logo

E   |     |  

2011-08-09

පුවත් කාණ්ඩ : පුවත් 

කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ සභාපතිධුරය භාරගනී



2011 ජුලි මස 21 සිට 28 දක්වා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ දී පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ 57 වැනි වාර්ෂික සම්මේලනය අවසානයේ දී ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුවේ කථානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වෙත පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ සභාපතිධුරය පිරිනමන ලදී.

2012 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ මීළඟ වාර්ෂික සම්මේලනය අවසන් වන තුරු ගරු කථානායකතුමා විසින් මෙම තනතුර හොබවනු ඇත. පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ සාමාජික රටවල ජාතික සහ පළාත් ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන්, සභිකයන් සහ නිලධාරීන් ඇතුළුව සම්මේලනයට සහභාගි වූ පිරිස අමතමින් පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ 58 වැනි සම්මේලනය 2012 සැප්තැම්බර් මස 7 වැනි දින සිට 15 වැනි දින දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව සත්කාර රාජ්‍ය ලෙස කටයුතු කරන බව නැවතත් අවධාරණය කළ ගරු චමල් රාජපක්ෂ මැතිතුමා එළඹෙන සම්මේලනයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ රටෙහි කීර්තිමත් ආගන්තුක සත්කාරය භුක්ති විඳිනා ලෙසට පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ සියලුම සාමාජික රාජ්‍යයන් වෙත සුහද ආරාධනාවක් කළේය.

ගරු චමල් රාජපක්ෂ මැතිතුමා සමාප්ති උත්සවයේ ස්තුති කථාව සිදුකරමින්, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ එක්සත් රාජධානි ශාඛාව වෙත, විශේෂයෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ 2011 සම්මේලන කණ්ඩායම, සංගමයේ සභාපති ධුරයෙන් සමුගන්නා මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මහාමාන්‍ය ජෝන් බර්කව් සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ මූලස්ථානයේ අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත, සම්මේලනයට සහභාගි වූ සියලුම දෙනා හට ඔවුන් එක්සත් රාජධානියට සපැමිණි මොහොතේ සිටම දක්වන ලද නොමසුරු ආගන්තුක සත්කාරය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළේය. ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ වත්මන් නැඹුරුතාවයන්ට වඩාත් අනුගතව හා අනුකූලව පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමය පවතින බවට සහතික වනු වස් ස්වකීය ධුර කාලය තුළ දී සංගමය වෙත සිදු කරනා ලද සුවිශිෂ්ට මෙහෙවර උදෙසා පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ මහලේකම්, ආචාර්ය විලියම් එෆ්. ෂිජා මහතා හට ද ගරු කථානායකතුමා ස්තුතිය ප්‍රකාශ කළේය. සිය කථාව අවසන් කරමින්, කථානායකතුමා නැවත වතාවක්, 2012 පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගම් රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට සපැමිණෙන ලෙසට පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුනට හෘදයාංගම ලෙස ආරාධනා කළේය. “සත්කාරක රට ලෙස, අපගේ සුපුරුදු ආගන්තුක සත්කාරශීලී බවින් යුතුව කොළඹ දී ඔබ පිළිගැනීමට අපි මහත් වූ කැමැත්තෙන් සූදානම්ව සිටිනා අතර, ශ්‍රී ලංකාව තුළ ඔබ නතර වී සිටිනා කාලය අනුස්මරණීය එකක් වන බවට මම සහතික වෙමි” යනුවෙන් කථානායකතුමා ප්‍රකාශ කළේය. මහන්සියෙන් දිනාගත් සාමය වඩාත් ශක්තිමත් කොට සමෘද්ධිය සහ සංවර්ධනය ලබා ගැනීම උදෙසා දරනා ප්‍රයත්නයේ දී ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දෙන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සගයන්ගෙන් ඉල්ලා සිටීමට ද එතුමා කටයුතු කළේය.

කථානායක ගරු චමල් රාජපක්ෂ, සභානායක ගරු නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද සමරසිංහ, විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. ඒ. සුමන්තිරන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ දී පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලි‌‌මේන්තු සංගමයේ ශත සංවත්සරික සම්මේලනය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලි‌‌මේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කළේය.


සම්බන්ධිත පුවත්

2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.


2026-08-20

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks