logo

02

E   |     |  

2026-06-09

පුවත් කාණ්ඩ : පුවත් 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (ජුනි 09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව තීරණය කර ඇත. එහෙත්, 14 වන වගන්තිය [යෝජිත 12අ(ආ) වගන්තිය] සහ 18 වන වගන්තිය [යෝජිත 17අ, 17ආ සහ 17ඇ වගන්ති] සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතිය අවශ්‍ය වන බව ද තීරණය කර ඇත. තවද, අධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට අනුකූලව එම වගන්ති සංශෝධනය කරනු ලබන්නේ නම්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින (09)  කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද ගරු කථානායකවරයා නියෝග කළේය.



සම්බන්ධිත පුවත්

2026-07-20

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන්  අයැදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට  නිර්දේශ කිරීම ’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 ජුලි 31 දින හෝ එදිනට පෙර,යොමුකළ යුතුය.අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව -  කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.


2026-07-20

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා අයැදුම්පත් කැඳවයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු  පිරවීමට නිර්දේශ  කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන්  අයැදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇත. ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 ජුලි  31 දින හෝ එදිනට පෙර, යොමුකළ යුතුය.අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව -  කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ  constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන්  ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.


2026-07-16

අසාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල්වල වෙළඳුන් වැටලීම සඳහා විමර්ශන නිලධාරීන් 272 ක් දිවයින පුරා

සාධාරණ පදනමකින් තොරව තමන්ට රිසි පරිදි මිල තීරණය කරන වෙළඳසැල්වල වෙළඳුන් වැටලීම සඳහා විමර්ශන  නිලධාරීන් 272 දෙනෙකු  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා  යොදවා ඇති බව අනාවරණය වෙයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය  යටතේ  මෙම විමර්ශන  නිලධාරීන්  තම මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇත. පාරිභෝගික ජනතාව අසාධාරණයට ලක් කරන වෙළඳසැල්වල වෙළඳුන්ට එරෙහිව   පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිරන්තරයෙන් නීතිමය පියවර ගනිමින් සිටී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා විසින්  ඉදිරිපත් කරන ලද  ප්‍රශ්නවලට වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ගරු නියෝජ්‍ය අමාත්‍ය  ආර්.එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ලබා  දුන්  පිළිතුරෙන් මේ බැව් කියැවිණි.නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරු කථාවට අනුව, අසාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම පාලනය කිරීමට අධිකාරිය සතුව වැඩපිළිවෙළක් පවතියි. පාලන මිලට භාණ්ඩ සුළු ප්‍රමාණයක් ඇත. පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම දඩයකට යටත් වන අතර  මේ දක්වා විශාල දඩ මුදලක් අය කරගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දෛනිකව සහ විශේෂ උත්සව සමයන්හිදී දිවයින පුරා වෙළඳපොළ වැටලීම් සහ පරීක්ෂාවන් සිදු කරනු ලබයි. මීට අමතරව, පාලන මිලක් නියම කර ඇති භාණ්ඩ සඳහා එම මිල ගණන් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීමට ද  විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.


2026-07-16

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ළමා ආරක්ෂාව පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 08) පැවැත්විණි.කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට මැති ඇමතිවරු රැසක් සහභාගී වූහ. මෙහිදී  පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ  (පෙර පාසල් අධ්‍යාපන)  කේ.ඩී.ටී විමලසිරි මහත්මිය අදහස් දැක්වූවාය. පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව විෂයමාලා රාමුවට අදාළව පෙර පාසල් ගුරු අත්පොතක් සහ ආදර්ශ ක්‍රියාකාරකම් පොතක් අගෝස්තු මාසයේදී ගරු අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වීමටත් නියමිත බව මෙහිදී අනාවරණය විය. එසේම, පෙර පාසල් ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු පුහුණු කිරීමටත්, ඔවුන් මගින් පළාත් මට්ටමින් තවත් පුහුණුකරුවන් 556 දෙනෙකුට පුහුණුව ලබා දීමටත් අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.  ඒ අනුව දැනට හඳුනාගෙන ඇති 35000 කට ආසන්න පෙර පාසල් ගුරුවරුන්ට දින 10 ක පුහුණුවක් ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලබා දීමට කටයුතු කරන බවටත් ඒ අනුව එකම විෂය රාමුවකට පෙර පාසල් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති බවත් ඇය සඳහන් කළාය.  එසේම, පෙර පාසල් සඳහා ඇගයීම් හා නියාමන රාමුවක් සකස් කිරීමටත්, ලබන වසර වන විට පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පනතක් බවට පත් කිරීමටත් අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන  අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ දායකත්වයෙන් මෙම ප්‍රතිපත්තිය සකස් කළ බව ද ඇය සඳහන් කළාය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීම් අධ්‍යක්ෂිකා නීතීඥ සජීවනි අබේකෝන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  නීති අධ්‍යක්ෂ නීතීඥ ප්‍රීතිකා සකලසූරිය සහ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි යන මහත්මීන් විසින්   ළමා ආ‍රක්ෂාව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය, ශාරීරික දඬුවම් අහෝසි කිරීම සඳහා යෝජිත නීතිමය සංශෝධන, ළමා සංවර්ධනය කෙරෙහි දඬුවම්වල බලපෑම, දඬුවමට ඇති බිය නිසා විනය ආරක්ෂා කිරීමට වෙනුවට ‘ධනාත්මක විනය’ දරුවන්ට පුහුණු කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී දැනුවත් කිරීම සිදු කරන ලදී. ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ කායික දඬුවම් වැළැක්වීම සඳහා නීතිමය හා ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කරමින් පවතින බවත්,  ජාතික ළමාරක්ෂක අධිකාරිය සිය නියාමන හා සම්බන්ධීකරණ භූමිකාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් කායික දණ්ඩනය අහෝසි කිරීමට යෝජනා වී ඇති බවත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට (UNCRC) අත්සන් තැබූ රටක් ලෙස, දරුවන්ට සිදුවන කායික හා මානසික හිංසනය වැළැක්වීමට ජාත්‍යන්තරව බැඳී සිටින බවත් මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට දායකත්වය දැක්වූ සියලු පාර්ශ්වයන්ට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සිය ස්තුතිය පළ කළ අතර   නෛතික සංශෝධන  කිසිදු පාර්ශ්වයක් ඉලක්ක කර ගනිමින් සිදු නොකළ යුතු බව ද පෙන්වා දුන්නාය.   එසේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම පියවර ගන්නා බව ද ඇය අවධාරණය කළාය.මෙම වැඩපිළිවෙල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීමට ලක්වූ අතර ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසිණි. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks