01

E   |     |  

2026-05-07

පුවත් කාණ්ඩ : පුවත් 

කියුබානු තානාපතිවරිය ගරු කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපති ගරු පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) ඊයේ (මැයි 06) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය. 

මෙම හමුවේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ කියුබාව අතර වසර 65 කට අධික ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා නැවත තහවුරු කළහ.

ගරු කථානායකවරයා තානාපතිවරියගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. එසේම චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු කීර්තිමත් කියුබානු නායකයින්ගේ භූමිකාව ද  කථානායකවරයාගේ ඇගයීමට ලක්විය. 

බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාරයන්හීදි, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී, කියුබාව ශ්‍රී ලංකාව සඳහා දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.

කියුබාවේ පවතින දියුණු වෛද්‍ය ක්ෂේත්‍රය ගරු කථානායකවරයා ඇගයීමට ලක් කළ අතර තමා වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සිටි කාලය තුළ සුවිශේෂී කැපවීමකින් හා මානුෂීය ගුණාංගයන්ගෙන් යුතුව ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන් පිළිබඳව ඔහුගේ මතකය ගෞරවයෙන් සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා සහාය වීම පිළිබඳව කියුබානු රජයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන් කියුබානු දියුණු වෛද්‍ය තාක්ෂණික සහය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය සංවර්ධනය කිරීමේදී අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පැවසීය.

පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්‍රී ලංකා - කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව ගරු කථානායකවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ගරු තානාපතිනිය වන  පෙගෝ ගුවේරා මහත්මිය කියුබාවේ කල් පවතින මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කළේය. ශ්‍රී ලංකා රජයේ කළමනාකරණ හැකියාව, විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු  රට යථාවත් කිරීම සඳහා රජය කඩිනම් පියවර ගැනීම පිළිබඳ ඇය ප්‍රශංසා කළාය.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් සමඟ කියුබාවට පැමිණෙන ලෙස ද තානාපතිවරිය ගරු කථානායකතුමාට ආරාධනා කළාය.

කියුබානු ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අධ්‍යාපනය, ක්‍රීඩා අංශයේ සංවර්ධනය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වැවිලි කර්මාන්තයේ සහයෝගීතාවය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ද සාකච්ඡාවේදී අවදානය යොමු විය.

මෙම හමුවෙන් අනතුරුව, තානාපතිවරිය ශ්‍රී ලංකා - කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් පිරිසක් ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.



සම්බන්ධිත පුවත්

2026-05-07

වියට්නාම් ගරු ජනාධිපති ටෝ ලාම් මහතා හෙට (මැයි 08) පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරයි

සමාජවාදී වියට්නාම් ජනරජයේ ගරු ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතය.හෙට පාර්ලිමේන්තු පරිශ්‍රයට පෙරවරු 11.05 ට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයාව, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගැනීමෙන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා සහ ගරු කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ අවස්ථාව සඳහා  ශ්‍රී ලංකා - වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වනු ඇත.මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතය.අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා ගරු කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන් ගන්නා අතර, පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදුකරයි. ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යවරිය සහ ගරු විපක්ෂ නායකතුමා සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇත. 


2026-05-06

ගරු කථානායකතුමා මාලදිවයින් ජනාධිපතිවරයා හමුවෙයි

ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා මාලදිවයින් ජනාධිපති ගරු (ආචාර්ය) මොහොමඩ් මුයිසු මහතා හමුවිය.මාලදිවයින් ජනාධිපති (ආචාර්ය) මොහොමඩ් මුයිසු මහතා සහ ඔහු සමඟ පැමිණි දූත පිරිස කොළඹ හිල්ටන් හෝටලයේදී උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව මෙම හමුව සිදුවිය.    මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සමීප හා දිගුකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන බව ගරු කථානායකතුමා සඳහන් කළ අතර අඛණ්ඩ සහයෝගීතාවය තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60 වන සංවත්සරය සිහිපත් කරමින්, දෙපාර්ශ්වයම ඔවුන්ගේ ශක්තිමත් ඓතිහාසික, සංස්කෘතික සහ ජනතාව අතර සබඳතා නැවත තහවුරු කළහ.පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර, ව්‍යවස්ථාදායක ද්විත්වය අතර සමීප සබඳතාවක් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ කාර්යභාරය ගරු කථානායකතුමා විසින් පෙන්වාදෙන ලදී.යහපාලනය, විනිවිදභාවය, දූෂණ විරෝධී පියවර, කාර්යක්ෂමතාව සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ඩිජිටල් පරිවර්තනය ඇතුළු ආර්ථික සහයෝගීතාව සහ ජාතික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡාවලදී අවධානය යොමු විය.මාලදිවයින් සිසුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීම සහ මාලදිවයින් හෝටල් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව දක්වන දායකත්වය මෙන්ම මාලදිවයිනේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාවට දක්වන සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරමින් දෙරට ජනතාව අතර ශක්තිමත් සබඳතා කථානායකවරයා අවධාරණය කළේය. එසේම ශ්‍රී ලාංකික ධීවරයින්ගේ සමුද්‍රීය කටයුතුවලට අදාළව ලබා දෙන අඛණ්ඩව සහයෝගීතාවය පිළිබඳව ද  ඔහු සිය කෘතවේදීත්වය පළ කළේය.මාලදිවයින් ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය නැවත තහවුරු කළ අතර ද්විපාර්ශ්වික සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බව ප්‍රකාශ කළේය.මෙම හමුවට මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු රිස්වි හසන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ පාර්ලිමේන්තු ලේකම් මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.


2026-05-05

විගණන සේවා කොමිෂන් සභාවට පත්කළ නව සාමාජිකයන් සිවු දෙනෙක් කථානායකවරයා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දෙති

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙක් ඊයේ (මැයි 04) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන රත්න දේශප්‍රිය යන මහත්වරු විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයන් ලෙස මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව, අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරනු ලබන අවස්ථාවකදී හෝ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 (අ) වගන්තියට යටත්ව යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති විටකදී හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලික අංශයේ කවර තැනැත්තෙකුට කවර හෝ ආකාරයෙන් හෙළිදරව් නොකරන බවටත් සාකච්ඡා හෝ ප්‍රකාශ කිරීම සිදු නොකරන බවටත් දිවුරුම් දීම සිදුකළ යුතු වේ.විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති, විගණකාධිපති සමුදිකා ජයරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ  ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ  එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 


2026-04-29

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයින්ට නිල ලාංඡන පැළඳවීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයින්ට නිල ලාංඡන පැළඳවීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පසුගියදා  (අප්‍රේල් 27) පැවැත්විණි.මේ අවස්ථාව සඳහා, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරක නයනි ලොකුකොඩිකාර යන  මහත්ම මහත්මීහු සහභාගී වූහ. ඒ අනුව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ  අභිනවයෙන් තේරී පත්වූ  ගරු  කථානායකවරිය, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍ය මණ්ඩලය සහ මන්ත්‍රීවරියන්  සහ  සඳහා  මෙලෙස  නිල ලාංඡන පැළඳවීම පැළඳවීම  හා සහතික පත් ප්‍රදානය කිරීම  සිදුවිය.මෙහිදී ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ යන මහත්වරුන්  අදහස් දක්වමින්  රට තුළ  සමානව  නීති ක්‍රියාත්මක   වීමේ වටිනාකම් සහ  ජනාධිපති අරමුදලේ  ක්‍රියාකාරිත්වය  සම්බන්ධයෙන්  කරුණු ඉදිරිපත් කළහ. එමෙන්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරක නයනි ලොකුකොඩිකාර මහත්මිය විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් මෙරට පවතින අඩු දේශපාලනික සාක්ෂරතාව වර්ධනය කරගැනීමට  ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ වැදගත්කම අවධාරණය කලාය.පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, ශ්‍රී ලංකා පර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පති , ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks