පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2011 සහ 2012 වර්ෂවලදී ඇතිවූ ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට සැක කෙරෙන උතුරුමැද පළාත් සභාවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) විසින් උතුරුමැද පළාත් සභාවේ නිලධාරීන්ට පසුගියදා නිර්දේශ කරන ලදී.
2011 සහ 2012 වර්ෂවලදී ඇතිවූ ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී උතුරුමැද පළාත් සභාව විසින් අක්‍රමිකතා සිදුකළ බවට විගණකාධිපති වාර්තා මගින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම් සම්බන්ධයෙන් 2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු අනාවරණය විය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (මාර්තු 03) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දීම සිදුවිය. 2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා උතුරුමැද පළාත් සභාව මෙම රැස්වීමට කැඳවා තිබිණි.
මෙහිදී නිලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ, එම වංචාවට සම්බන්ධ නිලධාරීන් දස දෙනාගෙන් අයකර ගැනීමට නියමිතව තිබූ මුදල් තවමත් අයකර ගෙන නොමැති බවත්, ඔවුන්ගෙන් සමහරක් දැනට ජීවතුන් අතර නොමැති බවත්, අනෙක් අයගෙන් මුදල් අයකර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවත්ය. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය කමිටුව මෙහිදී අවධාරණය කළේය.
මීට අමතරව, පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිම නොකර අතහැර දමා තිබීම පිළිබඳව ද කරුණු විමසන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ගෙවීම් කරන ලද මුදල් අයකර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෙහිදී අවධානයට ලක් විය. මෙම ව්‍යාපෘතිය සිදු කළ කොන්ත්‍රාත්කරු අසාදු ලේඛනගත කිරීමේ අවශ්‍යතාවය කමිටු සාමාජිකයින් පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් පවත්වා මාසයක් ඇතුළත කෝපා කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.
තවද, උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුණාත්මක වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වූ රුපියල් 15,797,500 ක කොන්ත්‍රාත් මුදලින් රුපියල් 12,144,500 ක් ගෙවා ඇතත්, කොන්ත්‍රාත් සමාගම විසින් කිසිදු වීඩියෝවක් භාර දී නොමැති වීම පිළිබඳවත් අවධානය යොමු විය. අදාළ සමාගම සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බව නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස කමිටුව විසින් උපදෙස් දෙන ලදී.
පොළොන්නරුව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අසම්පූර්ණ ලෙස නිම කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. කොන්ත්‍රාත්කරුවෙකු වෙත විශාල මුදලකට ලබා දෙන ලද මෙම ව්‍යාපෘතිය නිසි පරිදි නිම කර මහජනතාවට භාර දී නොමැති නිසා රටට විශාල පාඩුවක් සිදු ව ඇති බව විගණකාධිපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය. පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරය ඉදිකිරීමට සම්බන්ධ වූ එම කොන්ත්‍රාත්කරුටම මෙම වෙළඳ සංකීර්ණයේ කොන්ත්‍රාත්තුව ද ලබාදී තිබුණි. එබැවින්, මෙම කොන්ත්‍රාත්කරු අසාදු ලේඛනගත කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත කමිටුවට වාර්තා කරන ලෙස ද කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.
ඊට අමතරව, උතුරු මැද පළාතට දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ත්‍රිපෝෂ පැකට් නියමිත වේලාවට නොලැබීමත්, කල් ඉකුත් වී තිබූ ත්‍රිපෝෂ පැකට් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවේ තිබීමත්, ඇතැම් පැකට් අස්ථානගත වී තිබීමත් කමිටුවේ අවධානයට ලක් විය. මෙම ත්‍රිපෝෂ පැකට්වල වටිනාකම රුපියල් 1,094,657ක් බව ද අනාවරණය විය. මේ සම්බන්ධයෙන් පළාත් සභාව මගින් පරීක්ෂණයක් පැවැත්වූ බවත් ඒ සඳහා සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්ව සහභාගීකර ගැනීමට නොහැකි වූ බවත් විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ. මෙහිදී කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ මෙම කාරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල කමිටුවට වාර්තා කළ යුතු බවයි.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, රුවන්තිලක ජයකොඩි, ඔෂානි උමංගා, මංජුල සුරවීර ආරච්චි, සුසන්ත කුමාර නවරත්න, ටී.කේ. ජයසුන්දර, ජේ.සී. අලවතුවල, සුනිල් රත්නසිරි සහ චානක මාදුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-06-25
රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දුන් වාර්තාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, චම්පික හෙට්ටිආරච්චි, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා රැස්වූ අවස්ථාවේදීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය 08 වැනිදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලබා දුන් වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ඇතුළත් වාර්තාවක් මෙලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කොට තිබිණි. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කෙරිණි. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. මෙම සාකච්ඡාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.
2026-06-23
මහා භාරකාර දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සිදු විය. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මහා භාරකාර දෙපාර්තමේන්තුවට වත්කම් ලැබෙන විවිධ මාර්ග, එම එක් එක් වත්කම් ලැබුණ දින වකවානු, එම වත්කම් පවරණු ලැබුවේ කවුරුන් විසින්ද යන්න, පැවරීමට අදාළ කොන්දේසි ආදී කරුණු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලබා දෙන ලෙස 2024 මැයි මස කාරක සභාව රැස් වු අවස්ථාවේ ලබා දී තිබූ නිර්දේශය සම්බන්ධයෙන් මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විමසා සිටියේය. මේ අනුව, මේ සම්බන්ධ දත්ත ඇතුළත් වාර්තාව කාරක සභාව වෙත ලබා දුන් බව නිලධාරීහු කියා සිටියහ. එසේම මෙහිදී මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු භාර සහ බූදල් සංඛ්‍යාව සම්බන්ධයෙන්ද කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.ගාල්ල බද්දේගම, සුදුවැලිපොත පිහිටි හැරී හපුගොඩ බූදලයට අයත් අක්කර 113ක භූමි ප්‍රමාණය බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීය. එහිදී තක්සේරු වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මේ වන විට ටෙන්ඩරයක් ලැබී ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. මීට අමතරව මෙම ඉඩමේ කොටස් විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටින බව ද මෙහිදී අනාවරණය විය. රිච්මන්ඩ් කාසල් ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර ජූලි මාසය වන විට මෙම ගොඩනැගිල්ලේ නවීකරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම, මෙම ඉඩමේ පොල් අස්වැන්න හොඳින් පවතින බවත් එය නියමාකාරයෙන් නඩත්තු නොවන බවත් කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු කියා සිටියහ. මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු වෘත්තීය අධ්‍යපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ජේ.සී. අලවතුවල, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-06-23
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව දැනට පවතින ගැටලු රැසක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළහ.ඒ අනුව ප්‍රාථමික පාසැල් ඉදිකිරීම්වලදී ප්‍රමිතියකට අනුව පොදු සැලැස්මක් හා ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, උපකෘත පාසැල්වල පරිපාලනය සම්බන්ධ ගැටලු, ගුරු මාරු සම්බන්ධ ගැටලු, එක් එක් පළාත් මට්ටමින් පාසැල්වල සිදු වන ඉදිකිරීම්වල ප්‍රගතිය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සැලසුම් ඇතුළු කරුණු රැසක් කාරක සභාවේදී සාකච්ඡා විය. එම කරුණු සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව, මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ ස්ථාපිත කර ඇති අනුකාරක සභාවල ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාව විසින් විමසන ලදී.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරු ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-06-22
එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) සංසිද්ධීන් හී බලපෑම්වලින් ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය යොමු විය.ඒ එම සංසදය එහි සම සභාපතිවරුන් වන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී දේශගුණික විපර්යාස, විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය, ශ්‍රී ලංකාවේ සාගරික පරිසර පද්ධති, වෙරළබඩ කලාප, ජෛව විවිධත්වය සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් කොරල් පර විරංජනයවීම (Coral Bleaching), මත්ස්‍ය ගහනයේ සිදු වන සංක්‍රමණික වෙනස්කම්, විෂ ඇල්ගී වර්ධනය (Algal Blooms), ඔක්සිජන් අවම කලාප (Dead Zones) ඇතිවීම සහ ජල පරිසර පද්ධතිවල අස්ථාවරතාවය වර්ධනය වීම වැනි ගැටලු පිළිබඳව සහභාගී වූ නිලධාරීහු සංසදයේ අවධානයට යොමු කළහ.එමෙන්ම, නියඟ තත්ත්වයන්හි ප්‍රතිඵලයක් ලෙස ගංගා ජල මට්ටම් පහත වැටීම සහ මුහුදු ජලය ගංගා පද්ධති තුළට ඇතුළු වීම නිසා පානීය ජල සැපයුමට තර්ජන එල්ල වීම සහ ධීවර හා සංචාරක කර්මාන්තයට මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වන ආර්ථික බලපෑම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාවේ සාගරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා නාරා ආයතනය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, එකී ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද සංසදය විසින් සහිපත් කරන ලදී. තවද, ඉදිරියේදී ඇති විය හැකි “ එල් නිනෝ” ( El Niño) තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සාගර නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ ජාතික සාගර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද සංසදය විසින් අවධාරණය කරන ලදී.එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් උභයජීවී විශේෂවල වාසස්ථාන, ප්‍රජනන රටාවන් සහ ජීවත් වීමේ හැකියාව කෙරෙහි ද බලපෑම් එල්ල වන බව මෙහිදී අවධාරණය කෙරිණි. වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම්, නියඟ තත්ත්වයන් සහ උෂ්ණත්වය ඉහළ යෑමෙන් ගෙම්බන් ඇතුළු උභයජීවී විශේෂ රැසක් අවදානමට ලක්විය හැකි බවත්, එමගින් පරිසර පද්ධතිවල සමතුලිතතාවයට ද බලපෑම් ඇති විය හැකි බවත් සහභාගී වූ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීන්, පර්යේෂකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගී විය .
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks