logo

02

E   |     |  

2026-03-20

පුවත් කාණ්ඩ : පුවත් 

ක්ෂුද්‍ර මුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (මාර්තු 20) සිය සහතිකය සටහන් කළේය. 
 
ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත මගින් ශ්‍රී ලංකාව තුළ මුදල් ණයට දීමේ හා ක්ෂුද්‍රමුල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා වන ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා නව නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සළසනු ලැබේ. මෙම අධිකාරියේ අරමුණ වන්නේ බලපත්‍රලාභී මුදල් ණයට දෙන්නන් සහ බලපත්‍රලාභී ක්ෂුද්‍රමුල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීම , එම ආයතන හා සම්බන්ධ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සහ මහ බැංකුව සහ අනෙකුත් නියාමන අධිකාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමයි. එමෙන්ම මෙම පනත් කෙටුම්පත තුළින් 2016 අංක 6 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත පරිච්චින්න කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම ද සිදුවේ.

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2025 නොවැම්බර් මස 26 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 මාර්තු 4 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.  

ඒ අනුව ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2026 අංක 9 දරන ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ලෙස අද (20) සිට බලාත්මක වේ.
 



සම්බන්ධිත පුවත්

2026-07-08

ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා යළි ස්ථාපිත කෙරේ

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි ස්ථාපිත කිරීමේ රැස්වීම පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූලි 07) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.මෙහිදී ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, ගරු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා ලේකම්වරයා ලෙසත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සාමිවෙල් මෙනවිය භාණ්ඩාගාරිකවරිය ලෙසත් තේරී පත් වූහ.පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් යාන්ත්‍රණයක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමටත් වටිනා වේදිකාවක් බවත් රැස්වීම අමතමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.  එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතාව, අන්‍යෝන්‍ය ගෞරවය, මිත්‍රත්වය සහ සහයෝගීතාව මත ගොඩනැගී ඇති බව සඳහන් කළ ගරු කථානායකවරයා, මෙම මිත්‍රත්ව සංගමය දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි නව සහයෝගීතා අවස්ථා විවෘත කරනු ඇතැයි විශ්වාස කරන බව පැවසීය.මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා ද අදහස් දක්වමින් දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර දිගුකාලීනව පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද සඳහන් කළේය.    එසේම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති අතිගරු අඩෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා අතර කථානායකවරයාගේ නිල කාර්යාලයේදී සුහද හමුවක් ද පැවැත්වුණු අතර, එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගනු ලැබීය.මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.


2026-07-07

අභිනව නාවික හමුදාපතිවරයා කථානායකවරයා හමු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී  අද (ජූලි 07)  ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ මෙම සුහද හමුවේදී ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු ගැනිණි.මෙහිදී අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ ගරු කථානායකවරයා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළ අතර, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සිය සුබාශිංසන ද එක් කළේය.එහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, කථානායකවරයාගේ සුබපැතුම් සඳහා සිය කෘතඥතාව පළ කරමින්, ජාතික ආරක්ෂාව හා සමුද්‍රීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාවට පැවරී ඇති වගකීම් උපරිම කැපවීමෙන් ඉටු කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.ඉන්දියන් සාගර කලාපය තුළ පවතින භූ දේශපාලනික තත්ත්වයන් හමුවේ අනෙකුත් රටවල් සමඟ සමබර හා මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව වාණිජමය වශයෙන් බෝට්ටු නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ හරහා රටට ආදායම් උත්පාදනය කිරීම සහ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ත් සාකච්ඡා කෙරිණි.උතුරු ප්‍රදේශයේ දූපත් ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා රජය සමඟ  ශ්‍රී ලංකා නාවික හමුදාව සමීපව කටයුතු කරන  බව ද නාවික හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.


2026-07-06

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කරන ලද “තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්” පාර්ලිමේන්තු සංකීර්ණයේදී  නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන, “තැනැත්තන් වෙළඳාම” සහ "මිනිස් ජාවාරම" සම්බන්ධ නව ප්‍රවණතා, නීතිමය, සංවර්ධන සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීමත්, නීති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත් අරමුණු කර ගෙන පැවැත්විණි.මෙම වැඩසටහන නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂඥ සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ හරිප්‍රිය ජයසුන්දර මහත්මිය  සහ  රජයේ නීතිඥ සජිත් බණ්ඩාර  මහතා සම්පත් දායකත්වය ලබා දුන්හ.ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා  මහතා මෙහිදී අදහස් දක්වමින්, තැනැත්තන් වෙළඳාම කාලයත් සමඟ වෙනස් වෙමින්, සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ ජාල සමඟ සම්බන්ධ වෙමින් පවතින කියා සිටියේය.රැවටිලිකාර විදේශ රැකියා අවස්ථා, වංචනික බඳවා ගැනීම්, සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කරන බඳවා ගැනීම්, බලහත්කාරී ශ්‍රමය, ලිංගික සූරාකෑම් සහ ඇතැම් අවස්ථාවලදී බලහත්කාරී අපරාධ කටයුතු සඳහා යොදා ගැනීම වැනි තත්ත්වයන්, සංවිධානාත්මක ජාතික ප්‍රතික්‍රියාවන් අවශ්‍ය වන්නා වූ  ප්‍රධාන ගැටලු බවට පත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ 2026–2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එය තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, ගොදුරු වූවන් හඳුනාගෙන ආරක්ෂා කිරීම, අපරාධ නීතිමය ප්‍රතිචාර ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම යන ප්‍රධාන අංශ හතර මත පදනම් වේ.තැනැත්තන් වෙළඳාම සම්බන්ධ නව ප්‍රවණතා, විශේෂයෙන් තාක්ෂණය මත පදනම් වූ බඳවාගැනීම්, රැවටිලිකාර සංක්‍රමණ ක්‍රම, ශ්‍රම සූරාකෑම් සහ බලහත්කාරී අපරාධ කටයුතු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා  පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ  සභාපති සම්පත් තුයියකොන්තා, ආරක්ෂක අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්  සහ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධකබලකායේ ලේකම් (වැඩබලන) නීතිඥ ප්‍රියංගනී හේවාරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන) චින්තා බුලත්සිංහල, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) පී.එච්.  කුමාරසිංහ යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ හා පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


2026-07-03

ජූලි 07 සිට 10 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත ය.එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 25 සහ 26 දෙදින ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී තීරණය විය.අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති ජූලි 8 බදාදා හැර අන්  සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.ජූලි 07 අගහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා (188 අධිකාරිය වූ) පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ දූෂණ විරෝධි පනත යටතේ අංක 2482/03 සහ 2482/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත.ජූලි 08 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 සිට  පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 දක්වා ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, (235 අධිකාරිය වූ) රේගු ආඥා පනත යටතේ  අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය, (203 අධිකාරිය වූ ) මෝටර් වාහන පනත යටතේ අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති  නියෝග සහ  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2478/04 සහ 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව. 3.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව, විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලු පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.ජූලි 09 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ(සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයට අදාළ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ.ජූලි 10 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර මහතාඉන්ධන පිරිවුම්හල් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාදාමය නියාමනය කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමඋපුල් කිත්සිරි මහතාරත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ධාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීමආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් මහතා“ශ්‍රී ලංකා බයිතුල්මාල් අරමුදල” නමින් අරමුදලක් ආරම්භ කිරීමනීතීඥ හිරුනි විජේසිංහ මහත්මියපාසැල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තිය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුව ලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor) කිරීමරෝහිණි කුමාරි විජේරත්න මහත්මියවිදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන්” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීමරුවන්තිලක ජයකොඩි මහතාශ්‍රී ලංකාවේ පාසැල් පද්ධතිය තුළ පිහිටි ආපන ශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමරජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතායාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධන කිරීමඅනතුරුව ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks