පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-10-29
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතීත්වයෙන් එම සංසදය පසුගියදා (ඔක්. 22) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි.
පියයුරු පිළිකා පිළිබඳ වත්මන් තත්ත්වය සහ පූර්ව හඳුනාගැනීමේ වැදගත්කම මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පැහැදිළි කළහ. ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000 ක් පමණ මෙම රෝගයෙන් මිය යති. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවද, බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වීම ප්‍රධාන ගැටලුවක් ලෙස පෙන්වා දී ඇත.
මේ අනුව, නොවැම්බර් 02 වන සඳුදා දින, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය සායන සහ වැඩසටහන් සංවිධානය කිරීමට හා ඒවාට සෘජුවම සම්බන්ධ වීමට නියමිතය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ද රෝස පැහැති සංකේත (Pink ribbons/ Pink wristbands) සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා මර්දන රෝස මාසය වෙනුවෙන් සක්‍රීය සහභාගීත්වය ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇත.
ග්‍රාමීය, වතු ආශ්රිත, නාගරික තට්ටු නිවාස සහ සහභාගීත්වය අඩු ප්‍රදේශවල කාන්තාවන් සුවනාරී සායන වෙත යොමු කරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ. දැනට වයස අවුරුදු 35-45 අතර කාන්තාවන් සඳහා වන සුවනාරී සායනවලට පැමිණෙන්නේ 50% ක පමණ පිරිසක් බැවින්, එම පිරිස ප්‍රධාන පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට කාන්තාවන් දිරිමත් කරනු ලැබේ.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කාන්තා සමිති ඇතුළු අදාළ අංශ ඒකාබද්ධ කරගනිමින් වයස අවුරුදු 35-45 අතර සියලුම කාන්තාවන් පරීක්ෂණ (Screening tests) සඳහා යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමු විය.
මීට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය (GRP) සහ රැකවරණ ආර්ථිකය (Care Economy) පිළිබඳව ද අවධානය යොමු විය. ජාතික රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ අයවැය ක්‍රියාවලියට ස්ත්‍රී පුරුෂ සංවේදී ප්රතිපත්තීන් ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
තවද, ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, නඩත්තු පනත සහ ළමුන්ට කායික දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නීතිවල පවතින අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ වී එම සංශෝධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්මීහු ඇතුළු කාරක සභා සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්මින්ස්ටර් පදනමේ (WFD) මෙරට නියෝජිතයන් පිරිසක් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.
2026-10-29
රෝහලේ ආරක්ෂක හා අභ්‍යන්තර පාලන දුර්වලතා, මූල්‍ය කළමනාකරණ ගැටලු සහ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කාරක සභාවේ අවධානයජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199 ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091 ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (ඔක්. 21) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්‍යාලයේ වර්තමාන කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබිණි.2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, සොරකම් කළ තඹ පටිවල මුළු ප්‍රමාණය සහ පොලිසිය විසින් සොයාගත් ප්‍රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම, නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාව විසින් කරුණු විමසන ලදී. එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල පවතින දුර්වලතා ද පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන් වෙත භාර නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්රමිතීන් හා ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේ ද යන්න පිළිබඳව කරුණු විමසීය.ඇඳන් 800 කට අධික ධාරිතාවකින් යුත් රෝහලේ ඇතැම් වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස කරුණු විමසීය. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේ ද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේ ද යන්න කඩිනමින් තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බව ද කාරක සභාව අවධාරණය කරන ලදී.රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්‍රවණාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්‍ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පාලන හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කමත් මෙහිදී පෙන්වා දෙන ලදී.රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම මඟින් රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, මුජිබුර් රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීන් මෙන්ම, ත්‍රිවිධ හමුදා පතිවරුන් ඇතුළු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-10-28
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (ඔක්. 23) රැස්විය.මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ප්‍රමාද වූ ශ්‍රමිකයන්ගේ ගමන් පහසුකම් සැලසීම සඳහා විශේෂ ගුවන්වාර යොදා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල තාවකාලික නවාතැන් සහ ආහාර පහසුකම් සැපයීමටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීහු කරුණු පැහැදිලි කළහ. එමෙන්ම, විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු වන පරිදි විදේශීය ප්‍රාන්ත සමඟ ගිවිසුම් ඇති කරගැනීමේ වැදගත්කම ද සාකච්ඡා විය.මීට අමතරව, රුසියාව සමඟ වෙළෙඳ ගනුදෙනු සඳහා රූබල් භාවිත කිරීමේදී පවතින බාධා සහ විකල්ප ගෙවීම් ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා විය. එමෙන්ම, විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය, විදේශ රැකියා ගිවිසුම් සහ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
2026-10-28
2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණය සහ ප්‍රමුඛතා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (ඔක්. 22) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා කරන ලදී.මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.මෙහිදී 2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රාජ්‍ය වියදම්, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන, රාජ්‍ය ආදායම් ඉලක්ක සහ ණය සේවාකරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් විය. එමෙන්ම අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී අදාළ කරගන්නා සාර්ව ආර්ථික පුරෝකථන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ නීතිමය රාමුව පිළිබඳව ද අවධානය යොමු විය.2027 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ත ප්‍රාග්ධන අතර, මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම, විදුලිබල පද්ධතියේ ව්‍යාප්තිය සහ නාගරික සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති ද පවතින අතර ඒ සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී කරුණු විමසනු ලැබීය.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැලසීම, ණය ඇපකර ක්‍රමවේදය සහ ව්‍යාපාරික ක්ෂේත්රයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් වුණු අතර රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සහ රාජ්‍ය සේවා අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන වියදම් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.තවද, 2027 වසරේ විදේශීය ණය සේවාකරණ අවශ්‍යතා, අපේක්ෂිත විදේශීය මූල්‍ය පහසුකම් සහ රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ද අමාත්‍යාංශ නිලධාරීන් කරුණු පැහැදිලි කළහ. රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම, බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ අයවැය ප්‍රතිපාදන නිසි පරිදි භාවිත කිරීම සම්බන්ධ කරුණු ද සාකච්ඡාවට ලක් විය.
2026-10-28
මධ්‍යම පළාත් සභාවේ 2021 - 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 සහ 2025 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ඔක්. 22) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී 2026.05.21 දින පැවති කාරක සභා රැස්වීමේ දී සාකච්ඡා කළ කරුණු පිළිබඳ පසු විපරමක් ද සිදු කෙරිණි.මධ්‍යම පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන සහ මගී ප්‍රවාහන ව්‍යාපෘතිවල ප්‍රගතිය, මාර්ග ඇස්තමේන්තු සකස් කිරීමේදී සිදුවූ අඩුපාඩු, ප්‍රමිතියට අනුකූල නොවන ඉදිකිරීම් සඳහා ගෙවීම් සිදු කිරීම සහ අනුමැතියකින් තොරව අමතර වැඩ සඳහා මුදල් ගෙවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.එමෙන්ම, මගී ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීම සඳහා හඳුන්වා දුන් විද්‍යුත් ටිකට්පත් යන්ත්‍ර (ETM) සහ GPS/SIM තාක්ෂණික පද්ධති නිසි පරිදි භාවිතයට නොගැනීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. අදාළ තාක්ෂණික දෝෂ නිරාකරණය කරමින් එම පද්ධති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී කරුණු විමසන ලදී.තවද, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නීත්‍යනුකූල අනුමැතියකින් තොරව උපබදු දීම, හිඟ බදු මුදල් අය කර නොගැනීම සහ රාජ්‍ය දේපළවල හිමිකම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, මලබාර් හවුස් ගොඩනැගිල්ල ග්‍රාම ශක්ති වැඩසටහනේ ව්‍යාපෘති කාර්යාලයකට ලබාදී එහි කුලී මුදල අයකර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අවධානය යොමු විය.මීට අමතරව, KMTT ව්‍යාපෘති අරමුණු ඉටු නොවූ අවස්ථාවලදී එයට සම්බන්ධ වූ නිලධාරීන් ලබාගෙන ඇති දිරි දීමනා නැවත අය කර ගැනීම, රාජ්‍ය දේපළ භාවිතයෙන් ලැබෙන ආදායම් බෙදාහැරීමේදී අදාළ රෙගුලාසි අනුගමනය කිරීම සහ ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ගොඩනැගිලි හා දේපළ ඵලදායී ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව කාර්යාලීය ලිපිගොනු විනාශ කිරීම සම්බන්ධ විනය පරීක්ෂණ සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව ද කාරක සභාව කරුණු විමසන ලදී. මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ගරු මන්ත්‍රීවරයන් වන අජිත් පී. පෙරේරා, නීතීඥ තුෂාරි ජයසිංහ, ටී. කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න, මංජුල සුරවීර ආරච්චි, චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා සහ චානක මාදුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks