01

E   |     |  

 දිනය: 2019-03-08   පිළිතුර ලබා දී ඇත 

0074/2019: ජයසුධීර් ජයරාම් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම : විස්තර

74/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)     2016 නොවැම්බර් මස දිනයක ක්වාලාලාම්පුර් බලා විදේශගතවීමට සිටි           මැලේසියානු ව්‍යාපාරික ජයසුධීර් ජයරාම් ඇතුලු තිදෙනෙක් මෙරටින් මුදල්     අපහරණය කිරීම මත ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද;

(ii) එසේ නම්, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබු මුදල් ප්‍රමාණය කොපමණද;

(iii) ඔවුන්ට එරෙහිව ගනු ලැබු නිතිමය ක්‍රියාමාර්ගය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අත්අඩංගුවට ගත් පුද්ගලයන් අදාළ පරීක්ෂණ අවසන් වීමට පෙර ක්වාලාලාම්පුර් බලා යෑමට නිදහස් කර තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා අනුමතිය ලබා දුන්නේ කවුරුන් විසින්ද;

(iii) ඒ සඳහා වූ පරීක්ෂණ එම පුද්ගලයන් නොමැතිව සිදු කර තිබේද;

(iv) මේ වනවිට අදාළ ලිපිගොනු මුදල් අමාත්‍යාංශය සතුව පවතීද;

(v) අත්අඩංගුවට ගත් මුදල් නැවතත් එම පුද්ගලයන් වෙත මුදා හැර තිබේද;

(vi) නොඑසේ නම්, මේ වනවිට එම මුදල් තැන්පත් කර ඇති ආයතනය කවරේද;

(vii) මෙම පරීක්ෂණය සඳහා දායක වූ රේගු නිලධාරින්ට ත්‍යාග මුදල් ලබා දී                                                   තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-08

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2016 නොවැම්බර් මස එවැනි සිදුවීමක් වාර්තා වී නැත.

                        ජයසුධීර් ජයරාම් නැමැත්තෙක් සහ තවත් මගියෙක් ඇතුළු දෙදෙනෙක් 2017 නොවැම්බර් මස 10 දින ශ්‍රී ලංකා රේගුවට විධිමත් ප්‍රකාශ කිරීමකින් තොරව විදේශ මුදල් මෙරටින් රැගෙන යාමට තැත් කිරිම මත වැඩිදුර රේගු විමර්ශනය සඳහා රඳවාගෙන තිබේ.

              (ii)        ජයසුධීර් ජයරාම් යන අය සතුව ඇමරිකානු ඩොලර් 50,000ක් සහ ටී. කියෝන්ග් මින්ග් යන අය සතුව ඇමරිකානු ඩොලර් 58,000ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත වාර්තා නොකර රැගෙන යාමට තැත් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන ඇත.

(iii) රේගු ආඥා පනතේ 8 (i) වගන්තිය අනුව කරන ලද පරීක්ෂණයෙන් පසුව ඉහත නම් සඳහන් මගීන් දෙදෙනා සන්තකයේ තිබූ රේගුවට ප්‍රකාශ නොකළ ඇමරිකානු ඩොලර් 108,000ක් වූ මුදල 2017.11.23 දින රාජසන්තක කොට ඇත.

(ආ) (i) ඉහත නම් සඳහන් මගීන් දෙදෙනාගෙන් ජයසුධීර් ජයරාම් යන අය පරීක්ෂණ අවසන් වීමට පෙර ගුවන්ගත වීමට මුදා හැර තිබේ.

(ii) ඉහත මගීන් දෙදෙනාගෙන් ජයසුධීර් ජයරාම් යන අය අත්‍යවශ්‍ය ව්‍යාපාරික හමුවකට සහභාගී වීම සඳහා බැංකොක් බලා යාමට අවසර දෙන ලෙස ප්‍රකාශයක් මඟින් රේගුවෙන් අවසර පතා ඇත. මෙම ඉල්ලීම එදින ගුවන්‍ තොටුපොළ සේවයේ නියුතු අධීක්ෂණ නිලධාරි විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (පළාත්) වෙත දැනුම් දී තිබේ. ජයසුධීර් ජයරාම් යන අයගේ එම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එම මගියාට ගුවන්ගත වීමට අවසර දෙන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (පළාත්) විසින් ගුවන් තොටුපොළ සේවයේ නියුතු අධීක්ෂණ නිලධාරි වෙත දුරකථනයෙන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ජයසුධීර් ජයරාම් යන අයට ගුවන්ගත වීමට අවසර ලබා දී ඇත.

(iii) ඒ සඳහා වූ රේගු පරීක්ෂණය ටී. කියෝන්ග් මින්ග් යන අය ඉදිරියේ සිදු කර තිබේ. 

(iv) අදාළ ලිපිගොනුව රේගු දෙපාර්තමේන්තුව භාරයේ පවතී.

(v) නැත.

අත් අඩංගුවට ගත් මුදල් රාජසන්තක කර ගිණුම්ගත කර තිබේ.

(vi) එම මුදල් මේ වන විට රේගු දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර කර ඇත.

(vii)‍ මේ සඳහා දායක වූ රේගු නිලධාරින්ට නුදුරේදීම එම ත්‍යාග ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks