පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-05
පුවත් කාණ්ඩ : පුවත්
“පාර්ලිමේන්තු ප්‍රිමියර් ලීග් (PPL) 2026” පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය අන්තර් දෙපාර්තමේන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ගයාන් පෙරේරා නායකත්වය ලබා දුන් “රෝයල් රිසීවර්ස්" කණ්ඩායමත් කාන්තා ශූරතාව පිට පිට තෙවැනි වතාවට ගීතානි විදානපතිරණගේ නායකත්වයෙන් යුත් " ගෝල්ඩන් ෆ්ලේම්ස් “කණ්ඩායමත් දිනා ගැනීමට සමත් විය.
එසේම පිරිමි අනුශූරතාව ප්‍රදීප් රණතුංගගේ නායකත්වයෙන් යුත් " දියවන්නා රයිඩර්ස් " කණ්ඩායමටත් කාන්තා අනුශූරතාව මිනෝලි මධුශිකාගේ නායකත්වයෙන් යුත් “වන් ටූ වන් ගර්ල්ස්” කණ්ඩායමටත් හිමිවිය.
පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් තරගාවලිය මෙවර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.
තරගයේ ජයග්‍රාහක කණ්ඩායම්වලට සහ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන සහ පදක්කම් පිරිනැමීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සණස නිර්මාතෘ සහ සභාපති ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය, සණස සමිති සංවර්ධන ප්‍රධානි තුසිත් වීරවර්ධන, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි කුෂාන් ජයරත්න සහ ආහාරපාන හා ගෘහපාලන අධ්‍යක්ෂ රාජ් එදිරිසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
මෙහිදී, PPL 2026 ශූරතාවය දිනාගත් ‘රෝයල් රිසිවර්ස්’ කණ්ඩායමේ සුරංග වික්‍රමආරච්චි, අවසන් මහා තරගේ වීරයා ලෙස නම් කෙරිණි. එසේම එම කණ්ඩායමේ භවන්ත ශාමික තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත් එම කණ්ඩායමේ ජනිත් ආරියතිලක තරගාවලියේ වීරයා ලෙසත් සම්මානිත විය.
එසේම තරගාවලියේ අනුශූරයන් වූ දියවන්නා රයිඩර්ස් කණ්ඩායමේ ඒ. ජී සුරේෂ් චතුරංග කුමාරජීව තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත්විය.
තවද ප්‍රථම වරට පිරිනැමූ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට “ගෝල්ඩන් ෆ්ලේම්ස්” කණ්ඩායමේ රුවන්ගා ගමගේ සමත් විය.
PPL 2026 ශූරයන් බවට පත්වූ රෝයල් රිසිවර්ස් කණ්ඩායමට ගයාන් පෙරේරා (නායක), දර්ශන තුසිත, අමල් සේනාධීර, චාමර වසන්ත, මොහාන් ටිලූෂ, භවන්ත ශාමික, කිත්මිණ මධුශංක, ජනිත් ජුශාන්, සංජය නුවන්, මලිදු පීලිගම, සුරංග වික්‍රමආරච්චි, චතුෂ්ක මධුශාන්, කේෂර ගනේෂ්, හංසක මධුශාන් සහ සසංක මධුශාන් යන සාමාජිකයෝ ක්‍රීඩා කළහ.
PPL 2026 කාන්තා ශූරතාව දිනූ ගෝල්ඩන් ෆ්ලේම්ස් කණ්ඩායමට ගීතානි විධානපතිරණ (නායිකා), රුවන්ගා ගමගේ, එෂානි ජයවීර, රිෂ්මියා නූටාන්, නිරෝෂණී වික්‍රමසිංහ, තමරා කුමාරි, ගයාත්‍රි සිල්වා, කෞශල්‍යා දිසානායක, ලුක්ෂානි ලද්දුසිංහ, නිලූෂි ජයසූරිය, නිලූෂි ප්‍රනාන්දු, ගයාත්‍රි කල්ලෑගොඩ, ඉන්දිකා දේවගේ, නිසංසලා පෙරේරා, සහ පී.ජී.කේ. එන්. මිහිරි යන සාමාජිකාවෝ ඇතුළත් වුහ.
2026-08-17
නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් ද පැවැත්විණි. අනතුරුව, පාර්ලිමේන්තුවේ සභාගර්භය ඇතුළු පරිශ්‍රය නැරඹීමට ද ඔවුහු එක් වුහ.පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) එම්. ජයලත් පෙරේරා, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කාංචන හේරත් සහ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ශාන්ත ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.
2026-08-14
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසත් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය රන් සම්මානය දිනා ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.parliament.lk, පසුගියදා පැවති “BestWeb.lk 2026” සම්මාන උළෙලේදී සියලු අංශයන්හි විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය (Overall Silver Award) දිනා ගැනීමට සමත් විය. එසේම මෙහිදී, “රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය” කාණ්ඩයේ රන් සම්මානය ද (Gold Award) පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට හිමිවීම විශේෂත්වයකි. ‘LK Domain Registry’ විසින් සංවිධානය කරන ලද “BestWeb.lk 2026” සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්හිදී 2026 අගෝස්තු 12 වැනිදා පැවැත්විණි.විවිධ කාණ්ඩ 24ක් යටතේ වෙබ් අඩවි 350කට අධික සංඛ්‍යාවක් මෙවර තරඟයට එක්ව සිටි අතර, තාක්ෂණික ක්‍රියාත්මක කිරීම, කාර්යසාධනය, නිර්මාණකරණය, අන්තර්ගතය, ආරක්ෂාව සහ අනෙකුත් අමතර විශේෂාංග ඇතුළු නිර්ණායක රැසක් මත වෙබ් අඩවි ඇගයීමට ලක්කර තිබේ.පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මීට පෙරද මෙම තරගාවලියේදී අවස්ථා කිහිපයකදී සම්මාන දිනාගෙන ඇති අතර, නවීකරණය කරන ලද වෙබ් අඩවිය හඳුන්වාදීමෙන් අනතුරුව වසර හතක විරාමයකින් පසු මෙවර තරගයට නැවත එක්වීම විශේෂත්වයකි.සම්මාන උළෙල සඳහා සම්භාවනීය ආරාධිතයින්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් මෙන්ම තරගයේ සම්මානලාභීන් සහ නිර්දේශිත වෙබ් අඩවි නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.පාර්ලිමේන්තුවේ ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට සහ එහි නිල මාර්ගගත වේදිකාව හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි, විශ්වාසදායක සහ පරිශීලක-හිතකාමී ලෙස පාර්ලිමේන්තු තොරතුරු සැපයීමට දරන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීමෙන් තහවුරු වේ.
2026-08-13
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 අගෝස්තු මස 10 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන පාර්ලිමේන්තු පරිශ්‍රයේ කාරක සභා කාමර අංක 02 හිදී පැවැත්විණි.මෙහිදී “පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය” පිළිබඳව ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) චන්දිමා සුබසිංහ මහත්මිය විසින් විද්‍යාර්ථීන් දැනුවත් කරන ලදී. පාර්ලිමේන්තුවේ කාර්යභාරය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව මෙහිදී පැහැදිලි කරනු ලැබිණි.අනතුරුව පැවති අදහස් දැක්වීමේ අවස්ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය රසාංජලී පෙරේරා මහත්මිය සභාව අමතමින්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සඳහා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙත සිය ස්තූතිය පළ කරන බව සඳහන් කළාය. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව සෘජුවම දැනුවත් වීමට ලැබීම විද්‍යාර්ථීන්ට ඉතා වැදගත් හා ප්‍රයෝජනවත් අත්දැකීමක් බව ද ඇය පෙන්වා දුන්නාය.එමෙන්ම, අධ්‍යයන කටයුතුවලදී ලබාගන්නා න්‍යායික දැනුම ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීමට මෙවැනි වැඩසටහන් වැදගත් වන බවත්, විද්‍යාර්ථීන්ගේ දැනුම පුළුල් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහන් මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බවත් මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.වැඩසටහන අවසානයේදී සහභාගී වූ විද්‍යාර්ථීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, වැඩසටහනට සහභාගී වූ විද්‍යාර්ථීන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ චාරිකාවකට ද එක් වුහ .
2026-08-11
පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු 18 සිට 21 දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝස්තු 7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 2026 අගෝස්තු 18 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව, ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරිමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය. ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමය නියමිතව තිබේ. 2026 අගෝස්තු 19 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් පනත යටතේ යෝජනා සම්මතය (මෙම යෝජනාව 2026.08.07 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 4 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ අංක 4 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇත. 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.2026 අගෝස්තු 21 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks