පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-04
පුවත් කාණ්ඩ : පුවත්
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 04) සිය සහතිකය සටහන් කළේය.
මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂඨාධිකරණ නියෝගයට අනුව ( 14 වැනි වගන්තියට) විශේෂ බහුතරයකින් ද, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී 2026.07.09 වෙනිදා සම්මත විය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් මුදල් විශුද්ධිකරණ අපරාධ මැඩපැවැත්වීම සඳහා පවතින නීතිමය යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීමටත්, මූල්‍ය අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යාවත්කාලීන කිරීමටත් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණ අපරාධවල විෂය පථය පුළුල් කිරීම, මූලික අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්වීමකින් තොරව ද මුදල් විශුද්ධිකරණ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන පරිදි විධිවිධාන සැලසීම, සැක සහිත වත්කම් තාවකාලිකව රඳවා තැබීමේ නියෝග සහ වත්කම් පාලනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අංග වේ.
එමෙන්ම, රඳවා තැබූ දේපළ කළමනාකරණය හා බැහැර කිරීම, අපරාධමය දේපළ රාජසන්තක කිරීම, විමර්ශන බලතල පුළුල් කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ මුදල් විශුද්ධිකරණ වරද සඳහා වන දඬුවම් ඉහළ නැංවීම සඳහා ද නව ප්‍රතිපාදන මෙම පනත මගින් හඳුන්වා දී ඇත.
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සහ සමූල ඝාතන අවි සංගුණනයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
එමෙන්ම
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සඳහා සංශෝධන හඳුන්වා දෙන අතර, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා පවතින නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇත.
මෙම සංශෝධන මගින් ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රමිතීන් හා එක්සත් ජාතීන්ගේ සම්මුතිවලට අනුකූලව තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමට ද පහසුකම් සැලසෙනු ඇත.
මෙමගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ මූල්‍ය කාර්ය සාධක බලකාය රාමුව යටතේ ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු ජාත්‍යන්තර බැඳීම් සපුරාලීම සඳහා වන කැපවීම තවදුරටත් තහවුරු කරනු ඇත.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් පිළිවෙලින් 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත, 2026 අංක 17 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත සහ 2026 අංක 18 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-08-20
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks