බලන්න

01

E   |   த   |  

2026-10-02

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා  ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්‍යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය ‍යොමු විය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යවරයා වෙත යවනු ලැබේ. 

2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීම‍ට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.

සාමාන්‍ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක්  ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ  සහ කොමිෂන් සභා පොදු අරමුදල    මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.

පනත ප්‍රකාරව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.

කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. 

මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය  971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි  පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. 

එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්‍රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.

තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්‍යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ  සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.

කාරක සභා සාමාජික  ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.  




සම්බන්ධිත පුවත්

2026-11-13

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එම ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කෙරිණි.විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ගෙන් එල්ල වන තර්ජනය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2014 සැප්තැම්බර් මස 24 වැනි දින සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2178 දරන යෝජනාව බලාත්මක කිරීම සඳහාත්, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාත් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන වෙනත් රටක පුරවැසියකු හෝ ශ්‍රී ලංකාව තුළ සිටියදී හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී වරදක් සිදුකර ඇති අවස්ථාවක හෝ, එම ක්‍රියාව අදාළ රටේ නීතිය යටතේ ද වරදක් වන අවස්ථාවකදී මෙම පනත යටතේ ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව නිලධාරීහු කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම, ඒවා සැලසුම් කිරීම, සූදානම් කිරීම හෝ ඒවාට සහභාගී වීම මෙන්ම ත්‍රස්තවාදී පුහුණුව ලබා දීම හෝ ලබා ගැනීම ද මෙම පනත යටතේ වැරදි ලෙස අර්ථ දක්වා ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.විදේශ රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් වාර්ගික පදනම මත මෙම නීතිමය විධිවිධාන හඳුන්වා දී නොමැති බව ද නිලධාරීන් විසින් කාරක සභාවට අවධාරණය කරන ලදී.දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාව විසින් අදාළ පනත් කෙටුම්පත අනුමත කරන ලදී. කෙසේ වෙතත්, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා මෙම පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළේය.මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරංග රත්නායක, තිලිණ සමරකෝන්, විජේසිරි බස්නායක සහ සිවඥානම් ශ්‍රීතරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-13

විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභා අනුකමිටුවේ දී සාකච්ඡා කෙරේ

ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත් කරන ලද අනුකමිටුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.එම අනුකමිටුව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මේ සඳහා විදුහල්පති සේවයේ වෘත්තීය සමිති නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් ලෙස නොව “නව පත්වීමක්” ලෙස සැලකීම මෙම වැටුප් විෂමතාවට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.ගුරු සේවයේ I ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින සැලකිය යුතු වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වන බව ද ඔවුහු සඳහන් කළහ.එසේම, විදුහල්පති සේවයට පත්වීමේදී ඇතිවන වැටුප් වෙනස පියවීම සඳහා ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ තවදුරටත් රැඳී සිටියේ නම් හිමි වන ඉහළ වැටුප් වර්ධක නොලැබීම හේතුවෙන් යළිත් වැටුප් පරතරයක් ඇති වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.මේ හේතුවෙන් ගුරු සේවයේ I සහ  II -I ශ්‍රේණිවල සේවය කරන ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් මතුව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.කාරක සභාවට ඉදිරිපත් වූ කරුණු සලකා බලා මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙත අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අනුකමිටුවේ සභාපතිවරයා පැවසීය.මීට අමතරව, විදුහල්පති සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමට ද අනුකමිටුව විසින් තීරණය  කරන ලදී.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, සුගත් වසන්ත ද සිල්වා සහ චානක මාදුගොඩ යන මහත්වරු ද සහභාගී වූහ.


2026-11-12

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, පවතින අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස් වූ  අතර, 2026 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය ප්‍රතිපාදනවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය එහිදී සමාලෝචනයට ලක් විය.මෙහිදී පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීම, පාසල් සිසුන්ගේ සුබසාධන කටයුතු සහ ගුරු අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, විභාග පැවැත්වීමේ කටයුතු, පෙළපොත් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් සැලසීමේ වැදගත්කම ද අවධාරණය විය.තවද, පාසල් සිසුන්ගේ සුබසාධන වැඩසටහන් යටතේ නිල ඇඳුම් බෙදා හැරීම සහ ශිෂ්‍යාධාර ගෙවීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා වූ අතර, ශිෂ්‍යාධාර ගෙවීම් කඩිනම් කිරීම සඳහා නව පරිගණක පද්ධතියක් හඳුන්වාදීම සහ එමගින් සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල ක්‍රියාකාරීත්වය හා සංවර්ධන සැලසුම් ද සමාලෝචනයට ලක් විය.මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් සියලුම අදාළ ආයතන තම මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවට උපදෙස් ලබා දෙන ලදී. එම වාර්තා නියමිත පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.තවද, වසර අවසානයේ පමණක් නොව වසර මැදදී ද අදාළ ආයතන කැඳවා සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට කාරක සභාව තීරණය කළේය.ඊට අමතරව, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සඳහා 2026 වර්ෂයේදී වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.මෙම අවස්ථාවට කාරක සභාවේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.


2026-11-12

විදුලි වාහන තාක්ෂණය නියාමනය කිරීම, පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය

විදුලි වාහන සහ ඒවායේ බැටරි තාක්ෂණය සඳහා අවශ්‍ය නියාමන හා ප්‍රමිති හඳුන්වාදීම, රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම සහ නවෝත්පාදන වාණිජකරණය කිරීම ඇතුළු කරුණු පිළිබඳව විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වියගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වු කාරක සභාවේදී 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව, 2023 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව සහ 2025 වර්ෂය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සලකා බැලිණි..මෙහිදී ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) සතු විදුලි වාහන සහ බැටරි පරීක්ෂණ පහසුකම් පිළිබඳව සාකච්ඡා වූ අතර, බැටරිවල ධාරිතාව, කල්පැවැත්ම සහ ආයු කාලය ඇතුළු පරාමිතීන් ගණනාවක් පරීක්ෂා කිරීමේ හැකියාව එම ආයතනය සතු බව අනාවරණය විය. එහෙත් මෙරටට ආනයනය කරන විදුලි වාහන, බැටරි, පාලක (Controllers) සහ ආරෝපණ මධ්‍යස්ථාන සඳහා අනිවාර්ය නියාමන හා ප්‍රමිති නොමැතිවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. ඒ අනුව අදාළ ප්‍රමිති සකස් කර ඒවා පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළහ.සාම්ප්‍රදායික වාහන විදුලි වාහන බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය, පුහුණු වැඩසටහන් සහ එම වාහනවල ආරක්ෂාවට අදාළ ප්‍රමිති හා නියාමන ක්‍රමවේද සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.පර්යේෂණ හා සංවර්ධන ආයතනවල පැවති මානව සම්පත් හිඟය සහ සුදුසුකම් ලත් ඉංජිනේරුවන් හා පර්යේෂකයන් රඳවා ගැනීම සඳහා සුදුසු වැටුප් හා දීමනා ක්‍රමවේදයක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර රාජ්‍ය පර්යේෂණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීම, පවතින අඩුපාඩු අවම කිරීම, පර්යේෂණ ප්‍රතිඵල ඵලදායීව කළමනාකරණය කිරීම සහ සමාන කාර්යයන් සිදු කරන ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද නිලධාරීහු කාරක සභාවේ අවධානයට යොමු කළහ.ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වන අලි තර්ජනය අවම කිරීමේ විදුලි වැට ව්‍යාපෘති, විශ්වවිද්‍යාල ආශ්‍රිත ඉන්කියුබේෂන් මධ්‍යස්ථාන සහ ඩිජිටල් වේදිකා ඔස්සේ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා විය. ක්‍රියාත්මක කළ විදුලි වැට ව්‍යාපෘති හතරෙන් තුනක් සාර්ථකව පවතින බව ද  නිලධාරීන් විසින් කාරක සභාවට දන්වන ලදී තවද, නව නිපැයුම්කරුවන්ගේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ නව නිපැයුම් වාණිජකරණය කඩිනම් කිරීම සඳහා 'පෙටි පේටන්ට්' (Petty Patents) ක්‍රමවේදය හඳුන්වාදීම වෙනුවෙන් බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ජා කෙරිණි මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ, චතුර ගලප්පත්ති, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks