01

E   |   த   |  

2026-09-11

පුවත් කාණ්ඩ : පුවත් 

නව චීන තානාපතිවරයා ගරු කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ගරු වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා පසුගිය  සැප්. 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.

නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව ගරු කථානායකවරයා සඳහන් කළේය. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය ලබාදුන් සහයෝගය මෙන්ම මෙරට පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ලබාදීම ඇතුළු සහයෝගය ද ඔහු මෙහිදී ඔහු‍ගේ ඇගයීමට ලක් විය.

පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකා සහ චීන පාර්ලිමේන්තු අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළේය. ඉදිරියේදී ද ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා වැඩසටහන් සහ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය. 

රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සිදුකරන වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළේය. තවද, එක් තීරයක් - එක් මාවතක් (Belt and Road Initiative) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව විවිධ ක්ෂේත්‍ර වෙත පුළුල් වී ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගරු කථානායකවරයා ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳව ස්තූතිය පළ කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුහදශීලී බව සහ සිනහව තමන්ගේ සිත් ගත් බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හඳුන්වමින්, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලබාදුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය. 

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සබඳතා පිළිබඳව අදහස් දැක්වූ තානාපතිවරයා, සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති නාවික සහ සංස්කෘතික හුවමාරු සිහිපත් කළේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ද එම සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බව ඔහු සඳහන් කළේය.
2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ සිදු කළ සංචාරයන්හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එම ඉහළ පෙළේ හමුවීම් දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව උපායමාර්ගික මඟපෙන්වීමක් ලබාදුන් බව ද ඔහු පැවසීය.

චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බව සඳහන් කළ තානාපති වේයි හුවාෂියැං මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය සූදානම් බව ප්‍රකාශ කළේය.

2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වන අතර, දෙරට අතර රබර් - සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම ද සනිටුහන් කෙරේ. මෙම වැදගත් අවස්ථා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින චීන ආයතන හා පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව ද තානාපති වේයි හුවාෂියැං මහතා සඳහන් කළේය.



සම්බන්ධිත පුවත්

2026-10-23

‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 25 ක්

‘ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා වෙන් කරන ලද රු.මිලියන 25,000 ක ප්‍රතිපාදන මගින් රු.මිලියන 23,000 ක් දිස්ත්‍රික් පදනමින් ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බවත්, ඉතිරි රු.මිලියන 2,000 න් ජාතික මට්ටමින් හඳුනාගනු ලබන මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරෙහි සඳහන් වෙයි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය.  එම සභාගත කළ පිළිතුරට අනුව, ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ රු.මිලියන 24,221.38 ක ව්‍යාපෘති 15,725 ක් ආරම්භ කර ඇති අතර ඉන් ව්‍යාපෘති 15,316 ක් ජීවනෝපාය සංවර්ධනය යටතේ ද, 273 ක් අධ්‍යාපනය යටතේ ද සහ 136 ක් සෞඛ්‍ය යටතේ ද ක්‍රියාත්මක වෙයි. මෙම සියලුම ව්‍යාපෘති 2026.12.31 දින වන විට අවසන් කිරීමට නියමිතය.ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඍජුවම අදාළ වන ව්‍යාපෘති හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි. නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්‍ෂිතතාවය, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය මෙන්ම සැපයුම් ජාල සහ ප්‍රවේශය යටතේ මෙම ව්‍යාපෘති  ක්‍රියාත්මක වෙයි.සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත පාසල් දරුවන් විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් රේඛිය අමාත්‍යාංශ, ආබාධ සහිත පාසල් දරුවන් සඳහා මූල්‍යාධාර හෝ වෙනත් සහනාධාර හෝ ලබා දීම සිදු කරයි. එසේම, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ එම පවුල් ඒකක සවිබලගැන්වීමේ අරමුණින් ඔවුන් සඳහා විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ආධාර ලබාදීම, සහනාධාර ලබාදීම, සහ සුබසාධන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කෙරෙයි.


2026-10-22

ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට පර්යේෂණ රැසක්

ගම්මිරිස් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන දර්ශ ඇගයීම්, රෝග හා පළිබෝධ කළමනාකරණය, බෝග සංවර්ධනය, ශාක පෝෂණ කළමනාකරණය, ශෂ්‍ය විද්‍යාත්මක අධ්‍යයන, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කිරීම සහ කාලගුණ විපර්යාසයන් මඟින් සිදු වන බලපෑම අවම කර ගැනීම සඳහා පර්යේෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතාගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට  පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්   නියෝජ්‍ය අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් දායක වන දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කුරුණෑගල, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මේ වනවිට මෙරට වගා කරනු ලබන ගම්මිරිස් ප්‍රභේද අතර දේශීය, පනියුර් 1 සහ දේශීය වරණයන් වන ඩිංගිරි රාල, කොහුකුඹුරේ රාල සහ බූටාවේ රාල යන ප්‍රභේද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.ගම්මිරිස් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබාදීම, ආයෝජන ආධාර ලබා දීම, කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන් යටතේ ගම්මිරිස් පැළ නොමිලේ ලබා දීම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දැනුම හා අවශ්‍ය ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම, කාලගුණ විපර්යාසයන්ට ගම්මිරිස් වගාව අනුවර්තනය කිරීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම, රෝග හා පළිබෝධ පාලනය, සත්ත්ව හානි වැළැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සඳහා ආයෝජන ආධාර ලබා දීම ද සිදු කෙරේ.ගම්මිරිස් නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ යහපත් නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතර, ගුණාත්මකභාවය ඉහළ නංවා අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය පසු අස්වනු තාක්ෂණය සහ උපකරණ සඳහා ද ආයෝජන ආධාර ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.තවද, ගම්මිරිස් නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට කාබනික නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීම සඳහා වගාවන් කාබනික වගාවන් බවට පත් කිරීම, අවශ්‍ය සහතික ලබා ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් සහ ආයෝජන ආධාර ලබා දීම මෙන්ම අපනයන කෘෂි ගම්මාන පිහිටුවීම ද සිදු කෙරේ.විවිධ මාධ්‍ය ඔස්සේ ගම්මිරිස් වගාව සම්බන්ධ දැනුම ගොවීන් වෙත ලබාදීම ද සිදුකරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ගම්මිරිස් නිෂ්පාදකයන්ට අපනයනය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම සහ සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.


2026-10-22

අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණයට කි.මී. 5787.89 ක විදුලි වැටක්

ශ්‍රී  ලංකාවේ වන අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට පවතින විදුලි වැටෙහි මුළු දිග කි.මී.5787.89 ක් බවත්, මෙලෙස විදුලි වැටවල් ඉදිකිරීම, අදාළ ප්‍රදේශයන්හි පවතින භෞතික තත්ත්වයන් අනුව රක්ෂිත මායිම ආශ්‍රිතව සිදු වෙන බවත් පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා  සදහන් කරයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු  අනාවරණය විය.  සභාගත කළ එම පිළිතුරට අනුව, අලි- මිනිස් ගැටුමට සහ වන අලි තර්ජනයට විසඳුම් සෙවීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 27 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් මේ වනවිට අදාළ සැකැස්ම සකස් කරමින් පවතී. විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 618.89 ක් වැය කොට තිබේ. විදුලි වැට හා මුරකුටි ඉදිකිරීම, විදුලි වැට උපකරණ මිලදී ගැනීම, සිවිල් ආරක්ෂක භටයින්ගේ ආහාර දීමනා හා විදුලි වැට නඩත්තු ඉන්ධන, නඩත්තු උපකරණ ඇතුළු විදුලි වැට නඩත්තු කටයුතු සඳහා වියදම් කොට ඇත.


2026-10-22

බන්ධනාගාරවල සිරකරුවන් 10,611 ක් සහ සැකකරුවන් 28,408 ක්

සිරකරුවන් 10611ක් සහ සැකකරුවන් 28408ක් බන්ධනාගාරවල සිටින බවත්, සිරකරුවන්ගෙන් වැඩිම ප්‍රමාණය එනම් 3423ක් වයස් කාණ්ඩ 30ත් 40ත් අතරට වැටෙන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පසුගිය 21 වැනිදා  පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.සිරකරුවන් 2860ක් වයස් කාණ්ඩ 40ත් 50ත් අතරටත්, 2160ක් වයස් කාණ්ඩ 20ත් 30ත් අතරටත් සහ 1561ක් වයස් කාණ්ඩ 50ත් 60ත්  අතරට අයත් බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා දත්තවලට අනුව, සිරකරුවන්  1,454ක් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 421 දෙනෙකුද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 220 දෙනෙකුද  සිටින බව සඳහන් වෙයි.එමෙන්ම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 245 දෙනෙකුද බන්ධනාගාරගතව සිටින බව වාර්තා වෙයි. රුපියල් 100,000කට වැඩි දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 207කි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks