logo

02

E   |     |  

2026-07-21

පුවත් කාණ්ඩ : පුවත් 

"කෝප්" සහ "කෝපා" වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විවිධ ආයතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලට අදාළ කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා පිළිවෙලින් නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට යොමු කිරීම පිණිස වන තීරණ සඳහා අද දින (ජූලි 21) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. 

ඒ අනුව, විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 දින සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025.10.24 වන දින සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් වාර්තාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට අදාළ තීරණයට අනුමැතිය හිමි විය.  

තවද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කාරක සභා රැස්වීම්වලදී සිදු කරන ලද විමර්ශනවලට අදාළව සභාගත කරන ලද වාර්තා මගින් හඳුනාගත් සිද්ධි පිළිබඳව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (4) ප්‍රකාරව නිසි පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ගත් තීරණයද පාර්ලිමේන්තුව විසින් අද අනුමත කරන ලදී. 

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය. ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතන පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලට අදාළ කරුණු ඇතුළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරෙනු ඇත.

2026.04.07 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 119(4) සහ 120(4)ට අදාළ සංශෝධනවල විධිවිධාන ප්‍රකාරව මෙම අනුමැතිය ලබා දීම සිදුවිය. 




සම්බන්ධිත පුවත්

2026-07-21

ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹ අල් හිදායා විද්‍යාලයේදී

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සහ එය ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹ – 10, අල් හිදායා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අල් හිදායා විද්‍යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව, විද්‍යාලයේ විදුහල්පතිනි ඒ.එෆ්. සරූක් මහත්මිය සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පුස්තකාලයාධිපති එස්.එල්. සියාද් අහමඩ් මහතා විසින් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිසුන් වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.එමෙන්ම, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා නිලධාරී ඒ.එස්.එම්. යස්රි මහතා විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි ක්‍රියාකාරිත්වය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගික උදාහරණ සහිතව සිසුන් දැනුවත් කරන ලදී.මෙම වැඩමුළුව සඳහා ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඔවුන්ට පැවති ගැටලු හා සැකසංකා පිළිබඳව ද මෙහිදී පැහැදිලි කර ගැනීමට අවස්ථාව හිමි විය.


2026-07-21

ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 21) සිය සහතිකය සටහන් කළේය.1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මෙන්ම 1988 අංක 56 සහ 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත් මඟින් පාරිසරික ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණද, වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට පවතින නෛතික රාමුව ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන පනත හඳුන්වා දෙන ලදී.මෙම පනත මඟින් පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නියාමන ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා භාවිත වන යාන්ත්‍රණ නවීකරණය කිරීම අරමුණු කර ඇත.ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.


2026-07-20

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ඉල්ලීමකට අනුව, ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් සඳහා වූ සිව්දින ධාරිතා සංවර්ධන වැඩසටහන (Capacity Building Programme) මේ මස 13 සිට 17 දක්වා නවදිල්ලියේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සාර්ථකව පැවැත්විණි. මෙම ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා එක් විය.මෙම වැඩසටහනේදී ඉන්දීය පාර්ලිමේන්තුවේ සංවිධාන ව්‍යුහය, පරිපාලන ක්‍රමවේද සහ පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳව විස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කෙරිණි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා සහ සුබසාධන සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද දැනුම හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාව හිමි විය.එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ඇතුළු ලේකම් මණ්ඩලයේ බලතල සහ කාර්යයන්, කාරක සභාවල කාර්යභාරය, කාරක සභා ලේකම් කාර්යාලවල කළමනාකරණය, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු, ඉන්දීය පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු සම්බන්ධ ස්ථාවර කාරක සභා පද්ධතිය, කථානායකවරයා ඇතුළු සභාපති මණ්ඩලයේ බලතල හා වගකීම් මෙන්ම පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ අයවැය සැකසීම ඇතුළු විෂයයන් පිළිබඳව විශේෂඥ දේශන සහ සාකච්ඡා පැවැත්විණි. තවද “Sansad TV” නාලිකාවේ වැඩසටහන් සකස්කිරීම සහ ලෝක් සභා සහ රාජ්‍ය සභා රැස්වීම් එම නාලිකාව විසින් ආවරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලබාදීමද මෙම වැඩසටහනේදී සිදු විය. ඊට අමතරව, ඉන්දීය පාර්ලිමේන්තු පුස්තකාලය, ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ (Lok Sabha, Rajya Sabha) සභා ගර්භ, ඇතුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ ස්ථාන නිරීක්ෂණය කිරීමට ද ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාව හිමි විය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා සහ ඉන්දියානු පාර්ලිමේන්තු අතර ආයතනික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් ලෙසද සැලකේ. 


2026-07-20

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන්  අයැදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට  නිර්දේශ කිරීම ’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 ජුලි 31 දින හෝ එදිනට පෙර,යොමුකළ යුතුය.අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව -  කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks