01

E   |     |  

2026-04-23

පුවත් කාණ්ඩ : පුවත් 

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් මහතා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා  (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී හමු විය. මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්තාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් (Zunaira Latif) මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.

ශ්‍රී ලංකාව වැනි සංස්කෘතික උරුමයෙන් පොහොසත් හා මිත්‍රශීලී රාජ්‍යයක ප්‍රථම වරට මහ කොමසාරිස්වරයකු ලෙස රාජකාරියෙහි නිරත වීමට ලැබීම ඉමහත් සතුටක් හා ගෞරවයක් බව ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය. දශක ගණනාවක් තිස්සේ දෙරට අතර පැවතෙන දීර්ඝ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඵලදායී මට්ටමකට ගෙනයාමට තමන්  කැපවී සිටින බවද අභිනව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා, අභිනව පකිස්තාන මහ කොමසාරිස්වරයාට සිය සුබපැතුම් එක් කරමින්, ශ්‍රී ලංකාව මුහුණ දුන් සෑම අර්බුදකාරී අවස්ථාවකදීම අඛණ්ඩව ලබාදුන් සහාය සම්බන්ධයෙන් පකිස්තාන රජයට හා ජනතාවට කෘතඥතාව පළ කළේය. රටේ යුධමය අර්බුදයේ සිට "දිට්වා" සුළිකුණාටුව ඇති කළ ව්‍යසනකාරී ස්වාභාවික විපත දක්වා වූ විවිධ අවස්ථාවන්හිදී පකිස්තානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය, සැබෑ මිත්‍රත්වයේ ප්‍රකාශනයක් ලෙස ගරු කථානායකවරයා කෘතවේදීව සිහිපත් කළේය.

වර්තමාන ජාත්‍යන්තර සන්දර්භය තුළ ගෝලීය සමගිය ඇති කිරීම උදෙසා පකිස්තානය ක්‍රියාශීලී මැදිහත්කරුවකු ලෙස ඉටු කරමින් සිටින වැදගත් කාර්යභාරය ගරු කථානායකවරයා විශේෂයෙන් ඇගයීමට ලක් කළේය. එමෙන්ම ශ්‍රී ලංකා – පකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉඩකඩ සැලසී ඇති බවද ගරු කථානායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම  ගන්ධාර කලා නිර්මාණයට අයත්  පකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත්ව පවතින බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව නිරූපණය කරන ප්‍රතිමාවහන්සේ (Fasting Buddha Statue) ශ්‍රී ලාංකික සැදැහැවතුන් හට දැකබලා වන්දනා කිරීමට අවස්ථාව සලසා දීම පිණිස, මෙරටට වඩම්මවා ගැනීම සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයාගෙන්  ඉල්ලීමක් සිදු කළේය.

සුන්දර ස්වාභාවික පරිසරයකින් හා සංග්‍රහශීලී ජනතාවකින් සමන්විත ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. එමෙන්ම නවීන තාක්ෂණය ඇසුරු කරගත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පකිස්තානය සතු අත්දැකීම් හා දැනුම ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට සූදානම් බවද පකිස්තාන මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවද මෙහිදී ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී දෙපාර්ශ්වය විසින් ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්හ. දෙරට අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ව්‍යාප්ත කිරීම පිළිබඳවද මෙම සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්වරයා මෙම සංචාරයේදී පාර්ලිමේන්තුවේ සභා නායක ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා ද හමුවී  සුහද සාකච්ඡාවක නිරත වූ  අතර, එහිදී ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ඇති විය.

"දිට්වා" සුළිකුණාටුව ඇති කළ ව්‍යසනකාරී ස්වාභාවික විපත අවස්ථාවේ පකිස්තානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය වෙනුවෙන් ගරු අමාත්‍යවරයා සිය ගැඹුරු කෘතඥතාව පළ කළේය. පසුගිය වසරේ පකිස්තානයේ පැවැති කලාපීය ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වූ අත්දැකීම සිහිපත් කළ ගරු අමාත්‍යවරයා, 2028 වසර අවසාන වන විට මෙරටේ යෝජිත අධිවේගී මාර්ග ජාලයේ සියලු ඉදිකිරීම් කටයුතු නිමා කර ජනතා අයිතියට පත් කිරීමට සැළසුම් කොට ඇති බවද අවධාරණය කළේය.

දෙරටේ ආයෝජන අවස්ථා හා සංචාරක කර්මාන්තය සංවර්ධනය සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග මෙන්ම පාර්ලිමේන්තු හා පළාත් පාලන මට්ටමේ ජනතා නියෝජිතයන් අතර අත්දැකීම් හුවමාරු වැඩසටහන් ආදී  ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙම හමුවේදී විශේෂ අවධානය යොමු විය.



සම්බන්ධිත පුවත්

2026-04-23

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රංශ සෙනෙට් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ගරු කථානායකවරයා හමුවෙති

ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟත් සාකච්ඡා...ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ, ප්‍රංශ - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයෙන් පැමිණි නියෝජිත පිරිසක් 2026.04.21 වැනිදා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. නියෝජිත පිරිසට  ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය වන සෙනෙට් සභික  වැනීනා පෙයෝලි-ගැගින්  (Vanina Paoli-Gagin) , කණ්ඩායමේ උප සභාපති ඩිඩියර් මාරී (Didier Marie), සෙනෙට් සභික  ලෝරන්ස් මුලර්-බ්‍රොන් (Laurence Muller-Bronn) සහ ජාත්‍යන්තර සබඳතා හා ප්‍රොටොකෝල් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ චාලට් ඩමාන් (Charlotte Dammane) යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. නියෝජිත පිරිස පිළිගනිමින් ගරු කථානායකවරයා, ගතවූ දශක හතක කාලය තුළ අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු වටිනාකම් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දිගුකාලීන  මිත්‍රත්වය සිහිපත් කළේය. අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම හා ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ (parliamentary diplomacy) වැදගත්කම ඔහු අවධාරණය කළේය.මෙහිදී "දිට්වා" සුළි කුණාටුවෙන් පසු ප්‍රංශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය  සඳහා ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම  සුළි කුණාටුවෙන් පසු ඇති වූ තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇතිවූ අභියෝගද සාර්ථකව කළමනාකරණය කිරීමට වත්මන් රජයට හැකිවූ බව  ගරු කථානායකවරයා  වැඩි දුරටත් අදහස්  දක්වමින්  සඳහන් කළේය.ආර්ථික සබඳතා අවධාරණය කරමින් ගරු කථානායකවරයා සඳහන් කළේ ප්‍රංශය, ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන සංචාරක මූලාශ්‍ර වෙළඳපොළක් ලෙස පවතින බවයි.  ශ්‍රී ලංකාවේ සාමකාමී පරිසරයද ඉස්මතු කරමින් ගරු කථානායකවරයා, දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සංචාරක හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, සංචාරකයින්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව සහතික කරන අතර, තාක්ෂණය මත පදනම් වූ විසඳුම් හා ශක්තිමත් පැමිණිලි අධීක්ෂණ  පද්ධති හරහා සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එසේම, දෙරට අතර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සදහා  ප්‍රංශ ගුවන් සේවය සමඟ ඇති  සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම GSP+ පහසුකම හරහා මෙරටට ලබාදෙන සහයෝගයට  ගරු කථානායකවරයා,  සිය  කෘතඥතාව පළ කළේය. එසේම, වැඩිදියුණු කළ සහයෝගිතාව හා තිරසාර වෙළඳ අවස්ථා හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවද ඔහු ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍ර සංගමය හරහා පාර්ලිමේන්තු සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද  ගරු කථානායකවරයා  මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම, දෙරටටම වර්ධනය වන වැදගත්කමක් ඇති ක්ෂේත්‍ර වන  සමුද්‍රීය ආරක්ෂාව සහ නිල් ආර්ථිකය (blue economy) වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.මෙහිදී අදහස් දැක්වූ සෙනෙට් සභික  වැනීනා පෙයෝලි-ගැගින් මහත්මිය, ශ්‍රී ලංකාව විසින් ලබාදුන් උණුසුම් පිළිගැනීමට සහ ආගන්තුක සත්කාරයට සිය කෘතඥතාවය පළ කළ අතර, ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රංශ නිරන්තරයෙන්  කැපවීම සිටින බව අවධාරණය කළාය. මෙහිදී නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට නියමිත සිය ක්‍රියාකාරකම් පිළිබඳවද  කරුණු පැහැදිලි කළහ .ඒ අනුව මෙරට  ජල පිරිපහදු ව්‍යාපෘති, විශ්වවිද්‍යාල සහයෝගිතා සහ රෙදිපිළි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල මුලපිරීම් සඳහා සහය දැක්වීමටද කැමැත්ත පළ කළ ඔවුහු, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමේ   අපේක්ෂාව පිළිබඳ  පැහැදිළි  කළහ.මෙම නියෝජිත පිරිස , ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟද සාකච්ඡා පැවැත්වූහ. එම හමුව ශ්‍රී ලංකා  - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව  සංගමයේ සභාපති, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි . මෙහිදී, ආර්ථික සම්බන්ධතා, තිරසාර සංවර්ධනය, දේශගුණික ක්‍රියාමාර්ග සහ සමාජ ප්‍රතිපත්ති ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගිතාව සඳහා නව අවස්ථා පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ප්‍රංශයේ සංචාරයක නිරතවීම සඳහා ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට කළ ආරාධනයට ගරු අමාත්‍ය පෝල්රාජ් මහත්මිය සිය කෘතඥතාව පළ කළාය. එමෙන්ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, ළමා ආරක්ෂාව  ඇතුළත් සමාජ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමේදී දෙරට අතර සහයෝගිතාවේ වැදගත්කම  ගරු  අමාත්‍යවරිය  ඉස්මතු කළාය. තවද, වෙළඳාම, ආයෝජන, අධ්‍යාපනය, සමුද්‍රීය සහයෝගිතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රංශය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව  බලාපොරොත්තු වන බවත් ඇය  පැවසුවාය. එසේම, ද්විපාර්ශ්වික හා ගෝලීය මට්ටමින් මෙම හවුල්කාරිත්වයට විශාල ඉදිරි ගමනක් ඇති බවද ඇය අවධාරණය කළාය.මෙම හමුවට ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, ලාල් ප්‍රේමනාත්, තනුර දිසානායක සහ ධර්මප්‍රිය දිසානායක යන මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.මෙම සාකච්ඡාවලින් අනතුරුව නියෝජිත කණ්ඩායම, ගරු කථානායකවරයා සහ ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර, ඉන්පසු පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ  චාරිකාවකට  ද  එක්විය.මෙම රැස්වීම් සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති   රෙමි ලැම්බර්ට් මහතා ඇතුළු  නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


2026-04-14

ගරු කථානායකතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය

සොබාදහමේ වසන්ත උදානයත්, සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයට අනුව සූර්යා මීන රාශියෙන් මේශ රාශියට පැමිණීමත් සනිටුහන් කරමින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනට යෙදී තිබේ. එමනිසා ප්‍රථමයෙන්ම දේශීය ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම ගතින් මව්බිමෙන් දුරස් වුවත් මේ මොහොතේ හෘදයාංගමව මව්බිම සමග බැ‍ඳෙන විදේශයන්හී වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවටත් සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය හුදෙක් නව වසරක උදාවක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමයක් අනාගත පරපුරට පවරමින් මහත් උද්‍යෝගයෙන් යුතුව සමරන්නා වූ ජාතික උත්සවයකි. ඒ වගේම නව වසරක උදාවත් සමඟ සාමය, සතුට, සෞභාග්‍ය වගේම එක් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් එකට එක්ව, එක් වේලාවකින් තම දෛනික වැඩ ඇරඹීමත් මගින් ජාතියක් ලෙස අපගේ එකමුතුකම ලොව හමුවේ පිළිඹිබු කරයි. අලුත් අවුරුද්දේ සැබෑ සංකේතයන් වන්නේ ද පැරණි අමනාපකම් වාද-බේද දුරැර, නව අරමුණුවලින් සන්නද්ධව සහයෝගීත්වය-සහෝදරත්වය වර්ධනය කරගෙන නව වසරේ දී තම ජිවිතවලට නව ආරම්භයක් ගැනීමයි.ආර්ථීක වශයෙන් රටේ පැවති අර්බුදකාරි අභාග්‍යමත් සමයෙන් ටිකෙන් ටික මිදෙන මොහොතක් මේ වන විට අප පසුකරමින් සිටියි. ඒත් සමග ගෙවුනු වසරේ දී රටක් වශයෙන් “දිත්වා” වැනි විශාල ස්වභාවික විපතකට අභියෝගාත්මකව මුහුණ දීමට ද සිදු විය. නමුත් ඉන් නොවැටී ඉතා ඉක්මනින්ම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස යළි නැගී සිටීමට අපට හැකි විය. එම ධෛර්‍යසම්පන්න ශක්තිය මේ මොහොතේ අත්දකිමින් ඉන්නා වූ මැද පෙරදිග යුධමය අභියෝගයට මුහුණ දීමට ද අපට උපකාරී වනු ඇත. ඒ නිසා මේ වසරේ උදා වූ අලුත් අවුරුද්ද, සහයෝගීත්වය, එකමුතුකම වැනි අලුත් අවුරුද්දේ සැබෑ අර්ථයන් ප්‍රායෝගික කරන්නා වූ වසරක් බවට මම විශ්වාස කරමි. එනයින් පැමිණෙන සියලු බාධක අභියෝගයන් නොබියව ජයග්‍රහණය කරගනිමින් සෞභාග්‍යමත් අනාගතයක් සහිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් අත්වැල් බැඳගනිමු’යි යන්න ඔබට ආරාධනා කරමි. අප සැමගේ එම පොදු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අප ඉදිරියටත් ඔබ අප වෙත තැබූ විශ්වාසය රකිමින් ඒ වෙනුවෙන් කැපවෙන්නෙමු. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගරු කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව


2026-04-10

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වෙයි

ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (අප්‍රේල් 10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය.විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද (10) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 6.00ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 153 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 49 ක් පමණි. 


2026-04-10

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත්   කෙටුම්පත  සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  ඊයේ (අප්‍රේල් 09) සිය සහතිකය සටහන් කළේය.සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන)  පනත්  කෙටුම්පත  දෙවන වර කියවීමේ විවාදය 2026.04.07 දින  පැවති  අතර පනත් කෙටුම්පත  තෙවනවර  කියවීම සංශෝධන සහිතව සම්මත විය.සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කරමින් බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ව්‍යාපාර පිරිවැටුම්  සීමාව අඩු කිරීම සහ මෝටර් වාහන සම්බන්ධයෙන් අදාළ ඇතැම් නිදහස් කිරීම් සංශෝධනය කිරීමේ අපේක්ෂා කර ඇත.මෙම පනත මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ බදු පදනම පුළුල් කරමින්, වාර්ෂිකව පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු  කෙරේ. එමෙන්ම  සංශෝධිත සීමාවට අනුකූලව නව ලියාපදිංචි අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම  පිළිබඳ විධිවිධාන ද හඳුන්වා දෙන අතර මෝටර් වාහන සම්බන්ධ නිදහස් කිරීම් සංශෝධනය කර ඇත.ඒ අනුව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක10 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන)  පනත ලෙස බලාත්මක වේ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks