logo

03

E   |     |  

2026-06-08

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරිණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කාරක සභාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්  වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී ඇත. 2026 අයවැය මගින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අලුතින් ඉදි කරන දූරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබා දීම අපේක්ෂා කෙරේ. මෙම පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව හෝ ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් ලබා දීම එහි ප්‍රධාන ප්‍රතිපාදනය වේ.

එසේම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක් විය. වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම හා යාවත්කාලීන කිරීම මෙන්ම, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවල (Bad Debts) අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීම සහ 2014 වසරේ සිට ක්‍රියාත්මක බදු අනුපාතයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම බව මෙහිදී  නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළහ.

මෙහිදී බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූ අතර, නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු ( Telecom  Levy ) අඩු කිරීමේ අවසරය ලබාදීමට අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි නොවීය.

එම යෝජනාව ඉදිරිපත් කරමින් නිලධාරීන් සඳහන් කළේ වත්මන් පනත යටතේ පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී බදු ගණනය කිරීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින්, නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට නොගෙවූ බිල්පත් මත තිබෙන  බදු මුදල්වලින් අඩු කිරීමට අවසර ලබා දීමට යෝජනා කර ඇති බවයි.


කෙසේ වෙතත්, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කරන ලදී. එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන අතර ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියේය. ඒ අනුව, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු අඩු කිරීමේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා එය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට කාරක සභාව තීරණය කෙරිණි.

මේ අතර, මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සඳහා රජයේ ලාංඡනය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් "Licensed" යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳව කාරක සභාව විමසූ අතර, අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්‍ර නිකුත් කර නොමැති බවයි.

මෙම, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආයතන වෙත  උපදෙස් ලබා දීමට කාරක සභාව තීරණය කරන ලදී.


තව ද මූල්‍ය, බදු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන හතරකට අදාළ නියෝග සලකා බැලූ අතර, ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය හිමිවිය.


ඒ අනුව, ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අය කිරීම විධිමත් කිරීම සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ නිෂ්පාදන බද්ද යටතේ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) සඳහා නව ජාතික උපබෙදුම් හඳුන්වා දීම පිළිබඳ නියෝග සලකා බැලිණි.

තව ද, දේශීය රෙදිපිළි කර්මාන්තය සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කොට 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීමට අදාළ නියෝග මෙහිදී සලකා බැලිණි. මෙම වෙනස්කම හේතුවෙන් ආනයන අවස්ථාවේදී ගෙවිය යුතු බදු ප්‍රමාණය ඉහළ ගිය ද, VAT බද්ද සඳහා ලියාපදිංචි වී ඇති ආයතනවලට එම බදු මුදල Credit ලෙස නැවත ලබා ගත හැකි බැවින්, ඔවුන්ට ඉන් සහනයක් සැලසෙන බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම, ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම උදෙසා, ආපදා සහන ගෙවීම් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමට අදාළ නියෝගය ද මෙහිදී සලකා බැලිණි.



සම්බන්ධිත පුවත්

2026-06-25

මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු,  විජේසිරි බස්නායක, චම්පික හෙට්ටිආරච්චි, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා රැස්වූ අවස්ථාවේදීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය 08 වැනිදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දුන්  වාර්තාව ශ්‍රී  ලංකා මහ බැංකුවේ  නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ඇතුළත්  වාර්තාවක් මෙලෙස  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කොට තිබිණි.   මෙහිදී  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරිණි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා  මහ බැංකුව  විසින් ඉදිරිපත් කළ  වාර්තා දෙකම සලකා බලා  අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක් ද  සහභාගී විය.


2026-06-23

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විගනකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට

මහා භාරකාර දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සිදු විය. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මහා භාරකාර දෙපාර්තමේන්තුවට වත්කම් ලැබෙන විවිධ මාර්ග, එම එක් එක් වත්කම් ලැබුණ දින වකවානු, එම වත්කම් පවරණු ලැබුවේ කවුරුන් විසින්ද යන්න, පැවරීමට අදාළ කොන්දේසි ආදී කරුණු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙස 2024 මැයි මස කාරක සභාව රැස් වු අවස්ථාවේ ලබා දී තිබූ නිර්දේශය සම්බන්ධයෙන් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විමසා සිටියේය. මේ අනුව, මේ සම්බන්ධ දත්ත ඇතුළත් වාර්තාව කාරක සභාව වෙත ලබා දුන් බව නිලධාරීහු කියා සිටියහ. එසේම මෙහිදී මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු භාර සහ බූදල් සංඛ්‍යාව සම්බන්ධයෙන්ද කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.ගාල්ල බද්දේගම, සුදුවැලිපොත පිහිටි හැරී හපුගොඩ බූදලයට අයත් අක්කර 113ක භූමි ප්‍රමාණය ‍බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීය. එහිදී තක්සේරු වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මේ වන විට ටෙන්ඩරයක් ලැබී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. මීට අමතරව මෙම ඉඩමේ කොටස් විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය. රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ජූලි මාසය වන විට මෙම ගොඩනැගිල්ලේ නවීකරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ඉඩමේ පොල් අස්වැන්න හොඳින් පවතින බවත් එය නියමාකාරයෙන් නඩත්තු නොවන බවත් කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු කියා සිටියහ. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු වෘත්තීය අධ්‍යපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ,  කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-06-23

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට අගමැතිවරියගෙන් උපදෙස්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ  සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව දැනට පවතින ගැටලු රැසක්  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  ඉදිරිපත් කළහ.ඒ අනුව ප්‍රාථමික පාසැල් ඉදිකිරීම්වලදී ප්‍රමිතියකට අනුව පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසැල්වල පරිපාලනය සම්බන්ධ ගැටලු,  ගුරු මාරු සම්බන්ධ ගැටලු, එක් එක් පළාත් මට්ටමින් පාසැල්වල සිදු වන ඉදිකිරීම්වල ප්‍රගතිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු  රැසක්  කාරක සභාවේදී සාකච්ඡා විය. එම කරුණු සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව, මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,  වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරු ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.  


2026-06-22

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ ශ්‍රී ලංකාවේ උභයජීවී හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව දේශගුණික සංසදයේ අවධානය

එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) සංසිද්ධීන් හී බලපෑම්වලින්  ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය යොමු විය.ඒ එම  සංසදය එහි සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී දේශගුණික විපර්යාස, විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය, ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධති, වෙරළබඩ කලාප, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පර විරංජනයවීම (Coral Bleaching), මත්ස්‍ය ගහනයේ සිදු වන  සංක්‍රමණික වෙනස්කම්, විෂ ඇල්ගී වර්ධනය (Algal Blooms), ඔක්සිජන් අවම කලාප (Dead Zones) ඇතිවීම සහ ජල පරිසර පද්ධතිවල අස්ථාවරතාවය වර්ධනය වීම වැනි ගැටලු පිළිබඳව සහභාගී වූ නිලධාරීහු සංසදයේ අවධානයට යොමු කළහ.එමෙන්ම, නියඟ තත්ත්වයන්හි  ප්‍රතිඵලයක් ලෙස  ගංගා ජල මට්ටම් පහත වැටීම සහ මුහුදු ජලය ගංගා පද්ධති තුළට ඇතුළු වීම නිසා පානීය ජල සැපයුමට තර්ජන එල්ල වීම සහ ධීවර හා සංචාරක කර්මාන්තයට මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ සාගරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර,  එකී  ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සංසදය විසින් සහිපත් කරන ලදී. තවද, ඉදිරියේදී ඇති විය හැකි “ එල් නිනෝ” ( El Niño) තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද සංසදය විසින් අවධාරණය කරන ලදී.එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් උභයජීවී විශේෂවල වාසස්ථාන, ප්‍රජනන රටාවන් සහ ජීවත් වීමේ  හැකියාව කෙරෙහි ද බලපෑම් එල්ල වන බව මෙහිදී අවධාරණය කෙරිණි. වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම්, නියඟ තත්ත්වයන් සහ උෂ්ණත්වය ඉහළ යෑමෙන්  ගෙම්බන් ඇතුළු උභයජීවී විශේෂ රැසක් අවදානමට ලක්විය හැකි බවත්, එමගින් පරිසර පද්ධතිවල සමතුලිතතාවයට ද බලපෑම් ඇති විය හැකි බවත් සහභාගී වූ  නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීන්, පර්යේෂකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  සහභාගී විය .






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks