logo

E   |     |  

2026-04-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට

  • 2017 පෙබරවාරි 22 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලේ
  • 2021 - 2023 වර්ෂයේ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනයට අදාළ කරුණු පිළිබඳව සලකා බැලේ



ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර මෙහිදී 2017 පෙබරවාරි 22 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විමසා බැලීම සිදු කෙරිණි. එසේම 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්ය සාධනය සලකා බැලීමද සිදු විය.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් 2026.04.07 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳ අවධානය යොමු වූ අතර 2025 දෙසැම්බර් 31 දින වන විට අවසන් නොවූ මූලික විමර්ශන ප්‍රමාණය 1538 පමණ වන බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදි.  මේවායෙන් මූල්‍ය වංචා 40 කට අදාළව රු. 69,999,317ක වටිනාකමැති විමර්ශන අවසන් කර නොතිබුණු බවත් මෙම විමර්ශන 2007 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාල පරාසයක් පැවති ඒවා බවත් මෙහිදී අනාවරණය විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත් මේ නිසා විමර්ශන ප්‍රමාදවී ඇති බවත්ය. එසේ ප්‍රමාද වුවද 2016 දෙසැම්බර් වන විට පැවති විමර්ශන සංඛ්‍යාව 2711 ක් බවත් මේ වන විට එය 1538 දක්වා අඩු වී ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පවතින බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව මේ සම්බන්ධව වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.

තවද තැපැල් මූලස්ථානයේ සහ දිසා ගිණුම් කාර්යාල 14ක සේවක පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා සවිකරන ලද ඇඟිලි සළකුණු යන්ත්‍රවල, කාර්යාලයෙන් පිටවීම 16.15 ලෙස සටහන්වී තිබුණද අදාළ සේවකයන්ගේ පිටවීම රාත්‍රී 7,8,9,10 යනාදී ලෙස ලේඛනයක ඇතුළත් කර තැපැල් මූලස්ථානයේ සේවකයන් 2023 වර්ෂයේ රු. 57919684 ක්ද, 2024 ජනවාරි සිට මැයි දක්වා රු. 7024144ක්ද, දිසා ගිණුම් කාර්යාල 14ක සේවකයින්ට 2024 ජනවාරි සිට ජුනි දක්වා රු. 373874705ක්ද සාවද්‍ය ලෙස අතිකාල දීමනා ගෙවා ඇති බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි. මෙහිදි නිලධාරීන් පෙන්වා දුන්නේ සේවක පුරප්පාඩු සංඛ්‍යාව 4000/5000 ක් පවතින බවත් මේ නිසා නිලධාරීන් අතිකාල ‍සේවයේ යෙදීමට සිදුව ඇති බවත්ය. ඒ නිසා මෙම ගෙවීම් සාවද්‍ය ගෙවීම් නොවන බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ අතිකාල ගෙවීම සඳහා වෙන් කරන මුදල්වලින් යම් සේවකයින් ප්‍රමාණයක් බඳවාගෙන වැටුප් ගෙවීම සිදු කළ හැකි බවයි. මේ නිසා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් පෙන්වා දෙන ලදි. තවද මේ සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

එසේම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් පාරිභෝගිකයන්ට අළෙවි කිරීම සඳහා 2015 වර්ෂයේදී ප්‍රකාශන පිටපත් 500ක් මුද්‍රණය කිරීම සඳහා රු. 2697300ක්ද, සිහිවටන පත්‍රිකා රඳවන සඳහා රු. 1092656ක්ද වියදම් කර තිබුණද 2025 නොවැම්බර් කරන ලද විගණන පරීක්ෂාවේදී මෙම ප්‍රකාශන අපේක්ෂිත පරිදි නිර්මාණය වී නොතිබීම හේතුවෙන් ‍අලෙවි නොකර මුද්දර කාර්යාංශයේ ගබඩා කර ඇති බව අනාවරණය විය. මේ අනුව මේ සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.

මීට අමතරව 2024 වර්ෂය අවසාන වන විට මියගිය, විශ්‍රාම ගිය, වැඩ තහනම් කළ, සේවය හැරගිය හා වෙනත් නිලධාරීන්ගෙන් අයවිය යුතු ණය ශේෂය රු. 61225431 ක් වූ අතර එයින් වර්ෂ 5කට වැඩි කාලයක සිට පැවත එන ණය ශේෂය රු.20679788 ක් බව මෙහිදී අනාවරණය විය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මුදල් අයකරගැනීමට උපරිමයෙන් උත්සාහ කරමින් පවතින බවයි. එසේම එන්තරවාසි 17ක් යැවීමට කටයුතු කර ඇති බවද නිලධාරීහු පැවසූහ. මේ අනුව කාරක සභාවට ලබාදෙන වාර්තාවේ මීට අදාළ අයකරගැනීම් සිදු කරන ආකාරයද ඇතුළත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

මාස 3ක් ඇතුළත ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නැවත කාරක සභාව හමුවට කැඳවීම සිදු කරන බව කාරක සභාව අවසන් කරමින් කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ,  දිනිඳු සමන් හෙන්නායක, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය) එම්. එල්. එ්. එම්. හිස්බුල්ලා, චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, (නීතීඥ) තුෂාරි ජයසිංහ, (නීතීඥ) සාගරිකා අතාවුද, රුවන් තිලක ජයකොඩි, ‍ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-08-18

අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ සභාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩල/ ආයතන තුනක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා උසස් නිලතල  පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය.ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ පත් කිරීම, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙස එස්.ඒ.එම්. පීරිස් මහතාගේ පත් කිරීම, සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිවරයා ලෙස එච්.එම්.පී. රත්නායක මහතා පත් කිරීම සහ  ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය ලෙස (ආචාර්ය)  ඩබ්ලිව්.එම්.වී. වනසිංහ මහත්මිය පත් කිරීම  කාරක සභාව විසින් අනුමත කරන ලදී.ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට, ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර ජයකොඩි සහ නීතිඥ දයාසිරි ජයසේකර යන මහත්වරු ද  සහභාගී වූහ.


2026-08-18

ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා “Voice to Policy” සංවාදයේදී සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන්ට

විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (අගෝ. 16) මීගමුව ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මෙහිදී ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කෙරෙන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ලෙස ගම්පහ දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්විණි. තරුණ ප්‍රජාවට සිය අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, වැඩමුළුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ සහභාගී වූහ.මෙම අවස්ථාව සඳහා විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල, එස්. එම්. මරික්කාර්, විශ්‍රාමික ලුතිනන් කමාණ්ඩර් එන්. ආර්. ප්‍රගීත් මධුරංග, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ප්‍රජාව විසින් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, දේශපාලන සහභාගීත්වය, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා පවතින අවස්ථා හා තොරතුරු වෙත ප්‍රවේශය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා සංසදය වෙත ඉදිරිපත් කරන ලදී.විශේෂයෙන් උසස් අධ්‍යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්‍යවසායකත්වය පුළුල් කිරීම ඇතුළු කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.තරුණ ප්‍රජාව විසින්ම සිය ප්‍රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර, පොදු කරුණු ලෙස වර්ගීකරණය කර ප්‍රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර තෝරා ගැනීමෙන් අනතුරුව ඒවා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සමඟ සෘජු සංවාදයක් පැවැත්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේය. වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය සිය අවධානය යොමු කළේය. එමෙන්ම, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ ඉදිරියේදී සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, වැඩසටහනේදී මතු වූ නිර්දේශ සහ යෝජනා ලේඛනගත කර විවෘත පාර්ලිමේන්තු සංසදය වෙත ඉදිරිපත් කිරීම සඳහා තරුණ වාර්තාකරුවන් (Youth Rapporteur) පත් කිරීම ද මෙහිදී සිදු විය.මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්‍රාහකත්වය සපයනු ලැබීය. 


2026-08-14

එල් නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් අවශ්‍යයි - ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරේ

එල් නිනෝ (El Niño) තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතික්‍රියාශීලී අර්බුද කළමනාකරණයෙන් ඔබ්බට ගොස් පූර්ව සූදානම් පාලන ක්‍රමවේදයක් (Anticipatory Crisis Governance) ස්ථාපිත කළ යුතු බව ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අවධාරණය කෙරිණි.ගරු විරුද්ධ පාර්ශ්වයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති මෙම රැස්වීමේදී දේශගුණික විපර්යාස, එල් නිනෝ තත්ත්වය, කෘෂිකර්මාන්තය, ජල කළමනාකරණය, වනජීවී සංරක්ෂණය, අලි-මිනිස් ගැටුම, ආපදා කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.රැස්වීමේ ප්‍රධාන විශේෂඥ කරුණු දැක්වීම සිදු කළ බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ වෙරළ සාගර විද්‍යාව පිළිබඳ වින්ත්‍රොප් මහාචාර්ය චරිත පට්ටිආරච්චී මහතා, දේශගුණික අවදානම් හමුවේ කල්තියා සූදානම් වීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ ආදර්ශය ද මෙහිදී සාකච්ඡා වූ අතර, 2019 වසරේ සුළි කුණාටුවකදී පැය 24ක් තුළ පුද්ගලයන් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ගෙන යෑමට එම ප්‍රාන්තයට හැකි වූ බව පෙන්වා දෙන ලදී.අලි-මිනිස් ගැටුම පිළිබඳ අනුකමිටුවේ සභාපති ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින්, දේශගුණික තත්ත්වයන් හමුවේ අලි-මිනිස් ගැටුම තීව්‍ර විය හැකි බැවින් ප්‍රජා මූලික විදුලි වැටවල්, කන්නයට අදාළ කුඹුරු වැටවල්, වනජීවී වාසස්ථාන සහ ජල කළමනාකරණය ඇතුළු කෙටි හා දිගුකාලීන ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.එල් නිනෝ ඔරොත්තු දීමේ ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ අන්තර්වාර වාර්තාව මගින් කෘෂිකර්මාන්තය, ජෛව විවිධත්වය, ජල සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම විශ්ලේෂණය කර ඇති අතර, විද්‍යාත්මක පදනමක් සහිත දේශගුණික විපර්යාසවලට ඔරොත්තුදීමේ හැකියාවක් පිළිබඳ  උපාය මාර්ගික රාමුවක් (Strategic Climate Resilience Framework) යෝජනා කර ඇත.වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය පියවීම, වනජීවී කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික උද්‍යාන ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම්, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරීම පිළිබඳව අවධානය යොමු විය. සංවේදී පූජනීය ප්‍රදේශවල පාරිසරික බලපෑම් අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය සඳහා Differential Pricing ක්‍රමවේදය හඳුන්වාදීම සහ උද්‍යාන යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති, ආයතනික සම්බන්ධීකරණය සහ කල්තියා සූදානම් වීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර ආයතන සහ සංවර්ධන හවුල්කරුවන්, පර්යේෂකයින්, තරුණ නියෝජිතයින්  සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  සහභාගී විය.


2026-08-13

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු (Security Stickers) ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී කිරීමේ අවශ්‍යතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධ කරුණු විමර්ශනයට ලක් කෙරිණි.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, විජේසිරි බස්නායක සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්වරුන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සහභාගී විය.මෙහිදී මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත සලකුණු ක්‍රමවේදයේ පිරිවැය, තාක්ෂණික ප්‍රමිතීන් සහ රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව කමිටුවේ දීර්ඝ අවධානය යොමු විය. 2016 අයවැය යෝජනා අනුව බදු නොගෙවන ලද මත්පැන් භාවිතය අවම කිරීම, සුරාබදු ආදායම තව දුරටත් සුරක්ෂිත කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීමේ අරමුණින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදයේ කොන්ත්‍රාත්තුව 2017 වසරේදී ඉන්දීය සමාගමක් වන Madras Security Printers (MSP) වෙත ලබා දී ඇති බව කමිටුව හමුවේ අනාවරණය විය.අධිවේගී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලීන්හි භෞතික ස්ටිකර් භාවිතයේ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් 2021 වසරේදී ඩිජිටල් (Inkjet) කේත මුද්‍රණයට අවසර ලබා දී ඇති අතර, මුද්‍රිත කඩදාසි ස්ටිකර් දහසක් සඳහා ගෙවන ඇමෙරිකානු ඩොලර් 5.99ක මුදලම ඩිජිටල් කේත මුද්‍රණය සඳහා ද ගෙවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය. බෝතල් කිරීමේ කම්හල්වල ස්ටිකර් මුද්‍රණ යන්ත්‍ර සඳහා වන මූලික යටිතල පහසුකම් පිරිවැය සැලකිල්ලට ගත යුතු වුව ද, සාමාන්‍යයෙන් ඩිජිටල් ස්ටිකරයකට, කඩදාසි ස්ටිකරයට වඩා අඩු පිරිවැයක් දැරීමට ඉඩ ඇත. මෙම පිරිවැය ක්‍රමවේදය සහ රජයට ලැබෙන ප්‍රතිලාභ නැවත සලකා බැලීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.එමෙන්ම, ආරක්ෂිත සලකුණු ක්‍රමවේදය සඳහා ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් ප්‍රමාණවත් ලෙස යොදා ගැනීම, මත්පැන් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදන ගලා යෑම නිරීක්ෂණය කිරීම සඳහා Track and Trace ක්‍රමවේදයක් හඳුන්වාදීම සහ ජංගම යෙදුමක් මගින් නිෂ්පාදන සත්‍යතාව තහවුරු කර ගැනීමේ පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය.නව ටෙන්ඩර් ක්‍රියාවලියේදී මිල සමඟ ගුණාත්මකභාවය, දත්ත ආරක්ෂාව සහ තාක්ෂණික ප්‍රමිතීන් සලකා බැලිය යුතු බවත්, ව්‍යාජ ස්ටිකර් සහ අනුකරණ වැළැක්වීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් ටෙන්ඩර් ඇගයීම් සඳහා සම්බන්ධ කරගත යුතු බවත් කමිටුව අවධාරණය කළේය.අනෙකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේද( global best practices) පිලිබඳ සොයා බලා වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ   යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවට  දැනුම් දෙන ලදී.මේ අතර, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. 2026 ජූලි 10 දිනැති අංක 2496/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම රෙගුලාසි මගින් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වගකීම් සහගත වෙළෙඳාම සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූල නීතිමය රාමුවක් ශක්තිමත් කිරීම එහි අරමුණ වේ. අදාළ ගැසට් පත්‍රය, පනතේ 20 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. බලහත්කාරී ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන්, 2026 ජූලි 23 දින අවසන් කරන ලද එක්සත් ජනපදයේ '301 වගන්තිය' (Section 301) යටතේ ක්‍රියාත්මක බලහත්කාරී ශ්‍රමය ආශ්‍රිත තීරුබදු පියවරවලදී, ශ්‍රී ලංකාවට මුලින් නියමිතව තිබූ 12.5%ක මට්ටම වෙනුවට පහළම, වඩාත් වාසිදායක 10%ක කාණ්ඩයට ඇතුළත් වීමට හැකි විය.තවද, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසනා අරමුදල විසුරුවා හැරීම සම්බන්ධයෙන් ද  අවධානය යොමු වූ අතර, 1998 අංක 12 දරන පනතින් ස්ථාපිත කර 2019 අංක 15 දරන පනතින් සංශෝධනය කරන ලද එම අරමුදල, වර්තමාන සන්ධර්භයට නොගැළපීම, දුර්වල කාර්යසාධනය සහ වත්කම් ඌණ උපයෝජනය හේතුවෙන් මෙම අරමුදල විසුරුවා හැරීමට  තීරණය කර ඇති බව සඳහන් විය. අරමුදල වසා දැමීමෙන් පසුව එමගින් ලබාදුන් අත්‍යවශ්‍ය සේවාවන් කම්කරු අමාත්‍යාංශය හරහා අඛණ්ඩව පවත්වාගෙන යමින්, වෙනම ආයතනික ව්‍යුහයක් පවත්වාගෙන යාමට වැයවන පිරිවැය ඉතිරි කර රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරන බව ද කමිටුව හමුවේ  නිලධාරීහු පැහැදිලි කළහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks