logo

E   |     |  

2026-03-30

පුවත් කාණ්ඩ : පුවත් 

චීනයේ පැවැති 2026 බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට ගරු කථානායකවරයා සහභාගී වෙයි

  • කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට බෝආඕ ආසියානු සංසදයේ සභාපති ගරු බන් කී මූන් මහතා ගරු කථානායකතුමා හමුවෙයි
  • සහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් කථානායකතුමා ප්‍රධාන සමුළුව අමතයි
  • ශ්‍රී ලංකා - චීන සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා 2026 මාර්තු 25 සිට 27 දක්වා චීන මහජන සමූහාණ්ඩුවේ හයිනාන් පළාතේ පැවැති බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට (Boao Forum for Asia Annual Conference 2026) සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත විය.

දූත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා මහතා ඇතුළත් විය.

2026 මාර්තු 25 දින, ගරු කථානායකතුමා බෝආඕ සංසදයේ සභාපති බන් කී මූන් මහතා සහ සංසදයේ මහලේකම් ෂැං ජුන් මහතා හමුවිය. එම රැස්වීමේදී බන් කී මූන් මහතා, ගෝලීය අස්ථිරතාව ඉහළ යමින් පවතින මෙවන් අවස්ථාවකදී ආසියාව තුළ සංවාදය හා සහයෝගීතාව සඳහා බෝආඕ සංසදයේ වැදගත්කම අවධාරණය කළේය. වර්තමාන අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් දේශපාලන නායකත්වය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ කලාපීය භූමිකාවද ඔහු ප්‍රශංසාවට ලක් කළේය. තවද එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස සේවය කළ කාලය තුළ ශ්‍රී ලංකාවේ කළ සංචාරය සිහිපත් කරමින්, යුධ ගැටුම්වලින් පසු කාලය තුළ රට ලබාගත් ප්‍රගතිය ද  බන් කී මූන් මහතාගේ ඇගයීමට ලක් විය.

ආසියානු කලාපය සහ ලෝකය මුහුණ දෙන සංකීර්ණ අභියෝගවලදී සංවාදය, සහයෝගීතාවය සහ ප්‍රතිපත්තිගරුක නායකත්වයේ වැදගත්කම ගරු කථානායකතුමා අවධාරණය කළේය. ඵලදායී සහභාගීත්වයක් සඳහා බෝආඕ සංසදයේ සහ එහි නිර්මාතෘවරුන්ගේ කාර්යභාරය ඇගයීමට ලක් කළ කථානායකවරයා, සාමය සහ බහුපාර්ශ්විකත්වය ඉදිරියට ගෙන යාමේදී ලබා දෙන ගෝලීය නායකත්වය වෙනුවෙන් ගරු බන් කී මූන් මහතාට ප්‍රශංසා කළේය. ශ්‍රී ලංකාවේ අත්දැකීම් සඳහන් කරමින්, ස්ථාවර හා සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමේදී සංහිඳියාව, සියලු දෙනාටම අවස්ථාව ලබාදීම සහ යහපාලනයේ වටිනාකම ඔහු අවධාරණය කළ අතර, දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළේය. දේශගුණික විපර්යාස සහ මානුෂීය අභියෝගවලට මුහුණ දීම සඳහා වැඩි දියුණු කළ ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය ද ගරු කථානායකතුමා පෙන්වාදුන් අතර, සාමකාමී සහ තිරසාර අනාගතයක් හැඩගැස්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග, අන්‍යෝන්‍ය ගෞරවය සහ වගකීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

2026 මාර්තු 26 වන දින, ගරු කථානායකතුමා "නව ප්‍රවණතා, නව අවස්ථා සහ නව සහයෝගිතා සමඟින් අනාගතය එක්ව හැඩගස්වමු" යන තේමාව යටතේ සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීය. භූ දේශපාලනික තත්ත්වයන්, ආර්ථික අවිනිශ්චිතතාව, දේශගුණික විපර්යාස සහ කෘතිම බුද්ධිය වැනි නැගී එන තාක්ෂණයන්හි වේගවත් දියුණුව ඇතුළු ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී බහුපාර්ශ්විකත්වය සහයෝගීතාවය සහ සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම ඔහු සිය දේශනයේදී ඉස්මතු කළේය.

සියලු දෙනා ඇතුළත් සංවාදය, තාක්ෂණයේ සදාචාරාත්මක පාලනය, වේගවත් දේශගුණික ක්‍රියාමාර්ග සහ තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍යතාවය ගරු කථානායකවරයා අවධාරණය කළේය. හවුල්කාරිත්වය, නවෝත්පාදනය සහ බෙදාගත් වගකීම තුළින් නායකත්වය දීමට ගෝලීය වර්ධනයේ මධ්‍යස්ථානයක් ලෙස ආසියාවට සැලකිය යුතු විභවයක් ඇති බව ඔහු සඳහන් කළේය.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ පිළිබඳ සඳහන් කරමින්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ශක්තිමත් පාලනයක් ඇති කිරීම සහ  සියලු දෙනාට අවස්ථා හිමිවන ඩිජිටල් සහ ආයෝජන-හිතකාමී ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා දරන උත්සාහයන් පෙන්වා දුන්නේය. පුනර්ජනනීය බලශක්තිය, සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් සේවා, සැපයුම් සහ උසස් නිෂ්පාදන ඇතුළු ප්‍රධාන අංශවල ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු කලාපීය හවුල්කරුවන්ට ආරාධනා කළේය.

චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ගරු ෂාඕ ලෙජි මහතා ප්‍රධාන සැසිවාරයට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වීය. සිංගප්පූරුවේ අගමැති ගරු ලෝරන්ස් වොන්ග්; අසර්බයිජාන් ජාතික සභාවේ කථානායක ගරු සහිබා ගෆරෝවා සහ කසකස්තානයේ පළමු නියෝජ්‍ය අගමැති ගරු රෝමන් ස්ක්ලියාර් යන මහත්ම මහත්මීහු ද මෙම සමුළුවට එක්ව සිටියහ.

මෙම සමුළුවට සමගාමීව, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ගරු ෂාඕ ලෙජි මහතා සමඟ ගරු කථානායකතුමා ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්විණි. කථානායකවරයා ලෙස සිය පළමු චීන නිල සංචාරය මෙය බව සඳහන් කළ කථානායකවරයා, එය දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර  සේද මාවත ඔස්සේ වෙළඳ හා සංස්කෘතික හුවමාරු හරහා වසර 2,000 කට වැඩි කාලයක් පුරා දීර්ඝ කාලීන සබඳතා පවතින බව ගරු කථානායකවරයා සිහිපත් කළේය. නිරතුරුව චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය මෙන්ම විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ලබාදුන් සහය පිළිබඳව ඔහු සිය  කෘතඥතාව මෙහිදී පළ කළේය.

දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු වර්ධනයක් ඇති බව ගරු කථානායකතුමා පෙන්වාදුන් කළ අතර, චීන සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, එමඟින් චීනය ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රටවල් පහෙන් එකක් බවට පත්ව ඇති බවත් සඳහන් කළේය. චීන ජාතිකයින් සඳහා වීසා රහිත විධිවිධාන හඳුන්වාදීම මෙම ඉහළ යාමේ ප්‍රවණතාවයට ධනාත්මක ලෙස දායක වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය. චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ගරු ෂාඕ ලෙජි මහතා ප්‍රකාශ කළේ, ද්විපාර්ශ්වික හුවමාරු තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලාංකික ජාතිකයින් සඳහා ද වීසා රහිත විධිවිධාන හඳුන්වා දීම සඳහා පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි..

2001 දී පිහිටුවන ලද  බෝආඕ ආසියානු සංසදය, ආසියාව පුරා සහ ඉන් ඔබ්බට රජයන්, ව්‍යාපාර සහ ශාස්ත්‍රාලිකයන් අතර සංවාද සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් සපයන රාජ්‍ය නොවන සහ ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයකි. කලාපීය ආර්ථික සහයෝගීතාව, සියලු දෙනාට අවස්ථා හිමිවන ගෝලීයකරණය සහ බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන මෙම සංසදයේ 25 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. 

බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුව ප්‍රධාන කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ  සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය  සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත විශේෂඥයින් සහ විද්වතුන් එක්රැස් කරන ප්‍රමුඛ වේදිකාවක් ලෙස පිළිගැනේ.




සම්බන්ධිත පුවත්

2026-08-28

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහනක් නවදිල්ලි නුවරදී

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම  ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව  උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව  වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ  අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ.  මෙම වැඩසටහන සාර්ථක  කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම  මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.


2026-08-21

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමතයි

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.


2026-08-21

ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කෙරේ

•    ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවක‍ට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ  වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද  සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.


2026-08-20

වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ.   අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව  කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks