01

E   |     |  

 දිනය: 2019-07-10   පිළිතුර ලබා දී ඇත 

0148/2019: ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ය‍ටතේ සිටින අනධ්‍යයන සේවකයන්: උසස්වීම්

148/’18

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන අනධ්‍යයන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඔවුන් දැනට දරන තනතුරු කවරේද;

           (iii)      මෙම සේවකයන් 06/2006 චක්‍රලේඛය මඟින් බඳවා ගත්තද, ඔවුන්ට නියමිත උසස්වීම් මේ දක්වා ලැබී නොමැති බව දන්නේද;

(iv) මෙම සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-10

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2,940කි.

              (ii)      ඔවුන් දැනට පහත තනතුරුවල සේවයේ නිරතව සිටී

                        ●     පාසල් කාර්ය සහායක

                        ●     පාසල් රසායනාගාර සේවක

                        ●     පාසල් පුස්තකාල සේවක

                        ●     පාසල් මුරකරු

                        ●     පාසල් කම්කරු

             (iii)      රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 හා ඊට පෙර චක්‍රලේඛවලින් බඳවා ගත් සේවකයන් සියලුදෙනා 2006.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2011 වර්ෂයේදී අනුමත කරන ලද,  ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනධ්‍යන ප්‍රාථමික ශිල්පීය නොවන සේවයට අයත් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියට අන්තර්ග්‍රහණය වී ඇත.

ඒ අනුව එම සේවකයන් අදාළ පරිපාටිය ප්‍රකාරව උසස්වීමට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම ඇතුළු සුදුසුකම් නියමිත කාලයේදී සම්පූර්ණ නොකිරීමේ හේතුව මත 2016  වර්ෂය වන තෙක් කිසිදු උසස්වීමක් ලබා නොමැති බව නිරීක්ෂණය විය.

එසේම, අදාළ පරිපාටිය ප්‍රකාරව අනධ්‍යයන සේවයට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගද නියමිත පරිදි පවත්වා නොතිබූ බැවින්, මේ පිළිබඳව ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා  දැනුවත් කර අදාළ කාල සීමාවට අයත් සේවකයන්ට පමණක් පෞද්ගලික වන සේ, ඔවුන්ගේ උසස්වීම් සඳහා අවශ්‍ය පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වූවා සේ සලකා, උසස්වීම් ක්‍රියාත්මක කිරීමට ලබා ගත් විශේෂ අනුමැතියක් මත 2006.01.01 දිනට පෙර බඳවා ගත් සේවකයන් සියලුදෙනා සඳහාම උසස්වීම් ලබාදී ඇති අතර, ඊට අදාළ හිඟ වැටුප් ද ගෙවා ඇත.

එසේම, 2006.01.01 දිනට පසු ලබාදී ඇති අනධ්‍යයන සේවක තනතුරුවලට අදාළ සේවකයන් සඳහා ද, නියමිත පරිදි කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත්ව ඇති සේවකයන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත් දිනයන් පෙර දාතම් කර ඔවුන්ට අදාළ සියලු උසස්වීම් ලබාදී ඇත.

තවද, අනුමතව පවතින රසායනාගාර සහකාර තනතුරේ බඳවා ගැනීමේ පරිපාටිය ප්‍රකාරව එම තනතුරට උසස් කිරීම සඳහා, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ  සේවයේ නියුතු සියලු අනධ්‍යන සේවකයන්ගෙන්, ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මේ වනවිට අභ්‍යන්තර අයදුම්පත් කැඳවා ඇත.

(iv) ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ඇති පාසල්වල සේවයේ නියුතු අනධ්‍යන සේවකයන් සම්බන්ධයෙන් ලැබී ඇති සියලු  ගැටලු සඳහා විසඳුම් මේ වනවිට ලබාදී  ඇත.

එසේම තවදුරටත් ඔවුන් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම්, ඒ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරනු ලබන ලිඛිත දැනුම්දීමක් අනුව සොයා බලා ඒ සඳහා කඩිනම්  විසඳුම් ලබාදීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකළ හැකිය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks