logo

01

E   |     |  

2026-03-24

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආබාධිතභාවය හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් පමණක් නොව සමාජීය සහ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයකින්ද බැලිය යුතුයි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) හංසක විජේමුණි මහතා

ආබාධිතභාවය යන්න හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක කෝණයකින් පමණක් නොව සමාජීය සහ මානව හිමිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයකින්ද බැලිය යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ  2026 මාර්තු 20දා ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) ජාතික අපස්මාර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති ආබාධ සහිත තැනැත්තන් සඳහා වන සේවා සැපයීම පිළිබඳ සංවේදීකරණ වැඩසටහනට එක් වෙමිනි. 

ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව යම් ප්‍රගතියක් ලබා තිබුණද, ආබාධ සහිත තැනැත්තන් සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී තවමත් භෞතික, සන්නිවේදන මෙන්ම ආකල්පමය දුෂකරතා රැසකට මුහුණ දෙන බව හෙතෙම පැවසීය. සමාජයීය බාධක හඳුනාගැනීම, සංවේදීතාවය ඉහළ නැංවීම සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට රජය කැපවී සිටින බව ප්‍රකාශ කළ ඒ මහතා, සෞඛ්‍ය තොරතුරු ආබාධ සහිත තැනැත්තන් සඳහ‍ා බහුවිධ ආකෘතිවලින් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික වෛද්‍ය දැක්මෙන් ඔබ්බට ගොස් සමානාත්මතාවය සහ ගෞරවය මත පදනම් වූ සේවාවක් සැපයීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විධිමත් ලෙස සංවේදී කිරීමේ වැදගත්කම ඒ මහතා අවධාරණය කළේය. මෙම සියලු කටයුතු සම්බන්ධයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් ලබා දෙන දායකත්වය ප්‍රශංසනීය බව ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වැඩසටහන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශ මූලික කරගනිමින් පවත්වනු ලබන සංවේදීකරණ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි. සෞඛ්‍ය අංශයේ සේවා සැපයීමේදී ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය කරගැනීම පිළිබඳව එම නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් පැවති මෙම වැඩමුළුව ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන පදනමේ (IFES) අනුග්‍රහයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධාන කරන ලදි.  

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා, අදහස් දක්වමින් ආබාධ සහිත තැනැත්තන්ට “නිර්බාධිත සමාජ ජීවිතයක්” උරුම කර දීම සඳහා ගත් එක් පියවරක් ලෙස මෙම සංවේදීකරණ වැඩසටහන් මාලාව හඳුන්වා දුන්නේය.  පවතින නිදහස් සෞඛ්‍ය සේවය ඇගයීමට ලක් කළ ඒ මහතා මෙරට වෙසෙන ලක්ෂ 16කට අධික වූ ආබාධ සහිත තැනැත්තන්ට සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී භෞතිකමය හා ආකල්පමය බාධක පවතින බවද සඳහන් කළේය. සෞඛ්‍යය සේවා සඳහා ප්‍රවේශ වීමට ඇති  අයිතිය යනු ජීවත්වීම සඳහා ඇති මූලික අයිතියක් බව හෙතෙම අවධාරණය කළේය. අනාගත සෞඛ්‍ය වෘත්තිකයන් සිය පුහුණු කාලසීමාවේ සිටම මේ පිළිබඳව සංවේදී කිරීම තහවුරු කිරීම සඳහා වෛද්‍ය හා හෙද විද්‍යාලවල විෂය මාලාවට ආබාධිතභාවය පිළිබඳ නව දැක්මක් සහ විශේෂිත මොඩියුලයක් ඇතුළත් කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් මහතා යෝජනා කළේය. 
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම-සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති අශෝක වීරවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චමරි වීරරත්න,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිශානි උබේසේකර මෙන්ම වැඩසටහනට සහභාගි වූ ආබාධිත ප්‍රජාවේ නියෝජිතයන්ද සිය අදහස් පළ කළහ.

එහිදී රෝහල් කවුන්ටරවල සංඥා භාෂා පරිවර්තකයන් නොමැති වීම, රෝහල්වල උසින් වැඩි කවුන්ටර සහ ශල්‍ය ඇඳන් නිසා ආබාධිත ප්‍රජාව මුහුණ දෙන අපහසුතා, කොමඩ් පුටු සහිත වැසිකිළි නොමැති වීම සහ ආබාධිත තැනැත්තන් සඳහා ඇති වැසිකිළිවල පවතින 'සැලූන් දොරවල්' නිසා පෞද්ගලිකත්වයට හානිවීම ආදී කරුණු ඉදිරිපත් කෙරිණි. එමෙන්ම පෝලිම්වල රැඳී සිටීමට අපහසු බුද්ධිමය ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන හැඳුනුම්පත් අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය විය.  

එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ රෝහල්වල බෑවුම් (Ramps)සහිත ප්‍රවේශ්‍යතා පහසුකම්, ආබාධිත වැසිකිළි සහ විශේෂිත ඖෂධ කවුන්ටර ඉදිකිරීමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි.  මූලික රෝහල් සඳහා මූලික සංඥා භාෂාව පිළිබඳ පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත පර්යේෂණාත්මක 'සහය මධ්‍යස්ථාන' (Support Centers) සැලසුම් කර ඇති බවද එහිදී අනාවරණය විය.

යෝජිත සහාය මධ්‍යස්ථානවල සේවය සඳහා ආබාධ සහිත තැනැත්තන්ම අනුයුක්ත කළ යුතු බවත්, එමගින් එම සේවාවන් අත්දැකීම් මත පදනම්ව වඩාත් ඵලදායී ලෙස ලබාදිය හැකි බවත් වැඩසටහන අවසානයේදී යෝජනා විය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සංවේදීකරණය සහ යටිතල පහසුකම් ප්‍රමිතිගත කිරීම පිළිබඳ ප්‍රායෝගික නිර්දේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට මෙහිදී එකඟතාවය පළ විය.

මෙම වැඩසටහන සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නිලධාරීන්, මැතිවරණ ක්‍රමවේදයන් සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) වැඩසටහන් නිලධාරිනී අනෝජිතා සිවාස්කරන් මෙනවිය ඇතුළු එම ආයතනයේ නිලධාරීන් සහ අබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආයතන හා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
 



සම්බන්ධිත පුවත්

2026-07-31

2027 වන විට පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු හඳුනාගත් ආයතන කිහිපයක් ඒකාබද්ධ කර හස්ත කර්මාන්ත අධිකාරියක් පිහිටුවීමට සැළසුම්

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය (National Design Centre) සහ ලක්සල ඒකාබද්ධ කර 2027 වන විට “ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.මෙම හරහා සාම්ප්‍රදායික පේෂ කර්මාන්තය නවීන Fashion, Design සහ තාක්ෂණික ක්ෂේත්‍ර සමඟ ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් තරඟකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.2021–2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපතිගේ ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව සහ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පදනම් කරගනිමින් එහි ප්‍රගතිය, අභියෝග සහ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ එම රැස්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.පේෂකර්ම ක්ෂේත්‍රය සංස්කෘතික උරුමයක් ලෙස පමණක් නොව, නවීන නිර්මාණකරණය, තාක්ෂණය සහ වෙළඳපොළ අවශ්‍යතා සමඟ සම්බන්ධ වූ ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.එමෙන්ම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) හරහා උසස් අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු අවස්ථා පුළුල් කරමින් තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ.දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය, අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන්ගේ පුරප්පාඩු, පළාත් මට්ටමින් පේෂකර්ම උපදේශකවරුන් බඳවා ගැනීම නතර වී තිබීම සහ ඒ හේතුවෙන් පුහුණු වැඩසටහන්වලට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.2021 සිට 2025 දක්වා කාලය තුළ පුහුණු පාඨමාලා සඳහා සිසුන් 720 දෙනෙකු ඇතුළත් වී ඇති අතර, ඉන් 456 දෙනෙකු පමණක් පාඨමාලා සාර්ථකව අවසන් කර ඇති බව අනාවරණය විය. ඒ අනුව පාඨමාලා අතරමග හැරයාමේ ප්‍රතිශතය 40% ඉක්මවා ඇති බවත්, ඇතැම් අවස්ථාවල එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 11 දක්වා මුදලක් වැය කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය.තවද, කොවිඩ් සමයේ මිලදී ගත් පේෂකර්ම යන්ත්‍ර භාවිතයට නොගෙන පැවතීම, කටුබැද්ද පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ප්‍රමාණවත් ලෙස උපයෝගී කර නොගැනීම සහ දෙපාර්තමේන්තුව සතු සංචාරක නිවාස ආදායම් උත්පාදන කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස යොදා නොගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලිනි.කාරක සභාව අවධාරණය කළේ පේෂ කර්මාන්තය සංස්කෘතික උරුමය ආරක්ෂා කරගනිමින් නවීන තාක්ෂණය, නිර්මාණකරණය සහ ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ බද්ධ වූ තරඟකාරී කර්මාන්තයක් බවට පත් කළ යුතු බවයි. ඒ සඳහා රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව භාවිත කරමින් යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නියමිත කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, රුවන්තිලක ජයකොඩි, ලාල් ප්‍රේමනාත්, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී.කේ. ජයසුන්දර, අජන්ත ගම්මැද්දෙගේ, චන්දන සූරියආරච්චි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2026-07-31

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කළ මෙරට සුරැකුම් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සංවාදය කථානායකවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ (WFD) තාක්ෂණික සහයෙන් සංවිධානය කළ "සුරැකුම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය: ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව" (Financing the Care Economy: The Role of Parliament) යන තේමාව යටතේ පාර්ලිමේන්තු සංවාදයක් පසුගියදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස පිළිගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙරට සුරැකුම් ආර්ථිකයක් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර, මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් සිය අමාත්‍යාංශය අදාළ සියලු ආයතන සමග කටයුතු කරමින් සිටින බව සඳහන් කළාය.වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, තිරසාර ජාතික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා සුරැකුම් ආර්ථිකය නිවැරදිව හඳුනාගෙන එය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සමාජීය ඇතුළත්භාවය සහ සාධාරණ ආර්ථික සංවර්ධන අවස්ථා ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රතිපත්ති සඳහා ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලීන් තුළින් සහාය ලබාදීම පාර්ලිමේන්තුවේ වගකීමක් බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.වැඩසටහනේ මුඛ්‍ය දේශනය සිදු කළ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ළමා රැකවරණය, වැඩිහිටි රැකවරණය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන සහාය සුරක්ෂිත කිරීම ඇතුළු සමාජ රැකවරණ සේවා සඳහා ආයෝජනය කිරීම සමාජ වගකීමක් පමණක් නොව, ශ්‍රම බලකායේ සහභාගීත්වය පුළුල් කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන උපායමාර්ගික ආයෝජනයක් බව පෙන්වා දුන්නාය.මෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී අයවැයකරණය තුළින් ආර්ථික වර්ධනයට බාධා වන සාධක අවම කරමින්, සමාජ රැකවරණය සඳහා වන ආයෝජන අනාගත ජාතික අයවැය තුළ වඩාත් ඵලදායී ලෙස පිළිබිඹු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ (CEPA) ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ගයාත්‍රී ලොකුගේ මහත්මිය විසින් වැඩසටහනේ තාක්ෂණික සැසි මෙහෙයවන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ සමාජ රැකවරණ ප්‍රතිපත්ති සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී අයවැයකරණය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.එසේම, එක්සත් රාජධානියේ කාන්තා ජාතික කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා සහ Women's Budget Group හි සභාපතිනි ජැනට් වීච් OBE (Janet Veitch OBE) මහත්මිය "Invest in Women, Grow the Economy" මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරමින්, සුරැකුම් ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම තුළින් කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, ආර්ථික වර්ධනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී අයවැයකරණය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් බෙදාහදා ගත්තාය.දේශීය ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනවල නියෝජිතයින් විසින් ද සමාජ රැකවරණය ශක්තිමත් කිරීම සඳහා ඉදිරි අයවැය වෙන්කිරීම් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළ අතර, කාල භාවිත සමීක්ෂණ, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහාය වීමේ ක්‍රමවේද, වැඩිහිටි රැකවරණ සේවා පුළුල් කිරීම සහ පාසල් අවසන් වීමෙන් පසු ළමුන් සඳහා රැකවරණ වැඩසටහන් සම්බන්ධ යෝජනා ද ඒ අතර විය.අනාගත ජාතික අයවැය තුළින් සුරැකුම් ආර්ථිකය සඳහා වන ආයෝජන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සහ සම්පත් අවශ්‍යතා පිළිබඳ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. ‍ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුකූලව සැකසුනු ජාතික සමාජ ආරක්ෂණ උපාය මාර්ගයේ සමාජ රැකවරණය සදහා වන දෙවන ප්‍රධාන ස්ථම්භය පදනම් කොටගෙන, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය විසින් සම සභාපතිත්වය දරන ජාතික සමාජ රැකවරණ ක්‍රියාකාරී කණ්ඩායම විසින් ගොඩනැගුනු රැකවරණ ආර්ථිකය පිලිබද දස අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම නොබෝදිනකින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය වෙත ඉදිරිපත් වීමට කටයුතු සැලසෙමින් පවතින බවත්, ඉහත සියලුම කරුණු ඒ තුළින් ආවරණය වන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජනය කර පැමිණ සිටි නිලධාරිනිය එහිදී සඳහන් කළාය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තාක්ෂණික සහය සහිතව, පුළුල් පාර්ශවකරුවන්ගේ උපදේශන මත මෙම ක්‍රියාවලිය සිදුවන බවද ඇය සඳහන් කළාය.මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ (WFD) මෙරට අධ්‍යක්ෂ සන්ජේ විග්නරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජ්‍ය නිලධාරීන්, පර්යේෂකයින් සහ සංවර්ධන හවුල්කරුවන් එක්විය.


2026-07-30

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රගතිය සහ අභියෝග පිළිබඳ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් මෙහෙයුම් ප්‍රගතිය, සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි ගමන, 2026 වර්ෂයට අදාළ මූල්‍ය කාර්යසාධනය, මීට පෙර කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ 2024 වාර්ෂික වාර්තාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.ඒ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.එහිදී පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වාර්තා කර ඇති මූල්‍ය ප්‍රගතිය සහ ලාභදායීත්වය සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර, එම ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.විශේෂයෙන්ම කොළඹ වරාය මුහුණ දී සිටින කලාපීය සහ දේශීය තරඟකාරීත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. ඉන්දියාවේ විසිංජම් (Vizhinjam) වරායේ වර්ධනය, ලෝකයේ ප්‍රධානතම නැව් සමාගමක් වන MSC (Mediterranean Shipping Company) ආයතනය එම වරාය වෙත ආයෝජනය කිරීම සහ හම්බන්තොට වරායේ ධාරිතාව ඉහළ නැංවීමේ සැලසුම් හේතුවෙන් කොළඹ වරායට එල්ල වී ඇති තරඟකාරී බලපෑම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී.එසේම, කොළඹ වරායේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ඒවා ප්‍රමාද වීමට හේතු වූ කරුණු, ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලියේ ඇති වූ ගැටලු මෙන්ම එම ප්‍රමාදයන් හේතුවෙන් රජයට සිදුව ඇති මූල්‍ය බලපෑම් පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.මෙහිදී ප්‍රමාදයන්ට හේතු වූ කරුණු සම්බන්ධයෙන් නිසි විගණනයක් සිදුකර වගකිවයුතු පාර්ශ්ව හඳුනාගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළ අතර, අනාගතයේ මෙවැනි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කාර්යක්ෂම ප්‍රසම්පාදන හා ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.හම්බන්තොට, ගාල්ල සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රාදේශීය වරායන් සංවර්ධනය කිරීම, ඒ ආශ්‍රිත යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ දේශීය ඉදිකිරීම් සමාගම්, උපදේශකයන් සහ තාක්ෂණික වෘත්තිකයන්ගේ දායකත්වය වැඩිදියුණු කරමින් දේශීය ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.අවසානයේදී, වරාය අධිකාරියේ ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම, ආයතනික වගවීම හා විනිවිදභාවය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතනයක් ලෙස එහි කාර්යක්ෂමතාව හා ලාභදායීත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කාරක සභාව අවධාරණය කළේය.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, මංජුල සුරවීර ආර්ච්චි, චතුර ගලප්පත්ති, රවීන්ද්‍ර බණ්ඩාර, ධනුෂ්ක රංගනාත් සහ ශාන්ත පද්ම කුමාර යන මහත්වරු සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ අදාළ නිලධාරීහු සහභාගී වූහ.


2026-07-30

ඉදිකිරීම් අතරමඟ නැවතී ඇති නිවාසවල වැඩ නිම කිරීම සඳහා 2027 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය

පසුගිය කාලසීමාවන්හිදී සහ පසුගිය රජයන් යටතේ ආරම්භ කර, විවිධ හේතූන් මත අතරමග නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ගරු අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා විය.මෙම නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට 2027 වසරේ අයවැය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.පසුගිය කාලසීමාවන්හිදී ආරම්භ කරන ලද ඇතැම් නිවාස ව්‍යාපෘති සඳහා වෙන් කළ ණය සහ ආධාර මුදල් සම්පූර්ණයෙන් ලබා නොදීම හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නවතා දමා ඇති බවත්, එවැනි නිවාස ව්‍යාපෘති 5,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.ඒ අනුව, එම නිවාස ව්‍යාපෘති අතරින් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින නිවාස හඳුනාගෙන, ඒවා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.එම කමිටුව මේ වන විට සිය කටයුතු ආරම්භ කර ඇති අතර, අදාළ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින්, භාවිතයට ගත හැකි නිවාස හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ අනුව අතරමග නවතා ඇති නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම, අඩක් ඉදිකර ඇති නිවාස සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පවුල් සඳහා ලබන වසරේදී ආධාර ලබා දීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව පවුල් 2,000කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.මේ අතර, කාරක සභා රැස්වීමට සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ප්‍රදේශවල පවතින නිවාස හා ජල සම්පාදන ක්ෂේත්‍රවල ගැටලු කාරක සභාවේ අවධානයට යොමු කළහ.කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති ඇතුළු නිවාස ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද අමාත්‍යාංශය එකඟ විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks