බලන්න

02

E   |   த   |  

2026-06-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී ඇත. 2026 අයවැය මගින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අලුතින් ඉදි කරන දූරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබා දීම අපේක්ෂා කෙරේ. මෙම පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව හෝ ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් ලබා දීම එහි ප්‍රධාන ප්‍රතිපාදනය වේ.

එසේම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක් විය. වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම හා යාවත්කාලීන කිරීම මෙන්ම, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවල (Bad Debts) අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීම සහ 2014 වසරේ සිට ක්‍රියාත්මක බදු අනුපාතයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම බව මෙහිදී  නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.

මෙහිදී බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූ අතර, නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු ( Telecom  Levy ) අඩු කිරීමේ අවසරය ලබාදීමට අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි නොවීය.

එම යෝජනාව ඉදිරිපත් කරමින් නිලධාරීන් සඳහන් කළේ වත්මන් පනත යටතේ පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී බදු ගණනය කිරීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින්, නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු මුදල්වලින් අඩු කිරීමට අවසර ලබා දීමට යෝජනා කර ඇති බවයි.


කෙසේ වෙතත්, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කරන ලදී. එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන අතර ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු අඩු කිරීමේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා එය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට කාරක සභාව තීරණය කෙරිණි.

මේ අතර, මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සඳහා රජයේ ලාංඡනය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් "Licensed" යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳව කාරක සභාව විමසූ අතර, අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්‍ර නිකුත් කර නොමැති බවයි.

මෙම, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආයතන වෙත  උපදෙස් ලබා දීමට කාරක සභාව තීරණය කරන ලදී.


තව ද මූල්‍ය, බදු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන හතරකට අදාළ නියෝග සලකා බැලූ අතර, ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය හිමිවිය.


ඒ අනුව, ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අය කිරීම විධිමත් කිරීම සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ නිෂ්පාදන බද්ද යටතේ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) සඳහා නව ජාතික උපබෙදුම් හඳුන්වා දීම පිළිබඳ නියෝග සලකා බැලිණි.

තව ද, දේශීය රෙදිපිළි කර්මාන්තය සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කොට 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීමට අදාළ නියෝග මෙහිදී සලකා බැලිණි. මෙම වෙනස්කම හේතුවෙන් ආනයන අවස්ථාවේදී ගෙවිය යුතු බදු ප්‍රමාණය ඉහළ ගිය ද, VAT බද්ද සඳහා ලියාපදිංචි වී ඇති ආයතනවලට එම බදු මුදල Credit ලෙස නැවත ලබා ගත හැකි බැවින්, ඔවුන්ට ඉන් සහනයක් සැලසෙන බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම, ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම උදෙසා, ආපදා සහන ගෙවීම් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමට අදාළ නියෝගය ද මෙහිදී සලකා බැලිණි.



සම්බන්ධිත පුවත්

2026-10-05

තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාකච්ඡාවට

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.ඒ තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය සැප්. 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. WFD ආයතනයේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙහිද තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා WFD ආයතනය මඟින් ලබාගත හැකි සහාය, පුහුණු අවස්ථා සහ තරුණ නායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.තවද තරුණ පරම්පරාව දේශපාලන ක්‍රියාවලියට, ප්‍රතිපත්ති සම්පාදනයට සහ පාලන ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ වැදගත්කම පිළිබඳවද පැමිණි නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සිදු විය. විශේෂයෙන්ම මැතිවරණවලින් පසුවද තරුණයින් අඛණ්ඩව දේශපාලන හා ප්‍රතිපත්ති සංවාද සමඟ සම්බන්ධ කර තබා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.එමෙන්ම, තරුණයින් මුහුණ දෙන රැකියා විරහිතභාවය ඇතුළු සමාජ හා ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ නායකත්වය සහ ඔවුන්ගේ දේශපාලන සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.


2026-10-05

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනත් කෙටුම්පත පිළිබඳව සංසදයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර නව පනතක් පැනවීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දී අවධානය යොමු විය. එම සංසදය එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා 1996 ගෙන එන ලද උක්ත පනතින් පසුව, ගත වූ වසර 30ක කාලය පුරාම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡා වූ බව සඳහන් කළේය. 2006 වසරේදී එළිදැක්වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය (UN CRPD) 2016 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කළ ද, එම ප්‍රඥප්තියට අනුකූල දේශීය නීතියක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2016 සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් මෙම කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කළ ද, එය සකස් කිරීමේදී මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත් අතර යම් යම් පරස්පරතාවයන් මතු වී ඇති බැවින්, අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වැදගත් බව සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුව විසින් තම නිරීක්ෂණ අන්තර්ගත කර සකස් කරන ලද ආදර්ශ පනත් කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම දෙපාර්තමේන්තුව විසින් යළි සකස් කර අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර, එම කෙටුම්පත පිළිබඳව ජාතික සභාවේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කරන ලදී. මින් පෙර අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව යොමු කරන ලද නිරීක්ෂණද සලකා බලමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්හි නිරීක්ෂණ ද පදනම් කර ගනිමින් මෙම නීතිමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සියලු පාර්ශ්ව විසින් තම අදහස් පළ කරන ලද අතර, එක්සත් ජාතීන්ගේ ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට (UN CRPD) අනුකූල වන පරිදි ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.නව නීති පැනවීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී, “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” (Nothing About Us Without Us) යන පදනම මත පිහිටා, ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු නියෝජනය සහ සහභාගිත්වය ලබාගැනීමේ වැදගත්කම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.  එමෙන්ම, ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබා දීම, සමාන සේවා කොන්දේසි හා වේතන හිමිකර දීම සහ රැකියා ස්ථානයන්හි සාධාරණ පහසුකම් සැලසීම (reasonable accommodation), රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය යෝජනා සහ ඊට අදාළ රෙගුලාසි ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. වත්මන් සමාජ සහ ආර්ථික පසුබිමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු වන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කර ගැනීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි. මෙම රැස්වීමට සංසදයේ නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) නිහාල් අබේසිංහ, නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ පනත් කෙටුම්පත් සම්පාදක අනුකමිටුවේ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-10-02

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 29) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ සඳහා අනුමතිය හිමි විය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා  ඇතුළු නිලධාරීහු ද, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද  මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සම්මත කිරීම, මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය, අරමුදල් ව්‍යුහය සහ පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය ‍යොමු විය.2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 31 වගන්තියට අනුව කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය හරහා නොව ඍජුවම කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ. කථානායකවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා ගෙන, දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත) ඉදිරිපත් කළ යුතුය. අනතුරුව පාර්ලිමේන්තුව මගින් සමාලෝචනය කර තීරණය කරනු ලබන සංශෝධන සහිතව එය ජාතික අයවැය ලේඛනයට/විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට මුදල් අමාත්‍යවරයා වෙත යවනු ලැබේ. 2027 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණීම‍ට සැප්තැම්බර් දක්වා කාලය ගත වීම පිළිබඳව ද සාකච්ඡා විය. මෙමගින් අයවැය සකස් කිරීමේ කාලසටහනට බාධා පැමිණෙන බැවින් ඉදිරි වසරවලදී අයවැය ක්‍රියාවලිය නියමිත වේලාවට සිදු කිරීම සඳහා, මැයි 30 වන විට කොමිෂන් සභාවේ ඇස්තමේන්තු කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.සාමාන්‍ය රේඛීය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පාලනය වන 2024 භාණ්ඩාගාර චක්‍රලේඛයක් මගින් ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාරයට බාධා පැමිණීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. වාහන මිළදී ගැනීම/ලීසිං කිරීම, ප්‍රාදේශීය කාර්යාල සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම සහ රාජකාරි අවශ්‍යතා මත විදේශ සංචාර සිදු කිරීම සීමා වීම මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතුවලට බාධා වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය. අදාළ කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් පූර්ව අනුමැතිය ඉල්ලා සිටීමට සිදු වීම මගින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හානි සිදු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.කොමිෂන් සභා අරමුදලේ ස්වභාවය සහ භාවිතය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ කොමිෂන් සභාව සඳහා වෙනම අරමුදලක්  ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ අරමුදල සහ  සහ කොමිෂන් සභා පොදු අරමුදල    මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා විය.පනත ප්‍රකාරව  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු ස්වාධීනව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන හිමි විය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙම කාරක සභා රැස්වීමේදී අවධාරණය කළේය.කොමිෂන් සභාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීම් සහ රටේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම අනුව කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කිරීම ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මේ අනුව, කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය  971 ක් බදවා ගැනීමට කටයුතු කරන බවත්, 2026 දෙසැම්බර් 31 දිනට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමේ ඉලක්කය සපිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා දැනට පවතින රජයේ ගොඩනැගිලි  පරීක්ෂා කර ඇති බවත් අනාවරණය විය. ඇතැම් ඒවා අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරිය කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එසේම, ජපාන රජය මගින් UNDP හරහා ලබා දී ඇති ඩොලර් මිලියන 2.5ක ප්‍රදානය යටතේ, ප්‍රාදේශීය කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක සහ ඡායා පිටපත් යන්ත්‍ර ඇතුළු රුපියල් මිලියන 109ක තාක්ෂණික උපකරණ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිසානායක මහතා පැවසීය.තවද, නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයන් අතුරින් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර, එම ක්‍රියාවලියෙන් ලැබෙන දඩ මුදල් කොමිසමේ අරමුදලට බැර වනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.කොමිෂන් සභාපති, සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ වැටුප් ව්‍යුහය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර මීට පෙර කාරක සභාවේදී ලබා දුන් නිර්දේශය පරිදි කොමිෂන් සභාවේ  සභාපතිවරයාගේ වැටුප අභියාචනාධිකරණ සභාපතිවරයාගේ (President of the Court of Appeal) වැටුපට හා දීමනාවලට සමාන විය යුතු බවත් අවධාරණය කළේය.කාරක සභා සාමාජික  ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගී වූ අතර ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක සහ නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීමට සම්බන්ධ වූහ.  


2026-10-02

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.ඒ, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී 2003 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු, පනතේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින විෂමතා, වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය සහ ඒ සඳහා මහජන ප්‍රවේශය පිළිබඳව සාකච්ඡා විය.තවද, පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා පවතින තාක්ෂණික හා පරිපාලන ගැටළු විසඳීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය ලැබිණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks