01

E   |   த   |  

2026-06-17

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති ඇතුළත් ගැසට් පත්‍ර ද්විත්වයක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. 

එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජුනි  09) පාර්ලිමේන්තුවේදී රැස් වූ  අවස්ථාවේදී මෙම අනුමැතිය හිමි විය.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළුව එහි කාර්යයන් ඉටු කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට බාහිර පාර්ශ්වවලින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කර ගැනීමට අවශ්‍ය වේ. එම සංඛ්‍යාලේඛන, තොරතුරු වාර්තාකරණයට යටත් වන පුද්ගලයන් සහ අදාළ අවශ්‍යතා උල්ලංඝනය කිරීමේදී ගත හැකි පරිපාලන ක්‍රියාමාර්ග නියම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති ඉදිරිපත් කොට තිබේ.

මෙම රීති මගින් සංඛ්‍යාලේඛන හා තොරතුරු ඉල්ලා සිටීම සඳහා නිවේදන නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ බලයලත් නිලධාරීන් වන  නියෝජ්‍ය අධිපතිවරුන්ට, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට පමණක් සීමා කෙරේ. 

තවද, ලබා දෙන ලද තොරතුරු අදාළ අරමුණ සඳහා පමණක් භාවිතා කිරීම ඇතුළු ආරක්ෂාකාරී පියවරයන් මෙම රීති මගින් තහවුරු කිරීම සිදු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇතැම් රාජ්‍ය ණය දත්ත ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව කාරක සභාවේ අවධානයට ලක් වූ අතර එවැනි තොරතුරු දැනට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සතුව පවතින බවත්, එමඟින් මින් පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආකෘතියට අනුව ණය සංඛ්‍යාලේඛන නැවත සැකසීමේ සීමාවන් පවතින බවත්, කාරක සභාවට මෙහිදී නිරීක්ෂණය විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන හරහා රාජ්‍ය ණය තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවත්වා ගැනීමේ වැදගත්කම කාරක සභාව විසින් පෙන්වා දුන් අතර, රජයේ සුරැකුම්පත් සඳහා වන ද්විතීයීක වෙළඳපොළට අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද  අවධානය යොමු කෙරිණි. 

තවද,  සංචාරකයන් විසින් භාවිතා කරනු ලබන විවිධ ගෙවීම් ක්‍රම හේතුවෙන් සංචාරක ආදායම නිවැරදිව ගණනය කිරීම අභියෝගයක් වන බවත් එවැනි ඇස්තමේන්තුවල නිරවද්‍යතාව ඉහළ නැංවීම සඳහා දත්ත රැස් කිරීමේ සමීක්ෂණ වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති පිළිබඳව ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය.  “2026 අංක 2 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීති මගින් දැනට පවත්නා අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීතිය තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.
 
ඒ අනුව, ඕනෑම මාසයක් තුළ අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම එකී ආදායම, අවසර ලද ගෙවීම් සඳහා පමණක් භාවිතා කොට ශේෂය එළඹෙන මාසයේ 10වන දින හෝ ඊට ප්‍රථම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු වේ. මීට පෙර 2024 වසරේ හඳුන්වාදුන් රෙගුලාසි මගින් ලබා දී තිබූ මාස 3ක කාල සීමාව මෙසේ එළඹෙන මාසයේ 10 වන දින දක්වා අඩු කර ඇත.

විනිමය අනුපාතිකයේ සහ විදේශ විනිමය වෙළඳපොලේ පවතින අස්ථාවරත්වය මෙන්ම විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟකම සැලකිල්ලට ගෙන අපනයන ලැබීම්, ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා අපනයනකරුවන්ට ලබා දී ඇති කාලය අඩු කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.  

මෙම පියවර මගින් වෙළඳපොළ විශ්වාසය අඩු වීම, විදේශ විනිමය වෙළඳපොළේ අස්ථාවරත්වය ඇති වීම ආදී තත්ත්වයන් ඇති විය හැකි බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.  මෙම පියවර, විනිමය අනුපාතිකයේ අස්ථාවරත්වය සහ වත්මන් විදේශ විනිමය සැපයුමේ හිඟය පියවා ගැනීම සඳහා කෙටිකාලීන ප්‍රතිපත්තිමය මෙවලමක් ලෙස හඳුන්වා දී ඇති බවත්, වෙළඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු එය ලිහිල් කරන බවත් මහ බැංකු නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

තවද, NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මීට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාර්ය ඇතුළු අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මීට අදාළව සිදුවන වෝහාරික විගණනයකින් පසු එ් පිළිබඳව නැවත සළකා බැලීමටත් තීරණය විය.

කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න,  ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවි කරුණානායක, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන,  විජේසිරි බස්නායක,  සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ  නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ අතර "පාර්ලිමේන්තුවේ අයවැය සහ ආර්ථික විශ්ලේෂණය ශක්තිමත් කිරීම" පිළිබඳ තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහනක් සඳහා මෙරටට පැමිණ සිටි ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ (House Democracy Partnership) සහ කොංග්‍රස් අයවැය කාර්යාලයේ (Congressional Budget Office) නියෝජිත පිරිසක් ද නිරීක්ෂකයින් ලෙස මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-10-30

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ගරු මැතිව් ජෝන් ඩක්වර්ත් (H.E. Matthew John Duckworth) මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (International Foundation for Electoral Systems - IFES) නියෝජිතයෝ ද සහභාගී වූහ.මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා විසින් ගතවූ වසර එකහමාරක කාලය තුළ සංසදය විසින් ඉටුකරන ලද කාර්යභාරය සහ ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.දිස්ත්‍රික් මට්ටමින් ආබාධ සහිත තැනැත්තන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බවත්, උතුරු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ වැඩසටහන් සාර්ථකව නිම කර ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක 6 ක මෙම වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරයා පැවසීය.ලබන වසරේ අයවැය වෙනුවෙන් ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 50 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යෝජනා රැස් කර ඇති අතර, සෑම අමාත්‍යාංශයකම අයවැය ලේඛනය තුළ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන්වූ වැය ශීර්ෂයක් (Disability inclusive budget line) ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත (Disability Bill) සම්මත කිරීමටත්, සංඥා භාෂා පනතක් (Sign Language Act) හඳුන්වා දීමටත්, විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමටත් සංසදය පියවර ගනිමින් සිටී.ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට හදිසි අවස්ථාවකදී 119 පොලිස් හදිසි ඇමතුම් සේවාවන් සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි සංඥා භාෂාව පුහුණු කළ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ‘වට්ස්ඇප්’ වීඩියෝ ඇමතුම් සේවාවක් සංසදයේ සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් ආරම්භ කර ඇත.සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ඉටුකරන ලද විශිෂ්ට සේවය උදෙසා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් පිරිනමනු ලබන 2026 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය නව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය (2026 Commonwealth New Parliamentarian Award) හිමිවීම සහ මෙරට ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් ඒ මහතා 10 වැනි පාර්ලිමේන්තුවට පත්වීම ජයග්‍රහණයක් බවත් වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා පෙන්වා දුන්නේය.   සාකච්ඡාවට එක්වූ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේ ආබාධ සහිත ප්‍රජාව අනෙකුත් ප්‍රජාවට සමගාමීව ඉදිරියට ගෙනයාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සහ ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථයක් බවයි. දත්ත පද්ධති ගොඩනැගීම, සංඥා භාෂා ශබ්දකෝෂ නිර්මාණය ඇතුළු ප්‍රතිපත්තිමය නීති සංශෝධන සඳහා දිගු කාලීනව සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.සංසදයේ ඉදිරි කටයුතු සඳහා සියලු අවශ්‍යතා ආවරණය වන පරිදි පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සියලු පාර්ශවවල සහයෝගයෙන් මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සංසදයේ සභාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-10-29

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි මීටර් 2,199 ක් සොරකම් කිරීමෙන් රුපියල් මිලියන 8 කට අධික අලාභයක් – ‘COPE’ කමිටුවේදී අනාවරණය වෙයි

රෝහලේ ආරක්ෂක හා අභ්‍යන්තර පාලන දුර්වලතා, මූල්‍ය කළමනාකරණ ගැටලු සහ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කාරක සභාවේ අවධානයජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199 ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091 ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (ඔක්. 21) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්‍යාලයේ වර්තමාන කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබිණි.2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල මුළු ප්‍රමාණය සහ පොලිසිය විසින් සොයාගත් ප්‍රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම, නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාව විසින් කරුණු විමසන ලදී. එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල පවතින දුර්වලතා ද පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන් වෙත භාර නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්‍රමිතීන් හා ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේ ද යන්න පිළිබඳව කරුණු විමසීය.ඇඳන් 800 කට අධික ධාරිතාවකින් යුත් රෝහලේ ඇතැම් වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස කරුණු විමසීය. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේ ද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේ ද යන්න කඩිනමින් තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බව ද කාරක සභාව අවධාරණය කරන ලදී.රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්‍රවණාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්‍ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පාලන හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කමත් මෙහිදී පෙන්වා දෙන ලදී.රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම මඟින් රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබුර් රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා,  ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීන් මෙන්ම, ත්‍රිවිධ හමුදා පතිවරුන්  ඇතුළු  ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ  නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2026-10-29

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතීත්වයෙන් එම සංසදය පසුගියදා (ඔක්. 22) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. පියයුරු පිළිකා පිළිබඳ වත්මන් තත්ත්වය සහ පූර්ව හඳුනාගැනීමේ වැදගත්කම මෙහිදී  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පැහැදිළි කළහ. ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000 ක් පමණ මෙම රෝගයෙන් මිය යති. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවද, බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වීම ප්‍රධාන ගැටලුවක් ලෙස පෙන්වා දී ඇත.මේ අනුව, නොවැම්බර් 02 වන සඳුදා දින, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය සායන සහ වැඩසටහන් සංවිධානය කිරීමට හා ඒවාට සෘජුවම සම්බන්ධ වීමට නියමිතය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ද රෝස පැහැති සංකේත (Pink ribbons/ Pink wristbands) සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා මර්දන රෝස මාසය වෙනුවෙන් සක්‍රීය සහභාගීත්වය ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇත.ග්‍රාමීය, වතු ආශ්‍රිත, නාගරික තට්ටු නිවාස සහ සහභාගීත්වය අඩු ප්‍රදේශවල කාන්තාවන් සුවනාරී සායන වෙත යොමු කරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ. දැනට වයස අවුරුදු 35-45 අතර කාන්තාවන් සඳහා වන සුවනාරී සායනවලට පැමිණෙන්නේ 50% ක පමණ පිරිසක් බැවින්, එම පිරිස ප්‍රධාන පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට කාන්තාවන් දිරිමත් කරනු ලැබේ.ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කාන්තා සමිති ඇතුළු අදාළ අංශ ඒකාබද්ධ කරගනිමින් වයස අවුරුදු 35-45 අතර සියලුම කාන්තාවන් පරීක්ෂණ (Screening tests) සඳහා යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමු විය.මීට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය (GRP) සහ රැකවරණ ආර්ථිකය (Care Economy) පිළිබඳව ද අවධානය යොමු විය. ජාතික රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ අයවැය ක්‍රියාවලියට ස්ත්‍රී පුරුෂ සංවේදී ප්‍රතිපත්තීන් ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.තවද, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, නඩත්තු පනත සහ ළමුන්ට කායික දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නීතිවල පවතින අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ වී එම සංශෝධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්මීහු ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්මින්ස්ටර් පදනමේ (WFD) මෙරට නි‍යෝජිතයන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ. 


2026-10-28

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  පසුගියදා (ඔක්. 23) රැස්විය.මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ප්‍රමාද වූ ශ්‍රමිකයන්ගේ ගමන් පහසුකම් සැලසීම සඳහා විශේෂ ගුවන්වාර යොදා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල තාවකාලික නවාතැන් සහ ආහාර පහසුකම් සැපයීමටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීහු කරුණු පැහැදිලි කළහ. එමෙන්ම, විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු වන පරිදි විදේශීය ප්‍රාන්ත සමඟ ගිවිසුම් ඇති කරගැනීමේ වැදගත්කම ද සාකච්ඡා විය.මීට අමතරව, රුසියාව සමඟ වෙළෙඳ ගනුදෙනු සඳහා රූබල් භාවිත කිරීමේදී පවතින බාධා සහ විකල්ප ගෙවීම් ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා විය. එමෙන්ම, විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය, විදේශ රැකියා ගිවිසුම් සහ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා  කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks