logo

E   |     |  

2026-06-19

පුවත් කාණ්ඩ : පුවත් 

ස්වාධීන අයවැය විශ්ලේෂණ කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ House Democracy Partnership (HDP) සහ එක්සත් ජනපද කොංග්‍රස්  අයවැය කාර්යාලය (Congressional Budget Office (CBO)) සමඟ එක්ව “පාර්ලිමේන්තුවේ අයවැය හා ආර්ථික විශ්ලේෂණය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ සතියක් පුරා පැවති තාක්ෂණික සහාය හුවමාරු වැඩසටහන  2026 ජූනි මස 08 වන දා සිට 12 වන දා දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 

මූල්‍ය අධීක්ෂණය, අයවැය විශ්ලේෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබූ මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් (Parliamentary Budget Office - PBO) පිහිටුවීම සඳහා ඇති හැකියාව  පිළිබඳව මේ වන විට සිදු කෙරෙමින් පවතින සාකච්ඡා සඳහා ද සිය සහයෝගය ලබා දෙන ලදී.

ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය නියෝජනය කරමින් House Democracy Partnership (HDP)හි මේගන් මුවර් (Ms. Meagan Moore) මහත්මිය සහ එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලයේ (CBO) මේගන් කැරොල් (Ms. Meg0an Carroll) හා ක්‍රිස්ටි හෝලි ඇන්තනි (Ms. Christi Hawley Anthony) යන මහත්මීන් මේ සඳහා එක්ව සිටියහ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ  වැඩබලන තානාපති ජේන් හොවෙල් (Ms. Jayne Howell) මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද මෙම වැඩසටහන් සඳහා සහභාගි වී සටියහ. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාරක සභා කාර්ය මණ්ඩල සාමාජිකයින්, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා ආර්ථික පාලනයට අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයින් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ. 

මෙම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය හමු වී, පාර්ලිමේන්තු අධීක්ෂණය ශක්තිමත් කිරීම, ආයතනික හැකියාව වර්ධනය කිරීම සහ සාක්ෂි මත පදනම් වූ මූල්‍ය තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී. මෙහි දී ධාරිතා සංවර්ධන වැඩසටහන්, මහජන සහභාගීත්වය, කාර්යක්ෂම කාරක සභා අධීක්ෂණය සහ පාර්ලිමේන්තු සහායක සේවාවන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කෙරිණි.

මෙම නියෝජිත පිරිස විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාව ද හමු වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ස්වාධීන මූල්‍ය හා අයවැය විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් ඇතුළුව, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණයේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන පියවරයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී. 

ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනුග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා වැඩසටහන පිළිබඳව හඳුන්වාදීමේ සැසියක් ද මෙහි දී පැවැත්විණි. සංගමයේ උප සභාපති, ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද , කාරක සභා කාර්ය මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද  එම අවස්ථාව සඳහා සහභාගි වූහ.

මෙහි දී, ඇමරිකා එක්සත් ජනපද නියෝජිත පිරිස විසින් එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලයේ (CBO) ආයතනික කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳ ඉදිරිපත් කිරීම් (Presentations) සිදු කරන ලදී. කොංග්‍රස් අයවැය ක්‍රියාවලිය සඳහා ලබාදෙන සහාය, පනත් කෙටුම්පත්වල පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම, අයවැය සහ ආර්ථික පුරෝකථන සකස් කිරීම මෙන්ම විනිවිදභාවය, විශ්වසනීයත්වය සහ පක්ෂග්‍රාහී නොවන ස්වාධීනත්වය යන මූලධර්මයන් ඇතුළු කරුණු කාරණා පිළිබඳව ද  මෙහි දී සාකච්ඡා කෙරිණි. 

මෙම අන්තර්ක්‍රියාකාරී සැසි මාලාව තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා  රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය, අයවැය විමර්ශනය, ආර්ථික විශ්ලේෂණය සහ ව්‍යවස්ථාදායක අයවැය ආයතන සම්බන්ධ වැදගත් ජාත්‍යන්තර භාවිතයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව ද හිමි විය. පාර්ලිමේන්තු කාරක සභා කාර්ය මණ්ඩලය සඳහා විශේෂයෙන් සංවිධානය කරන ලද සැසිවලදී විශ්ලේෂණ ක්‍රමවේද, පර්යේෂණ සහාය කාර්යයන්, අයවැය විශ්ලේෂණයේදී තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම මෙන්ම පාර්ලිමේන්තුව සහ අධීක්ෂණ ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ උපායමාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

එම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා (CoPF) රැස්වීමේ කටයුතු ද නිරීක්ෂණය කරන ලදී. ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති එම රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. එම රැස්වීම මඟින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයන් සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව ක්‍රියාවලීන් පිළිබඳව එම නියෝජිත පිරිසට සෘජු අවබෝධයක් ලබාගැනීමට ද අවස්ථාව සැලසිණි.

මෙම වැඩසටහන අවසානයේ දී පැවති සාරාංශගත වැඩමුළුවේදී, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් (Parliamentary Budget Office - PBO) පිහිටුවීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි කෙටි, මධ්‍ය හා දිගුකාලීන පියවරයන් ඇතුළත් මූලික සැලැස්මක් ද සකස් කරන ලදී.

මෙම තාක්ෂණික සහාය වැඩසටහන මඟින්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය සහ අයවැය විශ්ලේෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හැකියාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කෙරිණි. තවද වගකීම්සහගත, විනිවිදභාවයෙන් යුතු සහ සාක්ෂි මත පදනම් වූ පාලනයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එහි ජාත්‍යන්තර හවුල්කරුවන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ද මෙම වැඩසටහන ඉවහල් විය.




සම්බන්ධිත පුවත්

2026-08-28

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහනක් නවදිල්ලි නුවරදී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම  ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව  උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව  වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ  අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ.  මෙම වැඩසටහන සාර්ථක  කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම  මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.


2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks