පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-10-01
විභාග සමත්වීමට පමණක් සීමා නොවී පාසලේදී ලබා ගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ හැකියාව මෙන්ම සමාජීය හා ආවේගාත්මක කුසලතා සහිත දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පැවසුවාය.
අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (සැප්. 29) පැවැත්විණි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, වත්මන් අධ්‍යාපන පද්ධතිය මගින් විභාග සමත් වීමට හැකියාව ඇති දරුවන් බිහි කළද, එම දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් පාසලේදී ලබා ගන්නා දැනුම සැබෑ ජීවිතයේදී භාවිත කිරීමේ හැකියාව, සමාජීය හා ආවේගාත්මක කුසලතා මෙන්ම අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳ අවබෝධය ද වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.
පාසල් අතර පවතින සම්පත් විෂමතාව අවම කරමින් සියලු පාසල් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සාධාරණව ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
එමෙන්ම, පාසල දරුවන්ට ආරක්ෂිත, ආකර්ෂණීය සහ සතුටින් රැඳී සිටිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් පාසල් ක්‍රීඩා පහසුකම්, ක්‍රීඩා උපකරණ සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.
මෙහිදී තරුණ පරපුර අමතමින්, අග්‍රාමාත්‍යතුමිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සක්‍රීය පුරවැසි සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. දේශපාලනය යනු පක්ෂ දේශපාලනයට පමණක් සීමා වූවක් නොවන බවත්, සමාජය තුළ සක්‍රීය පුරවැසියන් ලෙස මැදිහත්වීම ද එහි වැදගත් කොටසක් බවත් ඇය පැවසුවාය.
මේ අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව සිසුන් දැනුවත් කළේය.
තරුණ පරපුර අමතමින්, නියෝජ්‍ය කථානායකවරයා බහුවිධ භාෂා දැනුමේ වැදගත්කම මෙන්ම විනය සහ නීතියට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. රටේ අනාගතය හැඩගැස්වීමේදී දේශපාලන හා තීරණ ගැනීමේ ක්‍රියාවලියට තරුණ පරපුර සක්‍රීයව දායක විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඕනෑම වෘත්තියක් ගෞරවයෙන් හා කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත්කමත්, අන් අයගේ වෘත්තීන් අගය කරමින් ඒවායින් ඉගෙනීමේ අවශ්‍යතාවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සමාජය තුළ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා මානසිකත්වයේ පරිවර්තනයක් අවශ්‍ය බවත්, විනයගරුක හා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ ශිෂ්‍ය මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුන් විසින් තම අමාත්‍යාංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් වෙත අග්‍රාමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.
ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ , බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී. ප්‍රදීප් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උදෙන හෙට්ටිආරච්චි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) රංජිත් ප්‍රේමතිලක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) හසිනි විජය වික්‍රම, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පාලන) චාමලී එදිරිසිංහ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සමාජ විද්‍යා) ඒ.කේ.එස්.කේ රුපදේව, කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව බාර ආචාර්ය කේ.ඩබ්ලිව් ක්‍රිෂාන් චිනතක සහ නදීශා නිර්මලී යන මහත්ම මහත්මීන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-10-22
ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්ය විද්යාත්මක අධ්යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්යාප්ත කිරීම සඳහා රෝපණ ද්රව්ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්‍ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්‍ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
2026-10-22
ශ්‍රී ලංකාවේ වන අලි සංක්රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්රිත ප්රදේශ ආවරණය වන පරිදි මේ වන විට පවතින විදුලි වැටෙහි මුළු දිග කි.මී.5787.89 ක් බවත්, මෙලෙස විදුලි වැටවල් ඉදිකිරීම, අදාළ ප්රදේශයන්හි පවතින භෞතික තත්ත්වයන් අනුව රක්ෂිත මායිම ආශ්රිතව සිදු වෙන බවත් පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සදහන් කරයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්රම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු අනාවරණය විය. සභාගත කළ එම පිළිතුරට අනුව, අලි- මිනිස් ගැටුමට සහ වන අලි තර්ජනයට විසඳුම් සෙවීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 27 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් මේ වනවිට අදාළ සැකැස්ම සකස් කරමින් පවතී. විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 618.89 ක් වැය කොට තිබේ. විදුලි වැට හා මුරකුටි ඉදිකිරීම, විදුලි වැට උපකරණ මිලදී ගැනීම, සිවිල් ආරක්ෂක භටයින්ගේ ආහාර දීමනා හා විදුලි වැට නඩත්තු ඉන්ධන, නඩත්තු උපකරණ ඇතුළු විදුලි වැට නඩත්තු කටයුතු සඳහා වියදම් කොට ඇත.
2026-10-22
සිරකරුවන් 10611ක් සහ සැකකරුවන් 28408ක් බන්ධනාගාරවල සිටින බවත්, සිරකරුවන්ගෙන් වැඩිම ප්රමාණය එනම් 3423ක් වයස් කාණ්ඩ 30ත් 40ත් අතරට වැටෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමු කළ ප්රශ්නයකට පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.සිරකරුවන් 2860ක් වයස් කාණ්ඩ 40ත් 50ත් අතරටත්, 2160ක් වයස් කාණ්ඩ 20ත් 30ත් අතරටත් සහ 1561ක් වයස් කාණ්ඩ 50ත් 60ත් අතරට අයත් බව අමාත්‍යවරයා ප්රකාශ කළේය.දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්යා දත්තවලට අනුව, සිරකරුවන් 1,454ක් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 421 දෙනෙකුද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 220 දෙනෙකුද සිටින බව සඳහන් වෙයි.එමෙන්ම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 245 දෙනෙකුද බන්ධනාගාරගතව සිටින බව වාර්තා වෙයි. රුපියල් 100,000කට වැඩි දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 207කි.
2026-10-22
ජලභීතිකා රෝගය වැළඳුණු රෝගීන් සඳහා ප්රතිකාර සහ එන්නත්කරණ කටයුතු වෙනුවෙන් 2025 වර්ෂයේදී රු. 655,824,000 ක මුදලක් වැය කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරකින් අනාවරණය විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබාදුන් පිළිතුරේ මේ බව සඳහන් වේ.එම පිළිතුරට අනුව, 2025 වර්ෂයේදී සුනඛයන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගය වැළඳී පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.මේ අතර, 2025 වර්ෂයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා සඳහා වෙන් කර තිබූ මුළු මුදල රු. මිලියන 220 ක් බව ද අමාත්‍යවරයා පිළිතුරෙහි සඳහන් වෙයි. මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජලභීතිකා මර්දන වැඩසටහන සඳහා 2026 වර්ෂයට රු. මිලියන 51 ක මුදලක් වෙන් කර තිබෙන බව ද කියවෙයි. මෙම වැඩසටහන යටතේ සුනඛයන් එන්නත්කරණය, වන්ධ්යාකරණය සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කෙරේ.මෙම වැඩසටහන යටතේ 2026 අගෝස්තු 30 වන විට දිස්ත්රික්ක හතරක වීදි සුනඛයන් 5,951 දෙනෙකු වන්ධ්යාකරණයට ලක් කර ඇති අතර, අනෙකුත් දිස්ත්රික්කවලද ජලභීතිකා මර්දන වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්යවරයාගේ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks