E   |     |  

පාර්ලි‌මේන්තු‌වේ වැඩකටයුතු පාර්ලි‌මේන්තු‌වේ ස්ථාවර නි‌යෝග අංක 22 ප්‍රකාරව පහත සඳහන් අනුපිළිවෙළට සිදු‌ කරනු ලැබේ.

පෙන්වන්න

අමාත්‍යාංශ නිවේදන

අමාත්‍යවරයන්ගේ ප්‍රකාශ, පොදු වැදගත්කමකින් යුත් කරුණු, රජයේ ප්‍රතිපත්ති, විදේශ සංචාරවලින් ලැබුණු ප්‍රතිඵල, රජය හා විදේශ ආණ්ඩු හෝ නියෝජිතායතන සමඟ ඇති කරගනු ලබන ගිවිසුම් මෙයට ඇතුළත් වේ. එවැනි නිවේදන පිළිබඳව කථානායකවරයාට පූර්ව දැනුම්දීමක් කළ යුතුය. සභාව හමුවේ කරනු ලබන වැරදි හෝ සාවද්‍ය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා ද අමාත්‍යවරයකුට එවැනි නිවේදන ඉදිරිපත් කළ හැකිය. එහිදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නොලැබුණ ද, පසු දිනකදී ඒ පිළිබඳ විවාද කිරීමේ අවස්ථාව ලබාගත හැකිය.

පෞද්ගලික පැහැදිලි කිරීම්

කවර හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවර‌යකුට විරුද්ධව ‌විවේචනයක් එල්ල වුවහොත් හෝ ‌පෞද්ගලික ස්වභාවයක කරුණු කියවුණහොත් හෝ පාර්ලිමේන්තුවේ සිදු වූ සිද්ධියක් සම්බන්ධව වැරදි වාර්තාවක් පුවත්පත්වල පළවූ විටක හෝ පෞද්ගලික පැහැදිලි කිරීමක් සිදුකිරීමට අදාළ මන්ත්‍රීවරයාට හැකිය. මන්ත්‍රීවරයන් මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට පෙර කථානායකවරයාගේ අවසරය ලබාගත යුතුය.

වරප්‍රසාද පිළිබද ප්‍රශ්න

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 22 යට‌තේ කථානායකවරයා ‌වෙත කරනු ලබන විධිමත් දැනුම්දීමකින් අනතුරුව, වරප්‍රසාද ප්‍රශ්නයක් වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකුට හැකිය. ‌කෙ‌සේ ‌වුව ද, පාර්ලි‌මේන්තු වරප්‍රසාදවලට ඍජුවම සම්බන්ධ‌ වන හදිසි යෝජනා සහ අ‌නෙකුත් සියලු යෝජනා, දිනට නියමිත කටයුතු අභිභවා මුඛ්‍යස්ථානය ගත යුතුය.

ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ දී දැනුම්දීමක් අවශ්‍ය නොවන යෝජනා

ප්‍රධාන වැඩකටයුතු ආරම්භ‌යේදී දැනුම්දීමක් අවශ්‍ය ‌නොවන ‌යෝජනා පාර්ලි‌මේන්තුව රැස්වන පැය ගණන ‌වෙනස්කිරීම සඳහා ස්ථාවර නි‌යෝග අත්හිටුවීම හා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සඳහා පූර්ව දැනුම්දීමක් අවශ්‍ය ‌නොවන අතර එවැනි ‌යෝජනා ඉදිරිපත් කිරී‌ම පාර්ලි‌මේන්තු‌වේ සභානායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා ‌හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් විසින් සිදු කළ හැකිය.

ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ දී දැනුම්දීමක් අවශ්‍ය යෝජනා

සාමාන්‍යයෙන් ප්‍රධාන වැඩකටයුතු ආරම්භ‌යේදී ඉදිරිපත් කරන පනත් ‌කෙටුම්පත් සඳහා දැනුම්දී‌මක් අවශ්‍යවේ. ‌පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ ‌පනත් කෙටුම්පත්වලට ‌පෙර ආණ්ඩුවේ ‌පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම සිදු ‌කරයි.

ශෝක ප්‍රකාශ යෝජනා

පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයන්ගේ අභාවයන් සම්බන්ධව ‌ශෝකය ප්‍රකාශ කිරීම සඳහා දිනයක් ‌වෙන් කිරීම පාර්ලි‌මේන්තු‌වේ සම්ප්‍රදායයි. ‌ශෝක ‌ප්‍රකාශ යෝජනා සඳහා නිශ්චිත කාල සීමාවක් ‌නොමැත.

ප්‍රධාන වැඩකටයුතු

ප්‍රධාන වැඩකටයුතු යනු දැනුම් දීමක් සිදු කර ඇති සියලු වැඩකටයුතු හා යම් දිනයක් සඳහා න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති සියලු කරුණුය. එයට පනත් ‌කෙටුම්පත්, ‌යෝජනා, ‌රෙගුලාසි, පරිපූරක ඇස්ත‌මේන්තු හා ‌පෞද්ගලික මන්ත්‍රීවරයන්‌ගේ පනත් ‌කෙටුම්පත් ආදිය ඇතුළත් ‌වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks