E   |     |  

2026-05-13

පුවත් කාණ්ඩ : පුවත් 

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. 

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. 

මේ අවස්ථාව සඳහා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, පිළියන්දල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ‍කුමුදු හේමමාලි යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි යහපත් පුරුදු සහ ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ අවස්ථාව පිළිබඳව අදහස් පළ කළාය. තවද ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදය මගින් අනාගත ක්‍රියාකාරී නායකයන් බිහිකරගැනීමට අවස්ථාව සැලසෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය. එසේම ශිෂ්‍ය අවධියේදීම නිපුණතා සහ දක්ෂතා වැඩිදියණු කරගැනීමේ වැදගත්කම පිළිබඳවද ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය අදහස් දැක්වූ අතර සාම්ප්‍රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. 

තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. ආර්. හේරත් මහතා  විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි සංයුතිය සහ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

වැඩසටහන අවසන් කරමින් ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්.කේ.කේ.එම්. ප්‍රනාන්දු මහත්මිය විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.

මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.



සම්බන්ධිත පුවත්

2026-06-10

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්තිය පිළිබඳව ගරු මන්ත්‍රීවරුන්ව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දැනුවත් කරති

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී  අද  (ජුනි 10)  පැවැත්විණි.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එසේම, මන්ත්‍රීවරුන්  විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දෙන ලදී.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-09

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (ජුනි 09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව තීරණය කර ඇත. එහෙත්, 14 වන වගන්තිය [යෝජිත 12අ(ආ) වගන්තිය] සහ 18 වන වගන්තිය [යෝජිත 17අ, 17ආ සහ 17ඇ වගන්ති] සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතිය අවශ්‍ය වන බව ද තීරණය කර ඇත. තවද, අධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට අනුකූලව එම වගන්ති සංශෝධනය කරනු ලබන්නේ නම්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින (09)  කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද ගරු කථානායකවරයා නියෝග කළේය.


2026-06-08

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත්කෙරේ

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෑතකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි. එහිදී 2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් තේරී පත් වූහ. ඒ අනුව සංගමයේ නව සභාපතිවරයා ලෙස බී.එම්. රසීල් මහතා සහ  උප සභාපතිවරයා ලෙස එම්.අයි.එම්. ෆාසි මහතා තේරී පත්විය. නව ලේකම්වරයා ලෙස සී. මනිමාරන් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.ටී. සෙයිනුර් රිෆා මහතා තෝරා පත් කර ගැනීමද එහිදී සිදුවිය. පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව  සහකාර ලේකම් ලෙස ඩී. තුලාංකනි මෙනවිය සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීන් තේරී පත්විය.අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි මහතා, ඒ. සරවනභවානන්දන් මහතා සහ එන්.බී.සී.ජේ. නිස්සංග මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.


2026-06-04

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ජුනි 03) සිය සහතිකය සටහන් කළේය.දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වේ.සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks