පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-07-24
පුවත් කාණ්ඩ : පුවත්
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය නිමා කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු චී ජෙන්හොං (H.E. Qi Zhenhong) මහතා, 2026.07.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
තානාපතිවරයා පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය තුළ කැපවීමෙන් ඉටු කළ සේවාව වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළේය. එතුමාගේ සේවාව ශ්‍රී ලංකාව හා චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇති බව ද කථානායකවරයා සඳහන් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා තානාපතිවරයා දැක්වූ කැපවීම අගය කළ ගරු කථානායකවරයා, ඔහුගේ සේවාව ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින නොබිඳෙන මිත්‍රත්වයේ සංකේතයක් බවද පැවසීය.
තවද, ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා චීන රජය සහ චීන ජනතාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. තානාපති චී ජෙන්හොං මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරන්තරයෙන් දැක්වූ මිත්‍රශීලීත්වය සහ සහයෝගය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ඇතුළු සමාජයේ සෑම ස්ථරයකම ජනතාවගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ බවද එතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් තානාපතිවරයාගේ වටිනා සේවාව සහ ශ්‍රී ලංකා–චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කළ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, දෙරට අතර පවතින සමීප සබඳතා ඉදිරියටත් වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
එමෙන්ම, රජය ක්‍රියාත්මක කරමින් සිටින ජාතික සංහිදියා වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළ අතර, ජාතිවාදයට හෝ කිසිදු ආකාරයක වෙනස් කොට සැලකීමකට ඉඩ නොතබමින්, සියලු පුරවැසියන්ට සමානාත්මතාව, ගෞරවය සහ අභිමානය හිමිවන සමාජයක් ගොඩනැගීම සඳහා රජය කැපවී සිටින බවද අවධාරණය කළේය.
ගරු කථානායකවරයාට සිය කෘතඥතාව පළ කළ තානාපති චී ජෙන්හොං මහතා, තම ධුර කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ගරු කථානායකතුමා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කළේය. චීනය ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බව යළිත් අවධාරණය කළ එතුමා, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය. තවද, ශ්‍රී ලාංකික ජනතාව තමා වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම, කරුණාව සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පළ කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සැමවිටම තම "දෙවැනි නිවහන" ලෙස හැගුණ බවද සඳහන් කළේය.
මෙම සුහද හමුවේදී, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය සහ වර්ධනය වෙමින් පවතින විද්‍යුත් වාහන (EV) වෙළෙඳපොළ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම සිදුවිය. තවද, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබාදෙන ලෙස ද ගරු කථානායකවරයා ඉල්ලීමක් කළේය.
හමුවෙන් අනතුරුව, ගරු කථානායකවරයා විසින් තානාපති චී ජෙන්හොං මහතාට දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව, තානාපතිවරයා සහ එතුමාගේ දූත පිරිස කථානායකවරයාගේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කළහ. එහිදී, මූලාසනය හෙබවූ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තානාපති චී ජෙන්හොං මහතා සහ එතුමාගේ දූත පිරිසගේ පැමිණීම සභාවට නිල වශයෙන් දැනුම් දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, තානාපතිවරයාගේ ආර්යාව වන ජින් ක්වින් (Madam Jin Quin) මහත්මිය, චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක සහ නියෝජ්‍ය ප්‍රධානී ෂු යැන්වෙයි (Mr. Zhu Yanwei) මහතා සහ දෙවැනි ලේකම් ෂැං ලුටින් (Ms. Zhang Luting) මහත්මිය ද මෙම හමුවට එක්ව සිටියහ.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-08-20
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks