logo

03

E   |     |  

2026-05-15

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රජය සතු ව්‍යාපාර ආයතනවල (SOEs) අභ්‍යන්තර විගණන නිලධාරීන්ට සහ මූල්‍ය ප්‍රධානීන්ට 'කෝප්' කමිටුවෙන් වැඩමුළුවක්...

  • රජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍යයි - රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන්  අමතමින් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කරයි



රජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන්  අමතමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පසුගියදා අවධාරණය කළේය.  

රජය සතු ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර විගණනය සහ මූල්‍ය අධීක්ෂණය  ශක්තිමත් කිරීම පිළිබඳව කෝප් කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ (UNDP) අනුග්‍රහයෙන් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී  සංවිධානය කළ වැඩමුළුවක් අමතමින් කෝප් කමිටු සභාපතිවරයා මේ බව පවසා සිටියේය.  

මෙහිදී අදහස් දැක්වූ කෝප් සභාපතිවරයා, රජය සතු ව්‍යපාර ක්ෂේත්‍රයේ පවතින අසංවිධිත බව ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකළ යුතු බවත්  රාජ්‍යයට වග කියන නිලධාරීන් ලෙස ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නේය. සියලු රජය සතු ව්‍යාපාර ප්‍රධානීන් මීට පෙර කැඳවා සාර්ථක වැඩමුළුවක් පැවැත්වීමට හැකි වූ බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා, මූල්‍ය විනය සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙලෙස සියලු ආයතනවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සිදු කිරීමට තීරණය කළ බවත් පවසා සිටියේය.  

එසේම රජය සතු ව්‍යාපාර ආයතන 457ක් පවතින නිසා එම සියලු ආයතන කෝප් කමිටුවට කැඳවීම ප්‍රායෝගිකව අපහසු බැවින් එම ආයතනවල කාර්යසාධනය පරීක්ෂා කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.   

"රාජ්‍ය විගණනය සහ රාජ්‍ය ආයතනවල කාර්යභාරය, වගකීම් හා සහයෝගීතාව" පිළිබඳ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය මෙහිදී සිය දේශනය ඉදිරිපත් කළාය. රජය සතු ආයතනයන්හි  අරමුදල්වල හිමිකරුවන්  මහජනතාව බැවින් ඒවා මහජනතාව වෙනුවෙන් නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවත් ඒ සඳහා නිසි මූල්‍ය විනයක් සහ අභ්‍යන්තර විගණනයක් පවත්වා ගනිමින් රාජ්‍ය විගණනයට සහය ලබාදිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.      

එසේම කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය මහතා විසින් “ජනතාවට වගවීම තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය” පිළිබඳව සහ හිටපු විගණකාධිපති, කෝප් සහ කෝපා කමිටුවල උපදේශක සරත් මායාදුන්නේ මහතා විසින් “ජනතාවට වගවීම කෙරෙහි රජය සතු ව්‍යාපාරවල කාර්යභාරය” පිළිබඳව දේශන ඉදිරිපත් කරන ලදී.  

රජය සතු ව්‍යාපාර ආයතනවල නිලධාරීන්ට සිය විෂයට අදාළව ප්‍රශ්න විමසීම සඳහා ද මෙහිදී අවකාශය සැලසිණි. අභ්‍යන්තර විගණක තනතුර අදාළ ආයතනයේ ප්‍රධානියා යටතට පත් කිරීම වෙනුවට අමාත්‍යාංශ ලේකම්වරයාට වාර්තා කරනු ලබන වඩාත් ස්වාධීන තනතුරක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. 

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා  සහ රජය සතු ව්‍යාපාර ආයතන 300කට ආසන්න ප්‍රමාණයක අභ්‍යන්තර විගණන නිලධාරීහු සහ මූල්‍ය අංශයේ ප්‍රධානීහු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.




සම්බන්ධිත පුවත්

2026-07-01

විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ උපකෘත පාසල් පද්ධතියේ ගැටලු පිළිබඳ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන විශේෂ පාසල් සහ උපකෘත පාසල් පද්ධතිය මුහුණ දෙන ගැටලු මෙන්ම එම ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමක්  එම සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ  අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවැත්විණි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය ද ප්‍රමුඛ අංගයක් ලෙස සැලකිල්ලට ගත යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. අබාධ  සහිත  දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් (ග්‍රහණ ශක්තිය)  සහ අධ්‍යාපනික අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩාත් අන්තර්කරණය  සහ සමානාත්මතාවය මත පදනම් වූ අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද  එහිදී අදහස් පළ විය.එසේම විශේෂ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන පරිපාලනමය හා වෘත්තීය ගැටලු, පාසල් කළමනාකරණයට අදාළ අභියෝග, විෂයමාලා සංවර්ධනය සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සුදුසු ඇගයීම් ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.විශේෂ අවශ්‍යතා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් සහිත විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ කළමනාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී සැලකිල්ලට ගැනීමට ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්  මෙහිදී එකඟතාව පළ කළ  අතර, ඉදිරියේදී ඒ සඳහා පවත්වන සාකච්ඡාවක් සඳහා විශේෂ පාසල්වල නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමටත්, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබාගනිමින් ඉදිරි කටයුතු සිදුකිරීමට ත් තීරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා  සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරුන්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ  නියෝජ්‍ය සභාපති තිලක් ධර්මරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් හා  විශේෂ අධ්‍යාපන  ඒකකයේ  නිලධාරීන්, ආබාධ සහිත ළමුන් සඳහා වූ විශේෂ පාසල්වල විදුහල්පතිවරුන්, එම පාසල්වල කළමනාකරුවන් සහ ගුරුවරුන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-25

මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට

රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු,  විජේසිරි බස්නායක, චම්පික හෙට්ටිආරච්චි, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා රැස්වූ අවස්ථාවේදීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය 08 වැනිදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දුන්  වාර්තාව ශ්‍රී  ලංකා මහ බැංකුවේ  නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ඇතුළත්  වාර්තාවක් මෙලෙස  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කොට තිබිණි.   මෙහිදී  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරිණි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා  මහ බැංකුව  විසින් ඉදිරිපත් කළ  වාර්තා දෙකම සලකා බලා  අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක් ද  සහභාගී විය.


2026-06-23

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විගනකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට

මහා භාරකාර දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සිදු විය. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මහා භාරකාර දෙපාර්තමේන්තුවට වත්කම් ලැබෙන විවිධ මාර්ග, එම එක් එක් වත්කම් ලැබුණ දින වකවානු, එම වත්කම් පවරණු ලැබුවේ කවුරුන් විසින්ද යන්න, පැවරීමට අදාළ කොන්දේසි ආදී කරුණු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙස 2024 මැයි මස කාරක සභාව රැස් වු අවස්ථාවේ ලබා දී තිබූ නිර්දේශය සම්බන්ධයෙන් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විමසා සිටියේය. මේ අනුව, මේ සම්බන්ධ දත්ත ඇතුළත් වාර්තාව කාරක සභාව වෙත ලබා දුන් බව නිලධාරීහු කියා සිටියහ. එසේම මෙහිදී මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු භාර සහ බූදල් සංඛ්‍යාව සම්බන්ධයෙන්ද කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.ගාල්ල බද්දේගම, සුදුවැලිපොත පිහිටි හැරී හපුගොඩ බූදලයට අයත් අක්කර 113ක භූමි ප්‍රමාණය ‍බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීය. එහිදී තක්සේරු වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මේ වන විට ටෙන්ඩරයක් ලැබී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. මීට අමතරව මෙම ඉඩමේ කොටස් විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය. රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ජූලි මාසය වන විට මෙම ගොඩනැගිල්ලේ නවීකරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ඉඩමේ පොල් අස්වැන්න හොඳින් පවතින බවත් එය නියමාකාරයෙන් නඩත්තු නොවන බවත් කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු කියා සිටියහ. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු වෘත්තීය අධ්‍යපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ,  කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, ‍ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


2026-06-23

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට අගමැතිවරියගෙන් උපදෙස්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ  සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව දැනට පවතින ගැටලු රැසක්  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  ඉදිරිපත් කළහ.ඒ අනුව ප්‍රාථමික පාසැල් ඉදිකිරීම්වලදී ප්‍රමිතියකට අනුව පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසැල්වල පරිපාලනය සම්බන්ධ ගැටලු,  ගුරු මාරු සම්බන්ධ ගැටලු, එක් එක් පළාත් මට්ටමින් පාසැල්වල සිදු වන ඉදිකිරීම්වල ප්‍රගතිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු  රැසක්  කාරක සභාවේදී සාකච්ඡා විය. එම කරුණු සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව, මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,  වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරු ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.  






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks