01

E   |   த   |  

2026-11-11

පුවත් කාණ්ඩ : පුවත් 

2027 අයවැය කථාව හෙට (නොවැ. 12) පස්වරුවේ

  • අයවැය විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වෙයි
  • දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා 
  • කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30ට රැස්වීමට නියමිත අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එදින පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක්  පැවැත්වීමට නියමිතව තිබේ.

2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වේ.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වේ . ඡන්ද විමසීම් පැවැත්වෙන නොවැම්බර් 20 සහ දෙසැම්බර් 14 යන දෙදින හැර අන් සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත්  වෙන් කර ඇත.



සම්බන්ධිත පුවත්

2026-11-11

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන දූත මණ්ඩල නිලධාරී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති / නියෝජ්‍ය ප්‍රධාන දූත මණ්ඩල නිලධාරී ඩේවිස් මයර්ස් (Davis Myers) මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු වී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.නියෝජ්‍ය කථානායකවරයා විසින් මයර්ස් මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සබඳතා එහිදී යළිත් සිහිපත් කළ අතර විශේෂයෙන්ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. එසේම පාර්ලිමේන්තු කටයුතු ශක්තිමත් කිරීම සහ ආයතනික ධාරිතාව වර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මඟින් ලබා දුන් සහාය ද අගය කළේය.මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ඇමෙරිකානු කොංග්‍රස් අයවැය කාර්යාලය (U.S. Congressional Budget Office - CBO) එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සංචාරය පිළිබඳව අදහස් දැක්වූවාය. එමෙන්ම USAID ආයතනය මඟින් පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා වැඩසටහන් ශක්තිමත් කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ලබා දුන් සහාය පිළිබඳව ද ඇය සිහිපත් කළාය.ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, එය තවදුරටත් ශක්තිමත් කිරීමටත් තම කැපවීම මයර්ස් මහතා යළිත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අලංකාරය සහ එහි ගෘහ නිර්මාණ ශිල්පීය වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ද ඔහු අගය කළේය.දෙපාර්ශ්වය අතර සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු දෙරටටම වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්විණි.මයර්ස් මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, එහිදී ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ලක්ෂණ සහ පාර්ලිමේන්තුවේ පහසුකම් පිළිබඳව නිලධාරින් විසින් ඔහුට කරුණු පැහැදිලි කරන ලදී.ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී රේචල් හගින්ස් මහත්මිය සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-11

අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන 846 ක උරුමයන් රැක ගැනීමට රුපියල් මිලියන 18 ක ප්‍රතිපාදන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 846 ක් සංරක්‍ෂණය කිරීම සඳහා රුපියල් 18,058,884 ක ප්‍රතිපාදන මෙම වර්ෂයේ වෙන් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය. මේ අනුව, දෙපාර්තමේන්තු ප්‍රදාන යටතේ රුපියල් 12,609,034 ක් ද බාහිර ප්‍රතිපාදන මත රුපියල් 5,449, 850 ක් ද මෙයට අයත් වන බව සභාගත කළ සංඛ්‍යා දත්තවල සඳහන්ව ඇත.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.මෙම පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, සංරක්ෂණය සඳහා එක් එක් පුරාවිද්‍යා ස්ථානවල අගයන්, බලපෑම්වල ස්වභාවය, පිහිටි ස්ථානය, නෛතික පසුබිම ආදිය සලකා බලා කටයුතු සිදු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ යටතේ ස්ථාන අධීක්ෂණ කටයුතු කිරීම, මුර කටයුතු, ආරක්ෂිත වැට, මායිම් කණු යෙදීම, නීතිමය කටයුතු සිදු කිරීම, ගවේෂණ කටයුතු කිරීම, නඩත්තු කිරීම, තහවුරු කිරීම, කැණීම් කිරීම සහ සංරක්ෂණය කිරීම සිදු කර ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය. 


2026-11-11

ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2025 දී රුපියල් මිලියන 785 ක් සහ 2026 සැප්තැම්බර් දක්වා රුපියල් මිලියන 673 ක් උපයයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2025 වසරේදී රුපියල් 785,411,317.92 ක ආදායමක් ද, 2026 සැප්තැම්බර් 30 දක්වා රුපියල් 673,114,357.25 ක ආදායමක් ද උපයා ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අනෙකුත් ආදායම් මාර්ග ඔස්සේ මෙම ආදායම උපයා ඇති අතර, බලපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් 2025 වසරේදී රුපියල් 546,695,018.46 ක ආදායමක් ද, 2026 සැප්තැම්බර් 30 දක්වා රුපියල් 439,157,062.25 ක ආදායමක් ද උපයා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.2026 ඔක්තෝබර් 01 වන විට අන්තර් පළාත් මාර්ගවල ධාවනය සඳහා වලංගු මගී සේවා අවසර පත්‍ර 2,966 ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ අතර සාමාන්‍ය සේවා අවසර පත්‍ර 1,826 ක්, අර්ධ සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 257 ක්, සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 651 ක් සහ අධි සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 232 ක් ඇතුළත් වේ.මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 7,130 ක් පවතින අතර, ඉන් බස් රථ 6,987 ක් සාමාන්‍ය බස් රථ වන අතර ඉතිරි බස් රථ 143 සුඛෝපභෝගී බස් රථ වේ. එමෙන්ම 2006 වර්ෂයේදී මෙට්‍රෝ බස් රථ 114 ක් ද මෙරටට ආනයනය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව පළාත් අනුව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, බස්නාහිර පළාත තුළ බස් රථ 5,520 ක් ද, මධ්‍යම පළාත තුළ බස් රථ 2,433 ක් ද, දකුණු පළාත තුළ බස් රථ 1,326 ක් ද, උතුරු පළාත තුළ බස් රථ 976 ක් ද ධාවනය වන බව පැවසීය.එමෙන්ම නැගෙනහිර පළාත තුළ බස් රථ 520 ක් ද, වයඹ පළාත තුළ බස් රථ 1,324 ක් ද, උතුරු මැද පළාත තුළ බස් රථ 509 ක් ද, ඌව පළාත තුළ බස් රථ 1,043 ක් ද සහ සබරගමුව පළාත තුළ බස් රථ 1,816 ක් ද ධාවනය වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


2026-11-09

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 යටතේ පිහිටුවා ඇති මෙම කාරක සභාව සඳහා, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය පරිපාලනය, ආර්ථික විද්‍යාව හෝ ඊට අදාළ ක්ෂේත්‍රයක විශේෂඥ දැනුමක් සහ ශක්තිමත් විශ්ලේෂණාත්මක හා පර්යේෂණ කුසලතා සහිත අයදුම්කරුවෙකු බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ.අයදුම්පත් 2026 නොවැම්බර් මස 13 වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් “පාර්ලිමේන්තුවේ මහලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ” යන ලිපිනයට යොමු කළ යුතුය.අයදුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කළ යුතුය.වැඩි විස්තර : https://www.parliament.lk/en/get-involved/announcement/view/104






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks