම ගෞරවයක්, ස්වාධීනත්වය හා ගරුත්වයක් ඇතිව ජීවත්වීමට අවස්ථාව සලසා දීම ය".

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ කාර්යභාරය ජාතික සභාවේ කාර්යයන් ඉටු කිරීමේදී ඒවාට සහය වීම, ජාතික සභාව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම, වැඩිහිටි තැනැත්තන්ට ප්‍රදානය කරනු ලබන ප්‍රතිලාභ, දීමනා, සහන ඇතුළු මූල්‍යාධාර සහ උපකරණ ලබාදීම සහ ප්‍රදානය.

(ii) 1. රුපියල් 2,000ක ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව

අඩු ආදායම්ලාභි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 386,083කට 2017 වර්ෂයේදී රුපියල් 2000 ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලබා දීම.

2. ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවීම හා මූල්‍යාධාර සැපයීම.

ග්‍රාමීය වැඩිහිටි කමිටු 229ක් ද ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල 02ක් ද දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩල 01ක් ද පිහිටුවීම. මීට අමතරව පළාත් මට්ටමේ හා ජාතික මට්ටමේ රැස්වීම් ද අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ද ආගමික චාරිකා වැඩසටහන් ද පවත්වනු ලැබීය.

3. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම.

2017 වර්ෂය තුළ වැඩිහිටියන් 45,156 දෙනෙකුට වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කරන ලදී.

4. පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්

වැඩිහිටියන් වෙනුවෙන් ව්‍යායාම වැඩසටහන් ද සංගීත උපදේශන වැඩසටහන් ද කාත්තා දින සැමරුම් වැඩසටහන් ද මාධ්‍ය වැඩසටහනක් ද ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය ද, තිරසර ලංකා ප්‍රදර්ශනයට සහභාගිත්වය හා දැනුවත් කිරීම් ද, පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද විශ්‍රාම පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ස්ටිකර් ඇලවීම මඟින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

5. ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම

"වැඩිහිටියන්ගේ හැකියාවන්, දායකත්වය සහ සහභාගිත්වය තුළින් අනාගතයට පියනගමු" යන තේමාව යටතේ 2017 වැඩිහිටි දින සැමරුම් දින උත්සවය, 2017 ඔක්තෝබර් 01 දින දිවයිනේ නන්දෙසින් පැමිණි වැඩිහිටියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. එම උත්සවයට සමගාමීව අවුරුදු 100ට වැඩි වැඩිහිටියන් පිදීම,  අවුරුදු 75ට වැඩි දෙමාපියන් පිදීම, සමෘද්ධි ළමා සමාජ මට්ටමින් දරුවන් වෙනුවෙන් දැනුම මිනුම තරගාවලියක් පැවැත්වීම, හොඳම වැඩිහිටි නිවාසය තේරීම, "ආදරයයි කරුණාවයි - ළමා අපේ වැඩිහිටි ලෝකයයි" නමින් පාසල් දරුවන් අතර නිර්මාණාත්මක තරගාවලියක් පැවැත්වීම කර ඇත.

6. වැඩිහිටි නිවාසවලට මූල්‍යාධාර ලබාදීම

ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය යටතේ කළමනාකරණය කරනු ලබන කතරගම වැඩිහිටි නිවාසය සහ සංචාරක නිකේතනය ද මාලිගාතැන්න එව්ජින් නෝනා අනුස්මරණ වැඩිහිටි නිවාසයද ඇතුළත්ව වැඩිහිටි නිවාස 10ක් සංවර්ධනය කරනු ලැබීය.

7. වැඩිහිටි ආවරණ කැපකරු වැඩසටහන

දානපතියන්ගේ පරිත්‍යාග තුළින් 2017 වර්ෂයේදී මසකට රුපියල් 500ක් වන පරිදි වැඩිහිටියන් 13 දෙනෙකුටද, රුපියල් 250 බැගින් වැඩිහිටියන් 22දෙනෙකුටද වැඩිහිටි ආවරණ කැපකරු වැඩසටහන යටතේ මුදල් ආධාර ලබා දෙන ලදී.

8. ප්‍රකාශන

වැඩිහිටියෝ සඟරාව පිටපත් 1,500ක් ද, වැඩිහිටියෝ ත්‍රෛමාසික පුවත්පත් පිටපත් 3,000ක් ද, සාර්ථක වැඩිහිටි දිවියට මඟ (අත්පොත්) 2,500ක් ද, වැඩිහිටි ස්වයං තොරතුරු වාර්තා අත්පොත් පිටපත් 6,000ක් ද, 2015 සහ 2016  වාර්ෂික වාර්තා පොත් හා සීඩී පටද මුද්‍රණය කරනු ලැබීය.

(iii) 2017 වර්ෂයේදී මෙම වැඩසටහන් සඳහා වැය කළ මුළු මුදල රුපියල් මිලියන 9,124ක් වේ.

(ආ) (i) දැනට ඇති සංඛ්‍යාලේඛන අනුව වැඩිහිටි ජනගහනය 2037 වර්ෂය වන විට මිලියන 5.11 දක්වා ඉහළ යන බවට පුරෝකථනය කර ඇත. එය 2012 වර්ෂයේ වැඩිහිටි ජනගහනයට සාපේක්ෂව සියයට 103ක වැඩිවීමකි. මෙම තත්ත්වය ලංකාවට පමණක් සීමා වූ කරුණක් නොවේ. ජපානය, චීනය, කොරියාව වැනි සංවර්ධන වුණු රටවලට ද මෙම ප්‍රශ්නය පවතී. ලෝකයේ රටවල් ගණනාවකම වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතී.

(ii) වැඩිහිටියන් බොහෝ දෙනෙකුට ජීවත්වීමට ආදායමක් නොමැති බවට පැමිණිලි හෝ ඉල්ලීම් අමාත්‍යාංශය වෙත ලැබී නොමැත.

කෙසේ වුවද, පසුගිය රජය යටතේ අවුරුදු 10ක කාලය තුළ වැඩිහිටි පුරවැසියන්ගේ අභිවෘද්ධිය සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර නොමැත. සමාජ සේවා අමාත්‍යාංශය මා වෙත - ඒ කියන්නේ වර්තමාන ඇමතිතුමාට - පවරන ලද්දේ පසුගිය වර්ෂය අවසාන භාගයේදී ය. මෙම කෙටි කාලය තුළ ක්‍රියාත්මක කිරීමට එතුමා වැඩසටහන් කිහිපයක් සැලසුම් කර තිබේ. පසුගිය 'දින 51ක' අරාජික කාලය තුළ මේ සියල්ල කඩා වැටුණු බව කවුරුත් දන්නා කරුණකි.

කෙසේ වුවද, මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දී එතුමා මෙම අමාත්‍යාංශය භාර ගැනීමෙන් පසු අය වැය ප්‍රතිපාදනවල දැඩි සීමාවක් පැවතුණි. ඒ නිසා භාණ්ඩාගාරයට බරක් නොපටවා වැඩිහිටියන්ගේ සුබසාධනය සඳහා අරමුදල් සොයා ගැනීමට ලොතරැයි පතක් දියත් කිරීමට එතුමා අනුමැතිය ඉල්ලා සිටියේය. මෙයට භාණ්ඩාගාරය වෙතින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඒ නිසා අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවා වැඩිහිටි ප්‍රජාවට සහන සැලසීමට එතුමා දැනටමත් කටයුතු යොදා තිබේ. පොරොත්තු ලේඛ‍නයේ සිටින වැඩිහිටි පුද්ගලයකු සහන ලබා ගැනීම සඳහා දැනට සහන ලබන පුද්ගලයකු මරණයට පත්වන තුරු බලා සිටිය යුතුය. එය වර්තමාන ඇමතිතුමා විසින් වෙනස් කරන ලද බව සඳහන් කරනවා. මේ අවුරුද්දේ ඔක්තෝබර් පටන් පොරොත්තු ලේඛනයේ සිටින සමෘද්ධි ප්‍රතිලාභ නොලබන සෑම වැඩිහිටි පුද්ගලයකුටම රුපියල් 2,000ක දීමනාවක් ලබා දීමට දැනටමත් එතුමා කටයුතු යොදා තිබෙන බව සතුටින් දන්වන්නට කැමැතියි.

මීට අමතරව, වැඩිහිටි සමිති 1,000කට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දීමටත්, වැඩිහිටියන්ට වන්දනා ගමන් යෑමට හැකි වනු පිණිස සෑම දිස්ත්‍රික්කයකම වැඩිහිටි සමිතිවලට බස් රථ ලබා දීමටත් කටයුතු යොදා තිබේ. මේ සියල්ල කරනු ලබන්නේ භාණ්ඩාගාරයට අලුතින් බරක් නොදී බවත් සතුටින් සඳහන් කරනවා.

(iii) මෙවැනි පැමිණිලි එම අමාත්‍යාංශය වෙත ලැබී නැත.

* විශ්‍රාම පූර්ව වැඩසටහන මඟින් - විශ්‍රාම දිවිය තුළ ආදායම් උපයා ගැනීම සහ ලැබෙන ආදායම ඵලදායී ලෙස සකසුරුවම්කමින් පරිහරණය කිරීම පිළිබඳව හා නීරෝගිමත් වැඩිහිටි දිවියක් ගත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කෙරේ.

* දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙමඟින් රාජ්‍ය සේවකයා සහ වැඩිහිටි ප්‍රජාව අතර සමීප අන්තර් සම්බන්ධතා ගොඩ නඟා ගැනීම හා වැඩිහිටි ප්‍රජාව වෙත සලසන සේවා  සම්බන්ධව දැනුවත් කිරීම සිදු කෙරේ.

(iv) මෙවැනි පැමිණිලි අමාත්‍යාංශය වෙත ලැබී නොමැත.

ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටියන් සඳහා වූ නඩත්තු මණ්ඩලය හරහා වැඩිහිටියන්ගේ දරුවන් කැඳවා විමසීම් කොට ඔවුන් වෙනුවෙන් නඩත්තු මුදලක් ලබා දීම මඟින් වැඩිහිටියන්ට සහන සපයනු ලැබේ.

(ඇ) ඉහත ලබා දී ඇති පිළිතුරු මඟින් මෙම විසඳුම් පැහැදිලි කර ඇත.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-09-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks