E   |     |  

2026-05-14

පුවත් කාණ්ඩ : පුවත් 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කෙරේ

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කිරීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පසුගියදා සිදු විය. මේ අනුව රු. 20.00 සහ රු. 70.00 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කළ අතර මෙමගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට අවකාශය උදා වනු ඇත.

මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීහු ද සහභාගි වුහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න, තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පි. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ එල්.ජී.එන් ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.




සම්බන්ධිත පුවත්

2026-06-10

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්තිය පිළිබඳව ගරු මන්ත්‍රීවරුන්ව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දැනුවත් කරති

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී  අද  (ජුනි 10)  පැවැත්විණි.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එසේම, මන්ත්‍රීවරුන්  විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දෙන ලදී.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-09

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (ජුනි 09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව තීරණය කර ඇත. එහෙත්, 14 වන වගන්තිය [යෝජිත 12අ(ආ) වගන්තිය] සහ 18 වන වගන්තිය [යෝජිත 17අ, 17ආ සහ 17ඇ වගන්ති] සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතිය අවශ්‍ය වන බව ද තීරණය කර ඇත. තවද, අධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට අනුකූලව එම වගන්ති සංශෝධනය කරනු ලබන්නේ නම්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින (09)  කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද ගරු කථානායකවරයා නියෝග කළේය.


2026-06-08

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත්කෙරේ

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෑතකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි. එහිදී 2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් තේරී පත් වූහ. ඒ අනුව සංගමයේ නව සභාපතිවරයා ලෙස බී.එම්. රසීල් මහතා සහ  උප සභාපතිවරයා ලෙස එම්.අයි.එම්. ෆාසි මහතා තේරී පත්විය. නව ලේකම්වරයා ලෙස සී. මනිමාරන් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.ටී. සෙයිනුර් රිෆා මහතා තෝරා පත් කර ගැනීමද එහිදී සිදුවිය. පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව  සහකාර ලේකම් ලෙස ඩී. තුලාංකනි මෙනවිය සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීන් තේරී පත්විය.අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි මහතා, ඒ. සරවනභවානන්දන් මහතා සහ එන්.බී.සී.ජේ. නිස්සංග මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.


2026-06-04

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ජුනි 03) සිය සහතිකය සටහන් කළේය.දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වේ.සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks