logo

01

E   |     |  

2026-06-12

පුවත් කාණ්ඩ : පුවත් 

අනාගත නායකයින් ගොඩනැගෙන්නේ සදාචාරාත්මක වටිනාකම් මතයි – නියෝජ්‍ය කථානායකවරයා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි

හෙට දවසේ නායකයින් වන ශිෂ්‍ය ප්‍රජාව, වැඩිහිටියන්ට ගරු කිරීම, සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා කර ගැනීම සහ අවංක පුරවැසියන් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අවධාරණය කළේය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ඓතිහාසික පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී  පැවැති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළ කළේය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව  අවබෝධයක් ලබා දීමේ අරමුණින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

ශිෂ්‍ය අවධියේ සිටම විනය, වගකීම සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ජනතා නියෝජිතයන් ලෙස තේරී පත් වන  පුද්ගලයන් සදාචාරාත්මක, වගකීම් සහගත හා නීතිගරුක පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ජනතාවට ද වැදගත් කාර්යභාරයක් ඇති බවත් සභාව අමතමින් ගරු නියෝජ්‍ය කථානායකතුමා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා, ජනාධිපති අරමුදල මඟින් සිසුන් සහ මහජනතාව සඳහා සපයනු ලබන සේවාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය. අධ්‍යාපනික අවශ්‍යතා ඇතුළු විවිධ අවශ්‍යතාවන් සඳහා ජනාධිපති අරමුදල හරහා සහාය ලබා ගත හැකි බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් එම සේවාවන් ජනතාවට සමීප කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතා විසින්  සිසුන්ව  දැනුවත් කළේය.

කෘත්‍රිම බුද්ධිය පවතින මේ  යුගයේ තරගකාරී ලෝකයට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා අදහස් දැක්වීය.

අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වූ අතර, කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුහු  තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් වෙත ගරු නියෝජ්‍ය කථානායකතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.වැඩසටහන අවසානයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ.එස්. ශ්‍රීලාල් මහතා ස්තූති කතාව සිදු කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කෙරුණු අතර, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ,  සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් සහ විද්‍යාර්ථ විද්‍යාලයීය  ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




සම්බන්ධිත පුවත්

2026-08-14

2026 විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට...

රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසත් පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය රන් සම්මානය දිනා ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.parliament.lk, පසුගියදා පැවති “BestWeb.lk 2026” සම්මාන උළෙලේදී සියලු අංශයන්හි විශිෂ්ටතම වෙබ් අඩවියට හිමි රිදී සම්මානය (Overall Silver Award)  දිනා ගැනීමට සමත් විය. එසේම මෙහිදී, “රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය” කාණ්ඩයේ රන් සම්මානය ද (Gold Award) පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට හිමිවීම විශේෂත්වයකි.       ‘LK Domain Registry’ විසින් සංවිධානය කරන ලද “BestWeb.lk 2026” සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්හිදී 2026 අගෝස්තු 12 වැනිදා පැවැත්විණි.විවිධ කාණ්ඩ 24ක් යටතේ වෙබ් අඩවි 350කට අධික සංඛ්‍යාවක් මෙවර තරඟයට එක්ව සිටි අතර, තාක්ෂණික ක්‍රියාත්මක කිරීම, කාර්යසාධනය, නිර්මාණකරණය, අන්තර්ගතය, ආරක්ෂාව සහ අනෙකුත් අමතර විශේෂාංග ඇතුළු නිර්ණායක රැසක් මත වෙබ් අඩවි ඇගයීමට ලක්කර තිබේ.පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය මීට පෙරද මෙම තරගාවලියේදී අවස්ථා කිහිපයකදී සම්මාන දිනාගෙන ඇති අතර, නවීකරණය කරන ලද වෙබ් අඩවිය හඳුන්වාදීමෙන් අනතුරුව වසර හතක විරාමයකින් පසු මෙවර තරගයට නැවත එක්වීම විශේෂත්වයකි.සම්මාන උළෙල සඳහා සම්භාවනීය ආරාධිතයින්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් මෙන්ම තරගයේ සම්මානලාභීන් සහ නිර්දේශිත වෙබ් අඩවි නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.පාර්ලිමේන්තුවේ ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට සහ එහි නිල මාර්ගගත වේදිකාව හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි, විශ්වාසදායක සහ පරිශීලක-හිතකාමී ලෙස පාර්ලිමේන්තු තොරතුරු සැපයීමට දරන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීමෙන් තහවුරු වේ. 


2026-08-13

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2026 අගෝස්තු මස 10 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන පාර්ලිමේන්තු පරිශ්‍රයේ කාරක සභා කාමර අංක 02 හිදී පැවැත්විණි.මෙහිදී “පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය” පිළිබඳව ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) චන්දිමා සුබසිංහ මහත්මිය විසින් විද්‍යාර්ථීන් දැනුවත් කරන ලදී. පාර්ලිමේන්තුවේ කාර්යභාරය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව මෙහිදී පැහැදිලි කරනු ලැබිණි.අනතුරුව පැවති අදහස් දැක්වීමේ අවස්ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය රසාංජලී පෙරේරා මහත්මිය සභාව අමතමින්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සඳහා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙත සිය ස්තූතිය පළ කරන බව සඳහන් කළාය. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව සෘජුවම දැනුවත් වීමට ලැබීම විද්‍යාර්ථීන්ට ඉතා වැදගත් හා ප්‍රයෝජනවත් අත්දැකීමක් බව ද ඇය පෙන්වා දුන්නාය.එමෙන්ම, අධ්‍යයන කටයුතුවලදී ලබාගන්නා න්‍යායික දැනුම ප්‍රායෝගිකව අවබෝධ කර ගැනීමට මෙවැනි වැඩසටහන් වැදගත් වන බවත්, විද්‍යාර්ථීන්ගේ දැනුම පුළුල් කිරීමට මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහන් මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බවත් මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.වැඩසටහන අවසානයේදී  සහභාගී වූ විද්‍යාර්ථීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, වැඩසටහනට සහභාගී වූ විද්‍යාර්ථීන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ චාරිකාවකට ද එක්  වුහ .


2026-08-11

මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ

පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු 18 සිට 21 දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝස්තු 7) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 2026 අගෝස්තු 18 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව, ප.ව. 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරිමේ) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය. ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමය නියමිතව තිබේ. 2026 අගෝස්තු 19 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් පනත යටතේ යෝජනා සම්මතය (මෙම යෝජනාව 2026.08.07 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 4 දරන න්‍යාය පුස්තක‍ය හා සම්බන්ධ අංක 4 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇත. 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව.  5.00 දක්වා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව.  5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.2026 අගෝස්තු 21 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව.   5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.   


2026-08-11

එන්න... දකින්න... දැනගන්න... මේ ඔබේ පාර්ලිමේන්තුවයි !

හෙට දින නායකයන් බවට පත්වන පුංචි මල් කැකුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නිරතුරුව දැකිය හැකි තවත් සොඳුරු දසුනක් ! දියවන්නාවේ සුන්දරත්වය විදිමින් පාර්ලිමේන්තුව සියැසින් දැක, නැවුම් අත්දැකීමක් ලබන්නට ඔවුනට එමගින් අවකාශය සැලසෙනවා.     රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන පෙර පාසල් සහ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් සහ විවිධ අධ්‍යාපන ආයතන නියෝජනය කරන විශාල පිරිසක් දිනපතා පාර්ලිමේන්තු පරිශ්‍රය සියැසින් දැක ගැනීමට පැමිණෙනවා.පොතපතෙන් ලබා ගන්නා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුම, පාර්ලිමේන්තුව තුළදී ම  සියැසින් දැකගන්නට මෙන්ම දැනගන්නට හැකිවීම විශේෂයි.පාර්ලිමේන්තුවේ සභාගර්භය සහ අවට පරිශ්‍රය නැරඹීමෙන් ඔබ්බට ගොස් ඒ ඒ වයස් කාණ්ඩවලට මෙන්ම අධ්‍යයනය කරනු ලබන විෂයන්ට ගැළපෙන පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලිය ඇතුළු කාර්යයන් පිළිබඳ අවබෝධය ලබා දීමට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ  නිලධාරීහු ඇතුළු කාර්ය මණ්ඩලය කැපවී සිටිනවා. එපමණක් නොව, පාර්ලිමේන්තුව අවට සොබා සෞන්දර්ය මෙන්ම අපගේ පාර්ලිමේන්තුවේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය සහ කලාත්මක වටිනාකම් පිළිබඳව ද  අවබෝධයක් ඔබට ලබා ගත හැකියි. එන්න... දකින්න... දැනගන්න... මේ ඔබේ පාර්ලිමේන්තුවයි !ඡයාරූප- කිඩී කෝව් (Kiddie Cove) පෙර පාසලේ හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරු දැරියන් සහ ගුරුවරුන් පිරිසක් ඊයේ  (අගෝ. 10) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූ අවස්ථාව.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks