E   |   த   |  

2026-03-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආබාධ සහිත තැනැත්තන් සඳහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශ දොළහක් සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සාකච්ඡා පවත්වයි

ආබාධ සහිත  තැනැත්තන්  සඳහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව  අමාත්‍යාංශ දොළහක්  සමග ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  සාකච්ඡා පවත්වන ලදී. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එකී සංසදය  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

ආබාධ සහිත පුද්ගලයින්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා අප්‍රේල් මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මාර්ග දෙකක පතුල පහත්  බස් රථ 10 ක් සේවයට යොදවන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු  ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  වෙත  දැන්වූහ.  තවද එවැනි බස් රථ, මාර්ග හයක ධාවනයට යෙදවීමට  අපේක්ෂා කරන අතර  ඒ සඳහා රෝද පුටු ප්‍රවේශය වැනි පහසුකම් සහිත බස් නැවතුම් පොළවල් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත්, එම  පහසුකම් ස්ථාපිත කිරීමෙන් අනතුරුව, මෙම සේවාව අනෙකුත් මාර්ගවලට ද ව්‍යාප්ත කළ හැකි බව  එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළහ.

මේ අතර  ආබාධ සහිත අඩු ආදායම්ලාභී දරුවන් පාසල් ගත කිරීම සහ ඔවුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීමේ විශේෂ වැඩසටහනක් සඳහා 2026 වර්ෂයේ අයවැයෙන් රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු  සඳහන් කළහ. 

තවද ආරක්ෂක අමාත්‍යාංශය  නියෝජනය කරමින් සහභාගී වූ රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන්  විසින් කරුණු දක්වමින්  වසර 30ක් පුරා පැවති යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ 23,192ක රණවිරුවන් පිරිසක් තම අධිකාරිය යටතේ රැකබලා ගන්නා බව පෙන්වා දෙන ලදී,එම රණවිරුවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා  2026 අයවැයෙන් රුපියල් මිලියන 864 ක ප්‍රතිපාදන වෙන්වී ඇති බවත් එම නිලධාරීහු වැඩි දුරටත් පැවසුහ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ 2026 වර්ෂය සඳහා වයස අවුරුදු 16-35 අතර ආබාධ සහිත තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණු කටයුතු සඳහා රුපියල් මිලියන 80 ක් ද  දෘෂ්‍යාබාධිත පුනරුත්තාපන භාර අරමුදල හරහා දෘෂ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව සහ සහයක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 17.4ක් වෙන් කර ඇති බව  එම අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

තවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු  අදහස් දක්වමින් , 2026 සිට 2035 දක්වා ක්‍රියාත්මක වන නව දස අවුරුදු සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලබන අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිත  බවත් මෙම ප්‍රතිපත්තිය තුළ "සාර්ව සෞඛ්‍ය ආවරණය" (Universal Health Coverage) යටතේ ආබාධ සහිත තැනැත්තන් ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (Vulnerable populations) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව  පැවසුහ.

කම්කරු  අමාත්‍යාංශය යටතේ  ක්‍රියාත්මක ආබාධ සහිත තැනැත්තන් රැකියාගත කිරීමේ  පුළුල් වැඩපිළිවෙළක් යටතේ  2022 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ ආබාධ සහිත තැනැත්තන් 750 දෙනෙකු රැකියාගත කිරීමට පියවර ගෙන ඇති බවත්, එම කටයුතු 2026 වර්ෂයේදී ද අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 5.75ක ප්‍රතිපාදන  2026 වසර සඳහා වෙන්කර  කර ඇති බවත් කම්කරු  අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දුන්හ.

එමෙන්ම නව ඩිජිටල් ආර්ථික පනත (Digital Economy Act) තුළ ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ (Inclusivity) විශේෂිත වගන්ති ඇතුළත් කර ඇති බවත් ,ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රවේශ විය හැකි සියලුම දත්ත සහ තොරතුරු ඇතුළත් වෙනම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙනුවෙන් කරුණු දක්වමින් එම අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

2026 වර්ෂය සඳහා රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'අස්වැසුම' සුබසාධන වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනා ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 19,000ක දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු සංසදය වෙත කරුණු දක්වමින් පැවසුහ. තවද ආබාධ සහිත තැනැත්තන්ගේ ප්‍රවේශවීමේ අයිතිය තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බවත් මෙම ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, අධිකරණ සහ පොලිස් ස්ථාන වැනි පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බවත් එම අමාත්‍යංශයේ නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්හ.  

තවද වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය , අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින්ද එම අමාත්‍යංශ හරහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ  සැලසුම් කල වැඩසටහන්  පිළිබඳව සංසදය දැනුවත් කරන ලදී. 

මෙම රැස්වීම සඳහා  සංසදයේ  නියෝජ්‍ය සම සභාපති ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්යලිංගම් මහතා,සංසදයේ  සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නීතිඥ සුසන්ත දොඩාවත්ත, පද්මසිරි බණ්ඩාර, චන්දිම හෙට්ටිආරච්චි, සුසන්ත කුමාර නවරත්න  යන  මත්වරුන් ඇතුළුව  රාජ්‍ය නිලධාරීහු පිරසක් සහභාගී වූහ. තවද   සංසදයේ සභාපති  සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ආරාධනය පරිදි අබාධිත ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් නිරික්ෂයකයින් ලෙස හා මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES) නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
 



සම්බන්ධිත පුවත්

2026-09-30

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ව්‍යුහය වෙනස් කිරීමට නව පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත්  ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු සහ ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.නව ක්‍රිකට් පාලන ව්‍යුහය සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් ඇතුළත් කිරීමට යෝජනා කර ඇති අතර, නව නීතිරීති යටතේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඍජුව තීරණ ගැනීම සිදු නොකරන අතර, එම සංගම් පළාත් ක්‍රිකට් සංගම් හරහා කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී ප්‍රකාශ විය.පාසල් ක්‍රිකට් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 900ක මුදලක් සහ උපකරණ ලබා දෙන බවත්, පුහුණුකරුවන් බඳවා ගැනීම සහ ක්‍රීඩක තේරීම් ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් කාරක සභාවට අනාවරණය විය.එමෙන්ම, ක්‍රීඩා සංගම් සම්බන්ධ විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ අතර, ක්‍රීඩා සංගම් 33ක් අදාළ නිර්දේශ සම්පූර්ණ කර ඇති බවත්, තවත් සංගම් 33ක් සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට නියමිත බවත් කාරක සභාවේදී ප්‍රකාශ විය.මහජනතාව සෞඛ්‍ය හා ව්‍යායාම කටයුතු සඳහා භාවිත කරන ඇවිදින මංතීරු සහ ක්‍රීඩා සංකීර්ණවලින් ගාස්තු අය කිරීම වහාම අත්හිටුවීමට අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති අතර, ක්‍රීඩාව ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස නොව ජාතික සෞඛ්‍යය හා ප්‍රජා සුබසාධනය සඳහා වන රාජ්‍ය වගකීමක් ලෙස පවත්වාගෙන යා යුතු බවට වූ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අවධාරණය කෙරිණි.සෑම පළාතකටම අවම වශයෙන් එක් කෘත්‍රිම ධාවන පථයක්(synthetic track) ලබා දීමේ සැලසුම යටතේ මීළඟ කෘත්‍රිම ධාවන පථය අනුරාධපුරයේ ඉදිකිරීමට නියමිත බවත් සඳහන් විය. දැනට දිවයිනේ කෘත්‍රිම ධාවන පථ දෙකක් පමණක් පවතින බවද කාරක සභාවේදී සඳහන් විය.අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය, මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගනය සහ හිඟුරක්ගොඩ ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය, බදුල්ල හාලිඇල ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ කළුතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේ පවතින ගැටලු විසඳීම පිළිබඳවද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරිණි.තවද, ජාත්‍යන්තර තරඟ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිල ජාතික කණ්ඩායම් සහ නිල වශයෙන් හඳුනාගත් ජාත්‍යන්තර තරඟාවලි සඳහා පමණක් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජාතික තේරීම් හා විදේශ තරඟ සඳහා කණ්ඩායම් යැවීමේදී කිසිදු ජාතියක් හෝ ප්‍රදේශයක් හෝ මත පදනම්ව වෙනස්කම් සිදු නොකරන බවත් කාරක සභාවට අනාවරණය විය.මෙම අවස්ථාවට ගරු තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන් කමිටුවේ සමාජිකයින්  ඇතුළු පිරිසක් සහභාගි වූහ.


2026-09-30

සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අනුකාරක සභාවේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද එම  අනුකාරක සභාව, එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය.ලෝක බැංකුවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන යටතේ පාසල්වල සිදු කර ඇති කාර්යයන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු අනුකාරක සභාව දැනුවත් කළහ. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති කාර්යයන් තවදුරටත් කඩිනම් කිරීමේ අවශ්‍යතාව අනුකාරක සභාව අවධාරණය කළ අතර, වැඩසටහනේ ප්‍රගතිය ඇතුළත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලැබිණි.පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකම් සම්බන්ධ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන්ම පානීය ජලයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් අනු කාරක සභාව විසින්  අවධාරණය කරන ලදී.එමෙන්ම, පාසල් සඳහා විදුලි සංදේශ පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ආදර්ශ ප්‍රාථමික පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද අනුකාරක සභාව විසින් දීර්ඝ වශයෙන් විමසා බැලිණි.මෙම  රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්.එම්. සමන්ත රණසිංහ මහතා සහ පද්මසිරි බණ්ඩාර මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.


2026-09-30

විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී, විදේශ ආයෝජන, විගාමිකයන් විසින් අරමුදල් විදේශයන් වෙත මාරු කිරීම සහ විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ විධිවිධාන පිළිබඳව කරුණු විමසා බැලීය.මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර යන මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශය, රේගු දෙපාර්තමේන්තුව, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු  සහභාගී වූහ.මෙහිදී 2026 අංක 01 දරන විදේශ විනිමය රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව අවධානය යොමු විය. විදේශ ආයෝජන සඳහා සුදුසුකම් ලබන තැනැත්තන්, ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර සහ විදේශයන් වෙත ප්‍රාග්ධනය යොමු කිරීමේදී අදාළ වන සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, දේශීය සමාගම්වලට විදේශයන්හි සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ඇති අවස්ථා සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද  අවධානය යොමු විය.2026 අංක 02 දරන විදේශ විනිමය රෙගුලාසි සම්බන්ධයෙන් විගාමිකයන්ට ශ්‍රී ලංකාවේ පවතින වත්කම් විදේශයන් වෙත මාරු කිරීමේදී අදාළ වන ක්‍රමවේද සහ සීමාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, විගාමික දීමනාව යටතේ ප්‍රාග්ධනය විදේශයන් වෙත මාරු කිරීම සහ කුලී ආදායම්, පොලී සහ ලාභාංශ වැනි වත්මන් ආදායම් විදේශයන් වෙත ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් පවතින විධිවිධාන පිළිබඳව ද කාරක සභාවේදී කරුණු පැහැදිලි කෙරිණි.මේ අතර, විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය රටින් පිටතට ගලා යාම කළමනාකරණය කිරීම සඳහා පවතින තාවකාලික සීමාවන් පිළිබඳව මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදී. ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ එම සීමාවන් ක්‍රමානුකූලව ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.අපනයනකරුවන් පෙර වසරේ මෙරටට ගෙනන ලද  අපනයන ආදායම් සහ එම ආදායම්වලින් කොටසක් විදේශ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා භාවිත කිරීමට ලබා දී ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා වූ අතර, දේශීය ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය කටයුතු පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු ඉදිරිපත් විය..එමෙන්ම, විදේශ විනිමය අවිධිමත් ලෙස රටින් පිටතට ගලා යාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සහ ඒ සඳහා පවතින අධීක්ෂණ ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. ආනයන හා අපනයන සම්බන්ධ බැංකු සහ රේගු දත්ත අතර පවතින පරස්පරතා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම, විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.තවද, දේශීය ඉදිකිරීම් ඇතුළු සමාගම් විදේශයන්හි ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමේදී අවශ්‍ය වන බැංකු ඇපකර සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින සීමාවන් පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.මෙම සාකච්ඡාවේදී නීති රීති දැඩි කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සාමාජිකයින්  අවධානය යොමු කළ අතර   ආර්ථික වර්ධනයට බාධාවක් වන පරිදි අනවශ්‍ය රෙගුලාසි පැනවීම තුළින් ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින ඔවුහු පෙන්වා දුන්හ. විනිමය රටින් පිටතට ගලායාම සීමා කිරීම හේතුවෙන් රට තුළට පැමිණෙන විනිමය ප්‍රමාණයද අඩුවිය හැකි බව එහිදී අදහස් දක්වමින්  සභාපතිවරයා පෙන්වා දුන්නේය.රෙගුලාසිවල ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලෙස සටහන් කර තිබියදී, නියෝගයේ ලැයිස්තුගත (listed companies) සමාගම් පුළුල් කිරීම සඳහා එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක් ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින්, මෙම ඇමරිකානු ඩොලර් මිලියන 0.75ක සීමාව මාස 6කට පමණක් බලපැවැත්වෙන බවත්, එය 2027දී ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. එලෙසම, ලැයිස්තුගත නොවන (non-listed companies) සමාගම් සඳහා මෙම සීමාව ඇමරිකානු ඩොලර් මිලියන 0.2ක් වන බව ද ඔවුහු සඳහන් කළහ.විදේශ විනිමය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සීමාවන්ට වඩා වැඩි විදේශ විනිමය පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව කටයුතු කළ හැකි බවයි. එහිදී ව්‍යාපාරයේ ශේෂ පත්‍රය (balance sheet) පදනම් කර ගනිමින් එම අනුමැතිය ලබා දෙන බව ද පැහැදිලි කෙරිණි. කෙසේ වෙතත්, එවැනි අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාව ඉහළ වත්කම් සහිත ව්‍යාපාරවලට වැඩි වශයෙන් හිමිවීමේ ඉඩකඩක් පවතින බවට ද මෙහිදී අදහස් පළ විය.


2026-09-25

පත්වීම් ත්‍රිත්වයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ  කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks