බලන්න

01

E   |   த   |  

2026-08-07

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මැතිවරණ ප්‍රතිසංස්කරණයට ලැබී ඇති යෝජනා 31ක් සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විශේෂඥ මණ්ඩලයක් පත් කරයි

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර, වාර්තාවක් සකස් කිරීම සඳහා මැතිවරණ සම්බන්ධ නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් විශේෂඥ මණ්ඩලයක් පත් කරන ලදී.

ඒ මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.

එහිදී 2004, 2007 සහ 2022 වසරවල පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා මෙන්ම පුද්ගලයන් හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් පදනම් කර ගනිමින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමය සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම, සුළු පක්ෂ හා සුළුතර කණ්ඩායම්වල නියෝජනය තහවුරු කිරීම, කාන්තා නියෝජනය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු යෝජනා පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව ද සලකා බැලුණු අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිපාදන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

කාරක සභාව විසින් පත් කළ විශේෂඥ මණ්ඩලය මඟින් ලැබී ඇති යෝජනා 31 සහ පූර්ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා විශ්ලේෂණය කර ප්‍රායෝගික නිර්දේශ සහිත වාර්තාවක් සකස් කිරීමට නියමිත අතර, එම නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීමට කාරක සභාව තීරණය කළේය.

මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, රුවන්තිලක ජයකොඩි සහ කදිරවේලු ෂන්මුගම් කුගදාසන් යන මහත්වරු සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-10-22

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ඔක්. 20) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, හර්ෂණ රාජකරුණා, විජේසිරි බස්නායක, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, තිලිණ සමරකෝන්, අජිත් අගලකඩ, සුනිල් රාජපක්ෂ, චම්පික හෙට්ටිආරච්චි සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය, එහි පවතින ප්‍රමිතීන් සහ වැඩිදියුණු කළ යුතු අංශ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ප්‍රසම්පාදන කටයුතුවලදී මතුවන ප්‍රමාදයන්, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ගැටලු, නීතිමය රාමුවේ පවතින අඩුපාඩු සහ ඩිජිටල් පද්ධති භාවිතයේදී මතුව ඇති අභියෝග පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදන කමිටුවල මූල්‍ය සීමාවන් ඉහළ නැංවීම, නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්‍රමවේදය හඳුන්වාදීම සහ ක්ෂේත්‍රයට විශේෂිත වූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය. එමෙන්ම ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලීනව විධිමත් කිරීම මගින් සිදුවන ප්‍රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. දැනට අමාත්‍යාංශ 19ක් ඇතුළුව සක්‍රීය ප්‍රසම්පාදන ඒකක 394ක්  ආවරණය වන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීම සඳහා මෙම පද්ධතිය භාවිත කෙරෙන අතර, 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළත් වන පරිදි එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡාවේදී සඳහන් විය.මෙම ඩිජිටල් පද්ධතිය සංවර්ධනය කිරීමේදී මතුවූ ප්‍රමාදයන් සහ පෙර ගිවිසුම්කරුවා සමග පැවති එකඟතාව  අවසන් කිරීමට සිදුවීම පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. නව සංවර්ධකයෙකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර ලෝක බැංකුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5 ක ප්‍රදානයක් හිමිවන බවත් මෙහිදී සඳහන් විය.තවද, දැනට පවතින ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා චක්‍රලේඛ බලාත්මක කිරීම  සහ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල කිරීම, අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල අදහස් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් සහ කෙටුම්පත සංශෝධනය කිරීමේදී මතුවූ ගැටලු ඒ අතර විය.ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු සහ ඒවා ලබාගන්නා සමාගම්වල ප්‍රතිලාභී අයිතිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම (පෙර අසාදු ලේඛනගත කළ සමාගමක්ද යන වග), සහ අභියාචනා සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින පරිපාලනමය හා තාක්ෂණික බාධා අවම කරමින් රාජ්‍ය මුදල් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මීට අමතරව, මෙහිදී 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාව සහ 2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව (ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්‍රමය) කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන ලදී. එහිදී පොරොත්තු ලේඛනයේ සිටින ණය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම ණය ලබාදීම සිදුකරන බව නිලධාරීන් පැවසූහ.


2026-10-21

කොළඹ වරායේ ඉඩම් බදුදීම ඇතුළු කරුණු පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස්

2023 වසරේ සිදු වූ කොළඹ වරායේ තෙල් බංකරින් පහසුකම් සඳහා ඉඩම් බදුදීම සහ ඊට අදාළ කරුණු  පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දීම සිදු විය.කොළඹ වරායේ භාවිතයට නොගත් ඉඩම් බදු දීම, තෙල් බංකරින් (Bunkering) මෙහෙයුම් සඳහා ඉඩම් වෙන් කිරීම සහ ඒ ආශ්‍රිත නීතිමය සමථකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය හා වෙළඳපොළ තරඟකාරීත්වය පිළිබඳව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. තෙල් බංකරින් ක්ෂේත්‍රය ලිහිල් කිරීම (Liberalization) සඳහා 2022 ජූනි 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සහ 1971 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව හිස් ඉඩම් බදු දීමට ටෙන්ඩර් කැඳවා තිබී ඇත. එම ටෙන්ඩර් පටිපාටිය යටතේ තෝරාගත් සමාගමකට පරන්තන් ප්‍රදේශයෙන් ලබා දුන් ඉඩම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වරාය අභ්‍යන්තරයෙන් විකල්ප ඉඩමක් ඉල්ලා ඇති බව හෙළි විය. අදාළ සමාගමට නියමිත මාස හයක කාලය තුළ ප්‍රමාණාත්මක අවදානම් තක්සේරු වාර්තාව (QRA) ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එකඟතාව අවලංගු කළ ද, සමාගම අධිකරණයට යෑමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ශ්වයන්ට සමථයකට එළඹීමේ හැකියාව සොයා බලන ලෙස දන්වා ඇත.ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (තාක්ෂණික), ප්‍රධාන නීති නිලධාරී සහ පරිශ්‍ර කළමනාකරුගෙන් සමන්විත නිලධාරී කමිටුවක් අදාළ සමාගම සමඟ සාකච්ඡා කර සමථයකට පැමිණ තිබේ. ඒ අනුව මුලින් ලබා දීමට සැලසුම් කළ අක්කර 4ක් පමණ වූ  ඉඩම වෙනුවට තෙල් ගබඩාව (Oil Bank) ආසන්නයේ පිහිටි අක්කර 2ක් පමණ වූ ඉඩමක් ලබා දීමට එකඟතාව පළ කර, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ශ්‍රේෂ්ඨාධිකරණයට ඒකාබද්ධ සමථ යෝජනාවක් (Joint Settlement Motion) ඉදිරිපත් කර ඇත.වරාය අභ්‍යන්තරයේ ජැටියට සහ තෙල් ගබඩාවට ආසන්නයෙන් පුද්ගලික සමාගමකට ඉඩම් ලබා දීම තුළින් වෙළඳපොළ ඒකාධිකාරයක් (Monopoly) හෝ අසාධාරණ තරඟකාරීත්වයක් ඇතිවේදැයි කාරක සභාව විසින් ප්‍රශ්න කරන ලදී. දැනට බංකරින් තෙල් ගබඩා කිරීමේ ඒකාධිකාරය පවතින්නේ ජයබහලු පර්යන්තය (JCT) සතුව පමණක් බැවින්, නව ආයෝජකයෙකු පැමිණීම මගින් එම ඒකාධිකාරය බිඳවැටී විවෘත තරඟකාරීත්වයක් ගොඩනැගෙන බව වරාය අධිකාරියේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.මෙම සමථ ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත දැනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්චිත ඉඩමක් ලබාදෙන ලෙස නියෝග කර නොමැති අතර, සමථයක් ලෙස මෙම ඉඩම යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් බැවින් එම යෝජනාව නිසි ලෙස සාධාරණීකරණය (Justify) කළ යුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව "තීරණය නිවැරදි විය යුතු සේම එම නිවැරදි බව විනිවිදභාවයෙන් යුතුව පෙනෙන්නට තිබිය යුතුය" යන මූලධර්මය මත පිහිටා, මෙමගින් වෙළඳ ඒකාධිකාරයක් බිහි වන්නේ ද නැතහොත් බිඳෙන්නේ ද යන්නත්, දීර්ඝකාලීන මූල්‍ය අවාසියක් සිදුවන්නේ ද නැද්ද යන්නත් ඇතුළත් පූර්ණ වාර්තාවක් සතියක් ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලයට යැවීමට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට කාරක සභා සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.කොළඹ වරායේ මෙහෙයුම් ප්‍රගතිය සහ වර්ධනය පිළිබඳව ද මෙහිදී කාරක සභාව විසින් විමසන ලදී. රතු මුහුද, සූවස් ඇළ සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත සැපයුම් දාමයට ඇති වන බාධා හමුවේ වුවද, කොළඹ වරායේ පර්යන්ත පහ ඒකාබද්ධව වසරේ මුල් මාස අට තුළ  11% ක පමණ වර්ධනයක් අත්කර ගනිමින් මෙහෙයුම් ඵලදායිතාව සහ ආදායම ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.    


2026-10-21

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහ ඇප ලබාදීමේ නීති සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් දෙකක්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලා, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව  අනුමත කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී, අත්අඩංගුවට ගෙන රජයේ භාරයේ පවතින මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නීතිමය සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.එහිදී, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව දින 60ක් ඇතුළත ලබා ගැනීම, එම වාර්තාව ලැබීමෙන් පසු දින 15ක් ඇතුළත අධිකරණ නියෝගය ලබා ගැනීම සහ අධිකරණ නියෝගයෙන් පසු දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කාලසීමා නියම කිරීමට අදාළ විධිවිධාන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ. එමෙන්ම, සැකකරුවකු නොමැති හෝ මත්ද්‍රව්‍ය අතහැර දමා ගොස් ඇති අවස්ථාවලදී හෝ අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට යෝජනා කර ඇති විධිවිධාන පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාක්ෂි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එම ක්‍රියාවලිය ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීම, අවශ්‍යතාවක් ඇති වුවහොත් දෙවන රසායනාගාර පරීක්ෂණයක් සඳහා සාම්පලයක් ආරක්ෂිතව තබා ගැනීම සහ විශාල මත්ද්‍රව්‍ය තොගවලින් නියෝජිත සාම්පල ලබා ගැනීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන ද නිලධාරීහු පැහැදිලි කළහ.මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමට අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ අනුව, ග්‍රෑම් 100 දක්වා බරක් සහිත මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත්, එම සීමාව ඉක්මවන අවස්ථාවලදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ.මීට පෙර පැවති ග්‍රෑම් 10ක සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම ඇතුළු හේතු මත සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීමට දායක වීම බව ද මෙහිදී පැහැදිලි කෙරිණි. තවද, මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැරදි සම්බන්ධයෙන් ආඥාපනතේ 54(1) වගන්තියට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය.මෙම පනත් කෙටුම්පත් දෙකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරිපත් වූ සංශෝධන සහ අතිරේක සංශෝධන ද කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, චන්දන සූරියආරච්චි සහ ධර්මප්‍රිය විජේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.


2026-10-19

දකුණු පළාත් සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සහ රාජ්‍ය දේපළ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්‍ය අලාභ පිළිබඳව “කෝපා” කමිටුවේ අවධානය

දකුණු පළාත් සභාවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීමේදී රාජ්‍ය ආයතනවලට අදාළ දීමනා ලබාදීම, චක්‍රලේඛ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සහ යන්ත්‍රෝපකරණ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්‍ය අලාභ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමු විය.2023.03.24 දිනැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී ලබාදී තිබු නිර්දේශ සම්බන්ධයෙන්  පසු විපරමක් සහ 2021-2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 හා 2025 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡ‍ා කිරීමට එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තිබූ ඇස්ෆෝල්ට් නිෂ්පාදන යන්ත්‍රය 2021 වසරේදී වෙන්දේසි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේය. 2013 වසරේදී අධිකාරිය වෙත පවරා දී තිබූ මෙම යන්ත්‍රය, 2018 වසරෙන් පසු මහා පරිමාණ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘති නොමැති වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව නිලධාරීහු පෙන්වා දුන්හ. යන්ත්‍රය අක්‍රියව තබා ගැනීමෙන් නඩත්තු හා ආරක්ෂණ වියදම් දැරීමට සිදුවීම ද එය වෙන්දේසි කිරීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් විය.කෙසේ වෙතත්, යන්ත්‍රය වෙන්දේසි කිරීමේදී එහි ඉතිරිව තිබූ තාර ලීටර් 21,782ක් සහ ඩීසල් තොගය නිසි පරිදි තක්සේරු කර වෙන්දේසි වටිනාකමට ඇතුළත් නොකිරීම හේතුවෙන් මූල්‍ය අලාභයක් සිදුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මෙම අලාභයට අදාළව ගැනුම්කරුගෙන් මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය විය.මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සිදුකර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබුණද, අලාභය අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීම මෙතෙක් සිදුව නොමැති බව ද සාකච්ඡා කෙරිණි. අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය කර සැබෑ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා නැවත පූර්ණ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.මීට අමතරව, දකුණු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මතුවූ ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පැළ සැපයීම සඳහා සිදුකළ ප්‍රසම්පාදනයකදී එකම සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීම, අත්තිකාරම් මුදල් ගෙවා තිබියදී නියමිත සැපයුම් සම්පූර්ණ නොවීම සහ අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ඉඩමක් පවරා ගැනීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එසේම, නිසි අවශ්‍යතා ඇගයීමකින් හෝ ශක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් මිලියන 27ක පමණ වියදමින් ස්කෑනර් යන්ත්‍ර 86ක් මිලදී ගැනීම සහ ඒවායින් බහුතරයක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට නොගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. අදාළ මෘදුකාංග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඩිජිටල්කරණ කටයුතු අතරමඟ ඇනහිටීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.තවද, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ඉන්ධන සහ නිවාස දීමනා ලබාදීමේදී අදාළ චක්‍රලේඛ හා මූල්‍ය රෙගුලාසි නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලුණි.රාජ්‍ය මුදල් සහ දේපළ භාවිතයේදී විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, අනාවරණය වූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර, වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අදාළ නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අරවින්ද සෙනරත්, ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, රුවන්තිලක ජයකොඩි, මංජුල සුරවීර ආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ සහ සුනිල් රත්නසිරි  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks