logo

02

E   |     |  

2026-07-08

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා යළි ස්ථාපිත කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමේ රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ලේකම්වරයා ලෙසත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සාමිවෙල් මෙනවිය භාණ්ඩාගාරිකවරිය ලෙසත් තේරී පත් වූහ.

පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් යාන්ත්‍රණයක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමටත් වටිනා වේදිකාවක් බවත් රැස්වීම අමතමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.  

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතාව, අන්‍යෝන්‍ය ගෞරවය, මිත්‍රත්වය සහ සහයෝගීතාව මත ගොඩනැගී ඇති බව සඳහන් කළ ගරු කථානායකවරයා, මෙම මිත්‍රත්ව සංගමය දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතා අවස්ථා විවෘත කරනු ඇතැයි විශ්වාස කරන බව පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද අදහස් දක්වමින් දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර දිගුකාලීනව පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද සඳහන් කළේය.    

එසේම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා අතර කථානායකවරයාගේ නිල කාර්යාලයේදී සුහද හමුවක් ද පැවැත්වුණු අතර, එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගනු ලැබීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.



සම්බන්ධිත පුවත්

2026-07-28

කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1,000ක්

කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන සඳහා 2026 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන යටතේ Dairy Hub සමිති 325ක් හරහා කිරි ගොවීන් සංවිධානය කිරීම, කිරි ආශ්‍රිත ව්‍යවසායකයින් බිහි කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මෙම වැඩසටහන හරහා මෙරට වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම අභිජනන ගොවිපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය කිරි ගොවිපළ සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් කිරි ගොවීන් නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි ගොවීන්ගේ ආදායම් ශක්තිමත් කිරීම සහ දේශීය කිරි අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


2026-07-24

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් කෙරේ

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (ජූලි 24) පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට අදාළව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පෙ.ව 11.30 සිට ප.ව 6.00 දක්වා විවාදය ගැණිනි. අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ද විපක්ෂව ඡන්ද 152ක් හිමිවූ අතර, මේ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්විය.  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව  විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි 21 වන දින ගරු කථානායකවරයා වෙත භාරදෙන ලද විශ්වාසභංග යෝජනාව මෙසේ අද දින විවාදයට ගැනීම සිදුවිය. 


2026-07-24

ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය නිමා කිරීමට නියමිත චීන තානාපතිවරයා ගරු කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය නිමා කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති අතිගරු චී ජෙන්හොං (H.E. Qi Zhenhong) මහතා,  2026.07.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.තානාපතිවරයා පිළිගත් ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය තුළ කැපවීමෙන් ඉටු කළ සේවාව වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කළේය. එතුමාගේ සේවාව ශ්‍රී ලංකාව හා චීනය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇති බව ද කථානායකවරයා සඳහන් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා තානාපතිවරයා දැක්වූ කැපවීම අගය කළ ගරු කථානායකවරයා, ඔහුගේ සේවාව ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින නොබිඳෙන මිත්‍රත්වයේ සංකේතයක් බවද පැවසීය.තවද, ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා චීන රජය සහ චීන ජනතාව අඛණ්ඩව ලබාදෙන සහයෝගය වෙනුවෙන් ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. තානාපති චී ජෙන්හොං මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරන්තරයෙන් දැක්වූ මිත්‍රශීලීත්වය සහ සහයෝගය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ඇතුළු සමාජයේ සෑම ස්ථරයකම ජනතාවගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ බවද එතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් තානාපතිවරයාගේ වටිනා සේවාව සහ ශ්‍රී ලංකා–චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ලබාදුන් සුවිශේෂී දායකත්වය අගය කළ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, දෙරට අතර පවතින සමීප සබඳතා ඉදිරියටත් වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කළේය.එමෙන්ම, රජය ක්‍රියාත්මක කරමින් සිටින ජාතික සංහිදියා වැඩපිළිවෙළ පිළිබඳව ද ගරු කථානායකවරයා චීන තානාපතිවරයා දැනුවත් කළ අතර, ජාතිවාදයට හෝ කිසිදු ආකාරයක වෙනස් කොට සැලකීමකට ඉඩ නොතබමින්, සියලු පුරවැසියන්ට සමානාත්මතාව, ගෞරවය සහ අභිමානය හිමිවන සමාජයක් ගොඩනැගීම සඳහා රජය කැපවී සිටින බවද අවධාරණය කළේය.ගරු කථානායකවරයාට සිය කෘතඥතාව පළ කළ තානාපති චී ජෙන්හොං මහතා, තම ධුර කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ගරු කථානායකතුමා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කළේය. චීනය ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බව යළිත් අවධාරණය කළ එතුමා, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය. තවද, ශ්‍රී ලාංකික ජනතාව තමා වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම, කරුණාව සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පළ කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සැමවිටම තම "දෙවැනි නිවහන" ලෙස හැගුණ බවද සඳහන් කළේය.මෙම සුහද හමුවේදී, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය සහ වර්ධනය වෙමින් පවතින විද්‍යුත් වාහන (EV) වෙළෙඳපොළ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම සිදුවිය. තවද, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබාදෙන ලෙස ද ගරු කථානායකවරයා ඉල්ලීමක් කළේය.හමුවෙන් අනතුරුව, ගරු කථානායකවරයා විසින් තානාපති චී ජෙන්හොං මහතාට දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව, තානාපතිවරයා සහ එතුමාගේ දූත පිරිස කථානායකවරයාගේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කළහ. එහිදී, මූලාසනය හෙබවූ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තානාපති චී ජෙන්හොං මහතා සහ එතුමාගේ දූත පිරිසගේ පැමිණීම සභාවට නිල වශයෙන් දැනුම් දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, තානාපතිවරයාගේ ආර්යාව වන ජින් ක්වින් (Madam Jin Quin) මහත්මිය, චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක සහ නියෝජ්‍ය ප්‍රධානී ෂු යැන්වෙයි (Mr. Zhu Yanwei) මහතා සහ දෙවැනි ලේකම් ෂැං ලුටින් (Ms. Zhang Luting) මහත්මිය ද මෙම හමුවට එක්ව සිටියහ.


2026-07-23

විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී විද්‍යාර්ථීන් පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව නිවැරැදි තොරතුරු මහජනයා වෙත සන්නිවේදනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව ඇරඹුණු , විශේෂ මහජන සේවා වැඩසටහන් මාලාවෙහි තවත් පියවරක්  පසුගියදා එනම් 2026 ‍‍ජූලි  22 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය  කථිකාචාර්යවරුන් ප්‍රමුඛ එම මානව ශාස්ත්‍ර  හා සමාජ විද්‍යා පීඨයේ නීතිවේදී විද්‍යාර්ථීන් 250 කට අධික කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම් නිරීක්ෂණය කළහ. මීට අමතරව, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීම  සම්බන්ධව මහජන සේවා අංශය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේ  වැඩසටහනට සම්බන්ධව නව දැනුම හුවමාරු කරගැනීමටද  මෙම විද්‍යාර්ථීන්ට අවස්ථාව සැලසිණ. එම වැඩසටහන මඟින්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා කාර්යාලය හරහා සංවිධානය කෙරුණේ, පාර්ලිමේන්තුවේ මහ‍ ලේකම්  කුෂානි රෝහණදීර  මහත්මියගෙන්  මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨාධිපති  ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks