පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-06-24
පුවත් කාණ්ඩ : පුවත්
ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර ඇති කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන්සභාව ස්වාධීනව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව එහි සභාපතිනි ග්‍රේස් ආශිර්වාදම් (Ms. Grace Asirwatham) මහත්මිය ඇතුළු කොමිසමේ සමාජිකයින් ඊයේ (ජුනි 23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමුවූ අවස්ථාවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
එහිදි දසවෙනි පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ මෙම ස්වාධීන කොමිෂන් සභාවේ අභිනව සාමාජිකයින් වෙත ගරු කථානායකවරයා සිය උණුසුම් සුබ පැතුම් එක් කර සිටියේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන් වෙනුවෙන් සුවිසල් භාරදූර කාර්‍යභාරයක් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට පැවරී ඇති බව මෙම අවස්ථාවේ දී කථානායකවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.
ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළේ ශ්‍රී ලංකාව බවත් දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව අප රටේ කාන්තාව සමාජයේ ඉදිරියට පැමිණ ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය. එම නිසා තවදුරටත් ශ්‍රී ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් නිවැරදි සහ ස්වාධීන තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව කටයුතු කළ යුතු බවද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවේදී අවධාරණය කළේය.
දැනට කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ පවතින පරිපාලන සහ අනෙකුත් යටිතල පහසුකම් ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳව දෙපාර්ශවය අතර මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු එහි සමාජිකයින් වන කේ.ඩි.ආර්. ඔල්ගා, ශ්‍රීන් සාරූර් (Ms. Shreen saroor), ජනහා සෙල්වාරස් (Ms. Janaha selvaras), ජයන්ති උත්පලා, වෛද්‍ය පද්මා ගුණරත්න, ආචාර්ය කලන සේනාරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-06-24
දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - බහරේන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා තේරී පත් විය.එම සංගමය පිහිටුවීම සඳහා වූ රැස්වීම පාර්ලිමේන්තුවේ දී ඊයේ (ජුනි 23) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.ගරු පාර්ලිමේන්තුමන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය. මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, අබූබකර් අතම්බාවා, කේ. කාදර් මස්තාන් සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු තේරී පත් වූ අතර සහකාර ලේකම්වරුන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්වරු තේරීපත් වුහ. 1992 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩව වර්ධනය වී ඇති බවත් බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරට අතර සබඳතා ශක්තිමත් කරන වැදගත් පුරුකක් බවත් මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළේය.එමෙන්ම දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමේ සංවාද හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම මිත්‍රත්ව සංගමය වැදගත් වේදිකාවක් වනු ඇති බව සඳහන් කළ ගරු කථානායකවරයා, ගෝලීය අභියෝග හමුවේ හුදකලා වීම නොව අඛණ්ඩ සංවාදය සහ සම්බන්ධතාව අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ සංගමයේ අභිනව සභාපතිවරයා වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමේ සක්‍රීය මැදිහත්වීම් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය සහ දෙරටේ ආර්ථික දියුණුව උදෙසා මෙම මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව සඳහන් කළ සභාපතිවරයා, මෙම පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.තවද දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ශ්‍රී ලංකා - බහරේන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා මෙවැනි හමුවීම් දෙරට අතර මිත්‍රත්වය සහ අවබෝධය වර්ධනය කිරීමට මහඟු අවස්ථාවක් සලසා දෙන බව ද පෙන්වා දුන්නේය.මෙම රැස්වීම සඳහා ගරු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.
2026-06-24
හුදෙක් විෂය කරුණුවලට පමණක් සීමා නොවී, නායකත්ව ගුණාංග, සාමූහිකත්වය සහ තීරණ ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට සහ ඒවා වර්ධනය කර ගැනීමට ශිෂ්‍ය පාර්ලිමේන්තුව සුවිශේෂී වේදිකාවක් වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය අවධාරණය කළාය.කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවැති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය මෙම අදහස් පළ කළාය.තාක්ෂණික දියුණුව හමුවේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ යහපත් ආකල්ප සහිත සමාජයක් ගොඩනැගීමට දරුවන් සතු වගකීම පිළිබඳව සිහිපත් කළ නියෝජ්‍ය කාරක සභා සභාපතිනිය දරිද්‍රතාවය පිටුදැකීම, බලශක්ති සංරක්ෂණය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ජාතික මට්ටමේ අභියෝග ජය ගැනීමට ශිෂ්‍ය පාර්ලිමේන්තු හරහා නව අදහස් ඉදිරිපත් කළ හැකි බව ද පෙන්වා දුන්නාය.මෙහිදී අදහස් දැක්වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා, දැනුම, අවබෝධය දක්වා වර්ධනය කර ගැනීමේ වැදගත්කම ප්‍රකාශ කළේය. පර්යේෂණ යනු එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීමට උපකාරී වන ක්‍රියාවලියක් බව පෙන්වා දෙමින්, දරුවන්ගේ කුතුහලය හා විශ්ලේෂණාත්මක චින්තනය වර්ධනය කරගනිමින් දැනුම ප්‍රායෝගිකව භාවිතයට ගැනීමේ වැදගත්කම ද ඒ මහතා සඳහන් කළේය.තවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂණ ගමගේ මහතා, ජනාධිපති අරමුදල මගින් සිසුන් සහ මහජනතාව සඳහා සපයනු ලබන සේවාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ අතර ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් අමතමින් විනය, නායකත්වය සහ මානව දයාවෙන් පිරිපුන් පුරවැසියන් බවට පත් වීමේ වැදගත්කම අවධාරණය කළේය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා මධුභාෂිණි බුලත්සිංහල මත්මිය විසින් සිසුවියන්ව දැනුවත් කළාය.ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින්, කථානායකවරිය තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුවියෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභික සාමාජිකාවන් වෙත ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම සිදු විය. මෙහිදී ආරාධිත පාසල් නියෝජනය කරමින් පැමිණි කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම් ලාල් දිසානායක මහතා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුවියන් හට සිය සුබපැතුම් එක් කළේය. වැඩසටහන අවසානයේ කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේදා ජයවීර මහත්මිය ස්තූති කතාව සිදු කළාය.පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන්ට අවබෝධයක් ලබා දීමේ අරමුණින් එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කෙරුණු අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිම්නේතුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් සහ කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය ගුරු මණ්ඩලය, දෙමාපියෝ සහ සිසුහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-06-19
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ එක්සත් රාජධානියේ ශාඛාව (CPA UK) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (CPA ශ්‍රී ලංකා ශාඛාව) එක්ව සංවිධානය කරන ලද එක්සත් රාජධානි - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වැඩසටහනට (Sri Lanka Committee Visit to Westminster) සහභාගී වීම සඳහා 2026 ජුනි මස16 දින සිට 18 දින දක්වා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වුහ.මෙම නියෝජිත පිරිසට, පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, එස්.එම්. මරික්කාර් , (වෛද්‍ය) ජගත් ගුණවර්ධන, නීතිඥ තුෂාරි ජයසිංහ, කන්දසාමි ප්‍රභූ, ධනුෂ්ක රංගනාත්, රුවන් විජේවීර සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර හා වේත්‍රධාරි කුෂාන් සම්පත් ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේදී පවත්වන ලද මෙම වැඩසටහනෙහි අරමුණු වුයේ, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ පරිපාලනය පිළිබඳ දැනුම, අත්දැකීම් සහ ඵලදායී ලෙස පිළිගත් භාවිතයන් හුවමාරු කර ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අතර සහයෝගීතාවය හා සම්බන්ධතාවය ශක්තිමත් කිරීමයි.මෙහිදී නියෝජිත පිරිස සංසන්දනාත්මක පාර්ලිමේන්තු ක්‍රමවේද, කාරක සභා ව්‍යුහයන් සහ අධීක්ෂණ යාන්ත්‍රණ, නීති සම්පාදනය සහ පශ්චාත් නීති සම්පාදනය පරීක්ෂාව, පාර්ලිමේන්තු ප්‍රමිතීන් සහ වරප්‍රසාද, මූල්‍ය අධීක්ෂණය, මහජන වගවීම, පාර්ලිමේන්තු නවීකරණය සහ මහජන සහභාගීත්වය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා, නිරීක්ෂණ සහ අන්තර්ක්‍රියාකාරී සැසි මාලාවකට සහභාගී වූහ.අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරනු ලබන ප්‍රශ්න ඇතුළුව කාරක සභා වැඩ කටයුතු සහ පාර්ලිමේන්තු සැසි නිරීක්ෂණය කිරීම තුළින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු භාවිතයන් පිළිබඳව සෘජු අත්දැකීම් ලබා ගැනීමටද මෙම වැඩසටහනෙහිදී නියෝජිත පිරිසට අවස්ථාව ලැබුණි. එසේම, මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි මන්ත්‍රීවරුන් (Members of the House of Commons), සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි මන්ත්‍රීවරුන් (Members of the House of Lords) සහ විවිධ පාර්ලිමේන්තු කටයුතු ආයතන සහ සංවිධාන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ ද සම්බන්ධ වීමට නියෝජිත පිරිසට හැකිවිය.ඵලදායී අධීක්ෂණය සහතික කිරීම සඳහා තේරීම් කාරක සභා වල කාර්යභාරය, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සහ අදාළ ආයතන හරහා මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම, මහජන සහභාගීත්වය සහ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු සම්බන්ධතා කටයුතු හා විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ වැඩසටහන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම පාර්ලිමේන්තු ක්‍රියාවලිය සඳහා කාන්තාවන් ඇතුළත්කර ගැනීම හා කාන්තා නියෝජනය පිළිබඳ වැඩසටහන් සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා පැවැත්විණි.මෙම නියෝජිත පිරිස, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (Westminster Foundation for Democracy) නියෝජිතයින් සහ ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ (All-Party Parliamentary Group) සාමාජිකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වූහ. එහිදී පාර්ලිමේන්තු ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සහ අනාගත සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ඇති අවස්ථා පිළිබඳව ද අවධානය යොමු විය.ඊට අමතරව, නියෝජිත පිරිස පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) මහලේකම් ස්ටීවන් ට්විග් මහතා (Mr. Stephen Twigg) සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මූලස්ථානයේ නිලධාරීන්ද හමුවී, ඔවුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ සිදුකරන වත්මන් කටයුතු සහ අනාගත සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා ඇති අවස්ථා පිළිබඳව සාකච්ඡා කළහ. මෙම සංචාරයේදී, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ද හිමිවූ අතර, ගරු මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා සහ දූත මණ්ඩලයේ නිලධාරීන් ද නියෝජිත පිරිස සමඟ සම්බන්ධවෙමින් වැඩසටහනේ කටයුතු සහ සංවිධාන කටයුතු සඳහා සහයෝගය දැක්වූහ.මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කළ අතර, ඵලදායී පාර්ලිමේන්තු භාවිතයන්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය සහ ආයතනික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු නිලධාරීන්ට අවශ්‍ය වන දැනුම හා විශේෂඥතාව වැඩි දියුණු කිරීමට දායක විය.
2026-06-19
පාර්ලිමේන්තුව ජුනි 23 සිට 26 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස් වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, 2026 ජුනි 23 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය පිණිස විවාදයට ගැනීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව. 5.00 ට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත” නැමැති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනි වර කියවා සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව ඇත. (මෙහිදී විවාදයක් නොපැවැත්වේ)ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර තිබේ. 2026 ජුනි 24 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. 2026 ජුනි 25 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. 2026 ජුනි 26 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 දක්වා ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ අංක 2478/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කිරීම පිණිස විවාදයට ගැනීමට නියමිතය. අනතුරුව ආණ්ඩු පාර්ශ්වය විසින් 2026.06.25 දින ඉදිරිපත් කරනු ලැබු මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳ කල් තැබීමේ යෝජනාව, ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා තවදුරටත් විවාදයට ගැනීමට තීරණය වී තිබේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks