පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පාර්ලිමේන්තුව ජුනි 09 සිට 12 දක්වා රැස්වීමට නියමිත ය.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 10 වැනි බදාදා දින පමණක් පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ජුනි 09 අඟහරුවාදා පෙ. ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන පනත යටතේ වන නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 යටතේ වූ තීරණයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිත ය. පසුව ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.
ජුනි 10 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටත් නියමිත ය. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ජුනි 11 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත. පසුව ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ජුනි 12 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 දක්වා කාලය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇත. එදින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2026.05.20 ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වාගෙන යාමට නියමිත ය.
මීට අමතරව, ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත මහතාගේ ඉල්ලීම පරිදි, වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ මස 10 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමටද මෙහිදී අනුමතිය හිමි විය.
2026-06-11
මහජන චීන සමූහාණ්ඩුවේ පැවති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවකට සහභාගී වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිස, සිය නිල වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 2026 ජුනි 05 වන දින ආපසු දිවයිනට පැමිණියහ.ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස, 2026 මැයි 26 සිට ජුනි 04 වන දින දක්වා චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (NDRC) ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය විසින් පවත්වන ලද වැඩසටහනට සහභාගී වූහ.මෙම සංචාරය අතරතුර, චීනයේ රාජ්‍ය පාලන ව්‍යුහය, සංවර්ධන උපායමාර්ග, ප්‍රජාතන්ත්‍රවාදී උපදේශන යාන්ත්‍රණයන් සහ ජාතික ප්‍රතිපත්තිමය දිශානතිය පිළිබඳව චීන ජ්‍යෙෂ්ඨ විද්වතුන්, පර්යේෂකයන් සහ නිලධාරීන් විසින් මෙහෙයවූ සැසිවලට නියෝජිත පිරිස සහභාගී වූහ.නියෝජිත පිරිස විසින් ජාතික මහජන කොංග්‍රස් (NPC) සම්මන්ත්‍රණ ශාලාව සහ මහජන මහා ශාලාව ඇතුළු ප්‍රධාන ජාතික ආයතන වෙත ද නිල සංචාර සිදු කරන ලදී. ඊට අමතරව, ජාත්‍යන්තර තේ දිනය සැමරීම සඳහා 2026 මැයි 29 වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයකටද ඔවුන් සහභාගී වූ අතර, එමගින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී තේ උරුමය සහ සංස්කෘතික හා ආර්ථික සබඳතා සඳහා එහි දායකත්වයද පිළිබිඹු කරන ලදී.ඉන් අනතුරුව, ෂෙන්සෙන් (Shenzhen) සහ ගුවැන්ෂු (Guangzhou) නගරවල සිදුකළ සංචාර අතරතුර, නියෝජිත පිරිස සුහුරු යටිතල පහසුකම්, උසස් තාක්‍ෂණය, සන්නිවේදනය, කෘෂිකර්මාන්තය සහ නව බලශක්ති කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ ආයතන සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් නිරීක්ෂණය කරන ලදී.මෙම වැඩමුළුව ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, ආයතනික සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය දැනුම හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමට මහඟු පිටුවහලක් වූ අතර, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට ද දායක විය.
2026-06-10
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී අද (ජුනි 10) පැවැත්විණි.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එසේම, මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දෙන ලදී.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-09
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (ජුනි 09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව තීරණය කර ඇත. එහෙත්, 14 වන වගන්තිය [යෝජිත 12අ(ආ) වගන්තිය] සහ 18 වන වගන්තිය [යෝජිත 17අ, 17ආ සහ 17ඇ වගන්ති] සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතිය අවශ්‍ය වන බව ද තීරණය කර ඇත. තවද, අධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට අනුකූලව එම වගන්ති සංශෝධනය කරනු ලබන්නේ නම්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින (09) කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද ගරු කථානායකවරයා නියෝග කළේය.
2026-06-08
පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෑතකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි. එහිදී 2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් තේරී පත් වූහ. ඒ අනුව සංගමයේ නව සභාපතිවරයා ලෙස බී.එම්. රසීල් මහතා සහ උප සභාපතිවරයා ලෙස එම්.අයි.එම්. ෆාසි මහතා තේරී පත්විය. නව ලේකම්වරයා ලෙස සී. මනිමාරන් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.ටී. සෙයිනුර් රිෆා මහතා තෝරා පත් කර ගැනීමද එහිදී සිදුවිය. පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව සහකාර ලේකම් ලෙස ඩී. තුලාංකනි මෙනවිය සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීන් තේරී පත්විය.අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි මහතා, ඒ. සරවනභවානන්දන් මහතා සහ එන්.බී.සී.ජේ. නිස්සංග මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks