logo

E   |     |  

2026-04-23

පුවත් කාණ්ඩ : පුවත් 

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රංශ සෙනෙට් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ගරු කථානායකවරයා හමුවෙති

  • ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟත් සාකච්ඡා...



ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ, ප්‍රංශ - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයෙන් පැමිණි නියෝජිත පිරිසක් 2026.04.21 වැනිදා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. 

නියෝජිත පිරිසට  ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය වන සෙනෙට් සභික  වැනීනා පෙයෝලි-ගැගින්  (Vanina Paoli-Gagin) , කණ්ඩායමේ උප සභාපති ඩිඩියර් මාරී (Didier Marie), සෙනෙට් සභික  ලෝරන්ස් මුලර්-බ්‍රොන් (Laurence Muller-Bronn) සහ ජාත්‍යන්තර සබඳතා හා ප්‍රොටොකෝල් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ චාලට් ඩමාන් (Charlotte Dammane) යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. 

නියෝජිත පිරිස පිළිගනිමින් ගරු කථානායකවරයා, ගතවූ දශක හතක කාලය තුළ අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු වටිනාකම් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දිගුකාලීන  මිත්‍රත්වය සිහිපත් කළේය. අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම හා ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ (parliamentary diplomacy) වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මෙහිදී "දිට්වා" සුළි කුණාටුවෙන් පසු ප්‍රංශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය  සඳහා ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම  සුළි කුණාටුවෙන් පසු ඇති වූ තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇතිවූ අභියෝගද සාර්ථකව කළමනාකරණය කිරීමට වත්මන් රජයට හැකිවූ බව  ගරු කථානායකවරයා  වැඩි දුරටත් අදහස්  දක්වමින්  සඳහන් කළේය.

ආර්ථික සබඳතා අවධාරණය කරමින් ගරු කථානායකවරයා සඳහන් කළේ ප්‍රංශය, ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන සංචාරක මූලාශ්‍ර වෙළඳපොළක් ලෙස පවතින බවයි.  ශ්‍රී ලංකාවේ සාමකාමී පරිසරයද ඉස්මතු කරමින් ගරු කථානායකවරයා, දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සංචාරක හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, සංචාරකයින්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව සහතික කරන අතර, තාක්ෂණය මත පදනම් වූ විසඳුම් හා ශක්තිමත් පැමිණිලි අධීක්ෂණ  පද්ධති හරහා සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එසේම, දෙරට අතර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීම සදහා  ප්‍රංශ ගුවන් සේවය සමඟ ඇති  සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම GSP+ පහසුකම හරහා මෙරටට ලබාදෙන සහයෝගයට  ගරු කථානායකවරයා,  සිය  කෘතඥතාව පළ කළේය. එසේම, වැඩිදියුණු කළ සහයෝගිතාව හා තිරසාර වෙළඳ අවස්ථා හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍ර සංගමය හරහා පාර්ලිමේන්තු සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද  ගරු කථානායකවරයා  මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. එමෙන්ම, දෙරටටම වර්ධනය වන වැදගත්කමක් ඇති ක්ෂේත්‍ර වන  සමුද්‍රීය ආරක්ෂාව සහ නිල් ආර්ථිකය (blue economy) වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙහිදී අදහස් දැක්වූ සෙනෙට් සභික  වැනීනා පෙයෝලි-ගැගින් මහත්මිය, ශ්‍රී ලංකාව විසින් ලබාදුන් උණුසුම් පිළිගැනීමට සහ ආගන්තුක සත්කාරයට සිය කෘතඥතාවය පළ කළ අතර, ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රංශ නිරන්තරයෙන්  කැපවීම සිටින බව අවධාරණය කළාය. මෙහිදී නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට නියමිත සිය ක්‍රියාකාරකම් පිළිබඳවද  කරුණු පැහැදිලි කළහ .ඒ අනුව මෙරට  ජල පිරිපහදු ව්‍යාපෘති, විශ්වවිද්‍යාල සහයෝගිතා සහ රෙදිපිළි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල මුලපිරීම් සඳහා සහය දැක්වීමටද කැමැත්ත පළ කළ ඔවුහු, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමේ   අපේක්ෂාව පිළිබඳ  පැහැදිළි  කළහ.

මෙම නියෝජිත පිරිස , ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟද සාකච්ඡා පැවැත්වූහ. එම හමුව ශ්‍රී ලංකා  - ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව  සංගමයේ සභාපති, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි . මෙහිදී, ආර්ථික සම්බන්ධතා, තිරසාර සංවර්ධනය, දේශගුණික ක්‍රියාමාර්ග සහ සමාජ ප්‍රතිපත්ති ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගිතාව සඳහා නව අවස්ථා පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි. 

මෙහිදී ප්‍රංශයේ සංචාරයක නිරතවීම සඳහා ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට කළ ආරාධනයට ගරු අමාත්‍ය පෝල්රාජ් මහත්මිය සිය කෘතඥතාව පළ කළාය. එමෙන්ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, ළමා ආරක්ෂාව  ඇතුළත් සමාජ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමේදී දෙරට අතර සහයෝගිතාවේ වැදගත්කම  ගරු  අමාත්‍යවරිය  ඉස්මතු කළාය. 
තවද, වෙළඳාම, ආයෝජන, අධ්‍යාපනය, සමුද්‍රීය සහයෝගිතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රංශය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව  බලාපොරොත්තු වන බවත් ඇය  පැවසුවාය. එසේම, ද්විපාර්ශ්වික හා ගෝලීය මට්ටමින් මෙම හවුල්කාරිත්වයට විශාල ඉදිරි ගමනක් ඇති බවද ඇය අවධාරණය කළාය.

මෙම හමුවට ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, ලාල් ප්‍රේමනාත්, තනුර දිසානායක සහ ධර්මප්‍රිය දිසානායක යන මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.

මෙම සාකච්ඡාවලින් අනතුරුව නියෝජිත කණ්ඩායම, ගරු කථානායකවරයා සහ ශ්‍රී ලංකා–ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර, ඉන්පසු පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ  චාරිකාවකට  ද  එක්විය.

මෙම රැස්වීම් සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති   රෙමි ලැම්බර්ට් මහතා ඇතුළු  නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-08-28

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහනක් නවදිල්ලි නුවරදී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම  ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව  උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව  වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ  අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ.  මෙම වැඩසටහන සාර්ථක  කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම  මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.


2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks