04

E   |     |  

 දිනය: 2019-03-13   පිළිතුර ලබා දී ඇත 

0017/2019: ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ කාන්තාවන් : විස්තර

17/’18

ගරු හේෂා විතානගේ මහතා,— විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2005 වර්ෂයේ සිට මේ දක්වා,

              (i)      ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වූ කාන්තාවන් සංඛ්‍යාව;

             (ii)      ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වූ කාන්තාවන් අතර සිටින මව්වරුන් සංඛ්‍යාව;

(iii) ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වී විවිධ වූ හිංසනයන්ට ලක්වී ශ්‍රී ලංකාවට පැමිණි හා මියගිය කාන්තාවන් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) බාල වයස්කාර දරුවන් සිටින මව්වරුන් විදෙස්ගත වීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ට අගතිදායක බලපෑමක් ඇති වන බව පිළිගන්නේද;

(ii) එසේ නම්, බාල වයස්කාර දරුවන් සිටින කාන්තාවන් ගෘහ සේවිකාවන්‍ ලෙස විදෙස්ගත වීම වැළැක්වීමට අමාත්‍යාංශය පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-13

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක දත්ත අනුව, 2005 වසරේ සිට 2019.02.18 වන දින දක්වා කාර්යාංශයේ ලියා පදිංචි වී ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වූ කාන්තාවන් සංඛ්‍යාව ඇතුළත් වාර්තාවක් ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරමි.

(ii) ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් කාර්යාංශයේ ලියා පදිංචිය ලබා ගැනීමේදී පරිගණක දත්ත පද්ධතියට ලියා පදිංචි වන කාන්තාවන්ගේ පෞද්ගලික තොරතුරු වශයෙන් ඇයගේ සහ ඇය විසින් නම් කරන ලද ඥාතීන් දෙදෙනෙකුගේ තොරතුරු පමණක් ලබා ගනී.

එමෙන්ම, කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය වන අතර, ඒ සඳහා ලබා ගන්නා කෙටි පණිවුඩයෙහි නිර්දේශය පිළිබඳ තොරතුරු පමණක් කාර්යාංශ දත්ත පද්ධතියෙහි ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විගමණික ශ්‍රමිකයින් සඳහා දැනට පවතින සුබසාධන කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බැවින්, විදේශගත වන සියලුම ශ්‍රමිකයින්ගේ දරුවන් සම්බන්ධ තොරතුරු විදේශ රැකියා සඳහා කාර්යාංශයේ ලියා පදිංචි වන අවස්ථාවේදී ලබා ගැනීමටත්, එම තොරතුරු කාර්යාංශයේ සුබසාධන අංශය මඟින් පරිගණක දත්ත පද්ධතියේ ගබඩා කර තබා ගැනීමටත්, අවශ්‍ය කඩිනම් පියවර ගනිමින් පවතී.

(iii) ඇමුණුම 02 හා ඇමුණුම 03 මඟින් ඉදිරිපත් කරමි.

(ආ) (i) සමහර බාල වයස්කාර දරුවන් සිටින මවුවරුන් පිට රට යාම හේතුවෙන් දරුවන්ගේ මානසික ගැටලු මෙන්ම රැක බලා ගැනීමේ ගැටලු ඇති විය හැක. එවැනි තත්ත්වයන් හඳුනා ගැනීම නිසා අවුරුදු 5ට අඩු දරුවන් සිටින මවුවරුන් හට පිට රට යාමට අවස්ථාව ලබා නොදීම, පිට රට සිටින මවුවරුන්ගේ දරුවන් රැක බලා ගැනීමේ විකල්ප ක්‍රමවේද සකස් කිරීම, ළමා සමාජ නිර්මාණය කිරීම වැනි දෑ ආරම්භ කර ඇත.

එසේම දරුවන් සිටින මවුවරුන් පවා විදේශගත වන්නේ එම දරුවන් ජීවත් කරවීම සඳහා වෙනත් විකල්ප ආර්ථික ක්‍රියා මාර්ග නොමැතිවීම හේතුවෙනි. දෙමව්පියන්ගේ දුප්පත්භාවය නිසා ආහාර, ඇඳුම් වැනි දරුවන්ගේ මූලික අවශ්‍යතා ඉටු නොවන්නේ නම් එය ද දරුවන්ට සිදුවන අගතියකි. එම නිසා මේ ගැටලු දෙකම පැති දෙකෙන්ම බැලීම වඩා සාධාරණය.

විගමනය දරිද්‍රතාවට එරෙහිව සිදුවන ක්‍රියාවලියක් බව පරීක්ෂණාත්මක මතයයි. බාල වයස්කාර දරුවන්ද මෙරට තබා විදේශගත වන දෙමාපියන් නිසා පමණක් නොව සමස්තයක් ලෙස දරුවන් තනිකර දමා රැකියා සඳහා පමණක් නොව කවර හේතුවක් මත දීර්ඝ කාලීනව මව හෝ පියා විගමනය වීම දරුවන්ගේ මානසිකත්වයට නුසුදුසුය. එසේ හෙයින් දරිද්‍රතාව දුරු කිරීම සඳහා වන වැඩසටහන්වලදී විදේශගත වන, විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා තවදුරටත් සහන සැලසීම හා එම ශ්‍රමික යෙදවුම් සඳහා උනන්දු කරවීම මේ තත්ත්වය අවම කිරීම සඳහා ඉවහල් වනු ඇත. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින සංවර්ධන නිලධාරින් සකසන පවුල් සංවර්ධන/රැකවරණ සැලසුම්වලට අනුව එකී පවුල් ගොඩනැගීමට අවශ්‍ය භෞතික හා මූල්‍ය පහසුකම් අනෙකුත් රාජ්‍ය ආයතනවලින්ද ලබා දිය යුතුය.

(ii) රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සඳහා වැඩ පිළිවෙළක් ලෙස පවුල් පසුබිම් වාර්තාව හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම පවුල් පසුබිම් වාර්තාව තුළින් අදාළ පවුල් ඒකකයේ වයස අවුරුදු 05ට අඩු දරුවන් සිටින්නේ නම් එම මව විදේශගත වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි ලියා පදිංචි වීම සිදු නොකරයි. මෙම වැඩ පිළිවෙළ දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරින් මඟින් සිදු කරනු ලබන වැඩ පිළිවෙළක් වේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශගත වීමට බලාපොරොත්තු වන සියලුම කාන්තාවන්ගේ පවුල් පසුබිම පිළිබඳව ලබා දිය යුතු වාර්තාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින්, මෙම අමාත්‍යාංශය 2017.01.16 දිනැතිව සියලුම ප්‍රාදේශීය ලේකම්වරු අමතා 2017/01 අමාත්‍යාංශ චක්‍රලේඛය නිකුත් කර ඇත. (ඇමුණුම 04)

මෙහි එක් මූලික අරමුණක් වන්නේ, විගමනික කාන්තා ශ්‍රමිකයින්ගේ බාල වයස්කාර දරුවන්ට ආරක්ෂාව සැලසීමයි. එහිදී අවුරුදු 05ත්, අවුරුදු 18ත් අතර දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පවුල් පසුබිම් වාර්තා නිර්දේශ කිරීමේ කමිටුවක් මඟින් අදාළ කාන්තාවන්ගේ දරුවන් සඳහා සුදුසු රැකවරණ සැලැස්මක් පවතීද යන්න සොයා බලා, එමඟින් තෘප්තියට පත්විය හැකි නම් පමණක් විදේශගත වීම සඳහා නිර්දේශ ලබා දේ. නිර්දේශ කරනු නොලබන අවස්ථාවලදී ඒ පිළිබඳව අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව වෙත අභියාචනයක් සිදු කිරීමේ හැකියාව පවතී. එවිට අභියාචනා කමිටුව මඟින් ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීම් සිදු කර, විදේශගත වීම සඳහා නිර්දේශ කිරීම/නොකිරීම සිදු කරනු ලබයි.

තවද, "සංක්‍රමණික කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම" පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව විගමනික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ඉලක්ක කර ගනිමින් 2016 වසරේදී ශ්‍රමික සුරැකුම වැඩසටහන ආරම්භ කරන ලදී. මේ යටතේ ලියාපදිංචි වන පවුල් සම්බන්ධයෙන් විදේශ රැකියා අංශය මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරින්ගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ විගමනික ශ්‍රමික පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් හඳුනා ගනු ලබන පවුල් වෙනුවෙන් පවුල් සංවර්ධන සැලසුම්/රැකවරණ සැලසුම් සකස් කෙරේ.

මේ යටතේ විගමනික ශ්‍රමික පවුල්වල විශේෂ අවදානමකට ලක්ව සිටින දරුවන් පිළිබඳව එම සංවර්ධන නිලධාරින් විසින් හඳුනා ගනු ලබන අතර, ශ්‍රමිකයා විදෙස්ගතව සේවය කරන කාලසීමාවේදී ඔවුන්ගේ දරුවන්ගේ අවදානම අවම කිරීම මූලික කර ගනිමින් එක් එක් ළමයාට විශේෂිත වූ රැකවරණ සැලසුම් සකස් කරනු ලබයි.

කෙසේ වුවද, බාලවයස්කාර දරුවන් සිටින මව්වරුන් විදෙස්ගත වීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ට අගතිදායක බලපෑමක් ඇතිවන්නේද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනාගැනීම සඳහා සංසන්දනාත්මක සමීක්ෂණයක් අමාත්‍යාංශය මඟින් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිතය.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks