logo

බලන්න

02

E   |     |  

2026-07-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය අරඹනවා - අමාත්‍ය බිමල් රත්නායක මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි

වඩාත් යහපත් පොදු ප්‍රවාහනයක් උදෙසා පොකුරු බස් සමාගම් ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වූ බවත්  ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 

පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. 

ඒ අනුව 177, 170 සහ 190 යන මාර්ග අංකයන්හි ධාවනය වන බස් රථවලට අදාළව,  නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා ලෙස පෙර පැවති කාණ්ඩ හතරෙන්  ‍ අර්ධ සුඛෝපභෝගී සේවා හා අධි සුඛෝපභෝගී සේවා කාණ්ඩ දෙක ඉවත්  කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  අර්ධ සුඛෝපභෝගී සේවා සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් පවතින බවත් ඊට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. දුර ගමන් සේවා සහ කෙටි දුර ගමන් සේවා සඳහා බස් ගාස්තු තීරණය කිරීමට එකම සූත්‍රයක් භාවිතා කිරීම සාධාරණ නොවන බැවින් දුර ගමන් සේවා සඳහා දැරීමට සිදුවන වැඩි පිරිවැය සැලකිල්ලට ගෙන දුර ගමන් බස් ගාස්තු තීරණය කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් හදුන්වා දෙන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. බස් කර්මාන්තය රැක ගැනීමටත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කළේය. 

ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියේය. තෙල් මිල අඩුවන ප්‍රමාණයට සාපේක්ෂව අනෙකුත් පිරිවැය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම ගැටලුවක් බව නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ. 

මාර්ග අනතුරු අවම කිරීම, පාපැදි සහ යතුරු පැදි සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, මාර්ග සංවර්ධන කටයුතු, මගී ජනතාවට ඉතිරි මුදල් නොලැබීම සම්බන්ධ පැමිණිලි ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පියවර ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදුවිය.  

එසේම ප්‍රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවලට අදාළව ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ද කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

තවද, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී කාරක සභාවේ එකඟත්වය පළවිය. 

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ආසන පටි සවිකිරීමට ලබා දුන් සහන කාලය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ බැවින් එම සහන කාලය 2026.03.20 වැනි දිනයෙන් ආරම්භ වී 2026.06.19 වැනි දිනයෙන් අවසාන වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා මෙම නියෝග ප්‍රකාශයට පත්කර ඇත.

නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී විය.




සම්බන්ධිත පුවත්

2026-08-07

මැතිවරණ ප්‍රතිසංස්කරණයට ලැබී ඇති යෝජනා 31ක් සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විශේෂඥ මණ්ඩලයක් පත් කරයි

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර, වාර්තාවක් සකස් කිරීම සඳහා මැතිවරණ සම්බන්ධ නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් විශේෂඥ මණ්ඩලයක් පත් කරන ලදී.ඒ මෙම විශේෂ කාරක සභාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.එහිදී 2004, 2007 සහ 2022 වසරවල පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා මෙන්ම පුද්ගලයන් හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් පදනම් කර ගනිමින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමය සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම, සුළු පක්ෂ හා සුළුතර කණ්ඩායම්වල නියෝජනය තහවුරු කිරීම, කාන්තා නියෝජනය වැඩිදියුණු කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු යෝජනා පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව ද සලකා බැලුණු අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ප්‍රතිපාදන පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.කාරක සභාව විසින් පත් කළ විශේෂඥ මණ්ඩලය මඟින් ලැබී ඇති යෝජනා 31 සහ පූර්ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා විශ්ලේෂණය කර ප්‍රායෝගික නිර්දේශ සහිත වාර්තාවක් සකස් කිරීමට නියමිත අතර, එම නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීමට කාරක සභාව තීරණය කළේය.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, රුවන්තිලක ජයකොඩි සහ කදිරවේලු ෂන්මුගම් කුගදාසන් යන මහත්වරු සහභාගී වූහ.


2026-08-07

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා පවත්වනු ලබන වැඩමුළුව අගෝස්තු 16 වැනිදා

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය වැඩමුළු මාලාවේ පළමුවැන්න ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා අගෝස්තු 16 වැනිදා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සම සභාපති  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය.ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.08.05 දින පැවති එම සංසදයේ රැස්වීමේදී මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.  තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරෙන අතර සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම ද අපේක්ෂා කෙරේ.මෙම රැස්වීමට සංසදයේ සාමාජික මන්ත්‍රීවරු සහ වැඩමුළු මාලාව සඳහා අනුග්‍රාහකත්වය සපයන සංවර්ධන සහකරු වන CII (Coalition for Inclusive Impact) ආයතනයේ නියෝජිතයෝ  එක්ව සිටියහ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට ලියාපදිංචි විය විය යුතුය.


2026-08-05

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අතරතුර දී නිලධාරීන්ගේ නොමනා හැසිරීමක් සම්බන්ධයෙන් දක්වනු ලබන ප්‍රතිචාරය

2025 ඔක්තෝබර් මස 08 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවල විගණනය කරන ලද වාර්ෂික වාර්තා සහ එකී ආයතනයේ වත්මන් කාර්යසාධනය පිළිබඳ විමර්ශනය කිරීමේදී, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ හැසිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු ව තිබේ.  මෙම රැස්වීම සඳහා සහභාගී වූ නිලධාරීන් අතරින් එක් අයෙකු, පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වීමේ දී නිලධාරීන් විසින් තම ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු වන නිර්නායකයන්ගෙන් බැහැරව, එකී අවස්ථාවට නුසුදුසු ආකාරයෙන් සැරසී රැස්වීමට සහභාගී වී සිටි බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී. තවද, ඉහත කී නිලධාරීන් දෙදෙනාම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ක්‍රියාපටිපාටියට පටහැනි අයුරින් සභාපතිවරයාගේ පූර්ව අවසරයකින් තොරව කාරක සභා රැස්වීමෙන් බැහැර ගොස් ඇති බව ද කාරක සභාව විසින් සඳහන් කරන ලදී. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ගැටළුවට අනුව, පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනාව යටතේ එම නිලධාරීන් දෙදෙනා 2026 පෙබරවාරි මස 17 වැනි දින ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටිනු ලැබූ අතර, එහිදී, ඔවුන් විසින්  සිය හැසිරීම සම්බන්ධයෙන් අවංකවම සමාව අයැද සිටින බව සඳහන් කෙරිණි.  පාර්ලිමේන්තු කාරක සභාවල අධිකාරිය, ගෞරවය සහ ස්ථාපිත ක්‍රියාපටිපාටිවලට ගෞරව කිරීමේ වැදගත්කම පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ක්‍රියාවන්හි බරපතලකම නිලධාරීන් විසින් අවබෝධ කරගෙන ඇති බව නිරීක්ෂණය කළ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් ඒ පිළිබඳව නිසි පරිදි සලකා බැලීමෙන් අනතුරුව, ඉහත කී නිලධාරීන්ට සමාව ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම පිළිගන්නා ලදී. පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා පෙනී සිටින සියලුම පුද්ගලයන් සෑම අවස්ථාවකදීම ඉහළම මට්ටමින් ආචාරධර්ම හා හැසිරීම් අනුගමනය කිරීමත්, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන්ට අනුකූලව කටයුතු කිරීම සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය හා අධිකාරිය ආරක්ෂා කරමින් කටයුතු කිරීමත් අපේක්ෂා කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තව දුරටත් අවධාරණය කරයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 


2026-08-04

ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීමට නව මංපෙත් විවර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල චීන සංචාරය සාර්ථකව අවසන් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකාවේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතාගේ ආරාධනයකට අනුව 2026 ජූලි 25 සිට අගෝස්තු 02 දක්වා චීනයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කළහ.මෙම නියෝජිත පිරිසට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නායකත්වය ලබා දුන් අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඕෂානි උමංගා, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නීතිඥ නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, ඒ.එම්.එම්.එම්. රත්වත්තේ සහ නීතිඥ ගීතා හේරත් යන මහත්මීහු ඇතුළත් වූහ. එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්දාන ප්‍රොටෝකෝල අංශයේ පාර්ලිමේන්තු නිලධාරී ලහිරු පතිරණගේ මහතා ද මෙම සංචාරයට සහභාගි වූහ.චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂෝ (Guangzhou) නගර කේන්ද්‍ර කරගනිමින් පැවති මෙම වැඩසටහන තුළ නිල හමුවීම්, අධ්‍යයන සැසි, ආයතනික සංචාර සහ සංස්කෘතික වැඩසටහන් රැසකට නියෝජිත පිරිස සහභාගි වූහ. ඒ හරහා චීනයේ සංවර්ධන අත්දැකීම්, නවෝත්පාදන පරිසර පද්ධති සහ පාලන ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.සංචාරය අතරතුර ෂෙන්සෙන් විශේෂ ආර්ථික කලාපයේ සංවර්ධනය සහ චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දේශනයකට සහභාගි වූ නියෝජිත පිරිස, Huawei Technologies, Tencent, Mindray, BYD ඇතුළු ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ආයතන සහ නවෝත්පාදන මධ්‍යස්ථාන වෙත ද සංචාරය කළහ. එහිදී කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය, ස්මාර්ට් සෞඛ්‍ය සේවා, නවීන කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ කාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිණි.එමෙන්ම ෂෙන්සෙන් නගර සභාව, ගුවැන්ඩොං පළාත් රජය සහ ගුවැන්ෂෝ නගර සභාවේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී පාර්ලිමේන්තු සහයෝගිතාව, දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම, කාන්තා සවිබල ගැන්වීම සහ දෙරට අතර අනාගත සහයෝගිතා අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරිණි.ෂෙන්සෙන් කාන්තා සම්මේලනය සමඟ පැවති හමුව සංචාරයේ විශේෂ අවස්ථාවක් වූ අතර, කාන්තා සවිබල ගැන්වීම, ළමා සුරැකුම් සේවා, පවුල් සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ද අදහස් හුවමාරු කරගැනීමට එහිදී අවස්ථාව හිමි විය.මීට අමතරව, ලියන්හුවා හිල් උද්‍යානය, Great Tides Surge Along the Pearl River ප්‍රදර්ශන ශාලාව, ගුවැන්ඩොං කෞතුකාගාරය සහ ගුවැන්ෂෝ මෙට්‍රෝ කෞතුකාගාරය ඇතුළු සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන කිහිපයක ද නියෝජිත පිරිස සංචාරය කළහ.මෙම නිල සංචාරය ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු සංවාද, ආයතනික සහයෝගිතාව සහ දැනුම හුවමාරුව සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට ද දායක විය.සංචාරය සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ රජයට, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට, ගුවැන්ඩොං පළාත් බලධාරීන්ට සහ සංචාරය සංවිධානය කළ සියලුම ආයතන වෙත නියෝජිත පිරිස සිය කෘතඥතාව පළ කළහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks