logo

E   |     |  

2012-02-13

පුවත් කාණ්ඩ : පුවත් 

සේවයෙන් විශ්‍රාම ලබන පාර්ලිමේන්තු මහලේකම්තුමාට කාර්ය මණ්ඩලය සමුදෙයි

සේවයෙන් විශ්‍රාම ලබන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට සමු දීමේ උත්සවයක් අද දින පැවැත්විණි. එය සංවිධාන කරනු ලැබුවේ පාර්ලි‌මේන්තු මහලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසිනි. එම අවස්ථාවට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, නි‌යෝජ්‍ය මහ‌ලේකම්තුමා, සහකාර මහ‌ලේකම්තුමා, පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීහු සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ. කිතුල්ගොඩ මහතා 2012 පෙබරවාරි මස 14 වැනිදා සේවයෙන් විශ්‍රාම ලබයි.

පහත සඳහන් වන්නේ ඒ මහතාගේ වෘත්තීය දිවියෙහි සංක්ෂිප්ත විස්තරයකි:

ධම්මික කිතුල්ගොඩ මහතා පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම් ධූරයට නැවත පත් කරනු ලැබුවේ 2010 අගෝස්තු මස 28 වැනිදාය (2008.03.31 සිට 2010.08.27 දක්වා වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ‌ලෙස කටයුතු කළේය). ඊට පෙර, 1999 පෙබරවාරි සිට 2002 අගෝස්තු දක්වා ඔහු පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ මහලේකම් තනතුරට පත් කරන ලද ප්‍රථම අධිකරණ නිලධාරියා කිතුල්ගොඩ මහතා වන අතර, ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර, වෙනස් දේශපාලන පක්ෂ දෙකක් විසින් පාලනය වූ රජයන්හි කථානායකවරුන් තිදෙනෙකු යටතේ ඔහු මෙම තනතුරෙහි සාර්ථකව කටයුතු කළේය. තම ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය නිසා සභාවේ දෙපක්ෂයේ ම මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමට හෙතෙම සමත් විය.

කිතුල්ගොඩ මහතාගේ වෘත්තීය ජීවිතයේ වඩා ඉස්මතුව පෙනෙන්නේ ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්‍රය තුළ ඔහු ගත කළ අවුරුදු 19ක කාලයයි. 1980 දී සේවයට එක් වීමෙන් අනතුරුව, කීර්තිමත් තනතුරක් වන අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් තනතුරට 1998 දී පත් වන තෙක් ඔහු දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ද, පසුව දිසා විනිසුරුවරයෙක් වශයෙන් ද කටයුතු කළේය. විනිසුරුවරයෙකු ලෙස කඩිනමින් යුක්තිය ඉෂ්ට කිරීමෙහිලා ඔහුට තිබූ හැකියාව සම්බන්ධයෙන් කිතුල්ගොඩ මහතා ප්‍රසිද්ධව සිටියේය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කාලය තුළදී, නඩු කටයුතු ප්‍රමාදය අවම කිරීම සඳහා ඔහු මහත් කැපවීමකින් කටයුතු කළ අතර ඒ සඳහා ජාත්‍යන්තර ආධාර දෙන්නන්ගේ සහාය ලබා ගැනීමට ද සමත් විය. USAID ආයතනයේ ආධාරයෙන් පවත්වන ලද විනිසුරු පුහුණු වැඩසටහන පසු කාලීනව තවත් පුහුණු වැඩසටහන් උදෙසා මං පෑදූ මූලික සන්ධිස්ථානයක් විය. නීති අධ්‍යාපනඥයකු ලෙස තම දැනුම වර්ධනය කරගනු වස් ඔහු විසින් අනෙකුත් අධිකරණ පද්ධති අධ්‍යයනය සඳහා වන සංචාර උපායමාර්ගිකව භාවිතා කළ අතර, අධිකරණ උපදේශක වැඩසටහන ඉන් එක් ආරම්භක කාර්යයක් විය.

කිතුල්ගොඩ මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිශ්චයකාරවරුන්ගේ සංගමය සමඟ සක්‍රීයව සම්බන්ධ වී සිටි අතර එහි විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද ඉන්පසුව එහි උපසභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.


සම්බන්ධිත පුවත්

2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.


2026-08-20

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks