logo

02

E   |     |  

2026-03-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින සාර්ථක නේවාසික වැඩමුළුවක්

  • පාරදෘශ්‍යබව, වගවීම, සහභාගීත්වය සහ සියලු දෙනාටම අවස්ථාව ලබාදීම තුළින් පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාවට සමීප කිරීම සඳහා සංසදයේ උපරිම මැදිහත් වීම සිදුකරනවා - සංසදයේ සමසභාපතිවරු අවධාරණය කරති
  • ඉදිරි වැඩසටහන් යෝජනාවලියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත් පියවර


විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් පසුගිය මාර්තු මස 06 සහ 07 යන දිනවලදී කලුතරදී සාර්ථකව පැවැත්විණි. 

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ ( Westminster Foundation for Democracy) – (WFD) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීම සඳහා වූ සන්ධානයේ  (Coalition for Inclusive Impact) – (CII) අනුග්‍රහයෙන් වැඩමුළුව සංවිධානය වී තිබිණි.  විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් ඇතුළු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද මෙම වැඩමුළුවට සහභාගී වූහ.

සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහ විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයින්ගේ අදහස් ලබාගෙන විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි වැඩසටහන් සැළසුම් කිරීම මෙහිදී සිදුවිය. 

ඒ අනුව විවෘත රාජ්‍ය සහ විවෘත පාර්ලිමේන්තු සංකල්පය සවිස්තරාත්මකව හඳුන්වාදීම මෙහිදී සිදුවිය.  විවෘත පාර්ලිමේන්තු ක්‍රියාවලිය මගින් පාරදෘශ්‍යබව (Transparency), වගවීම (Accountability), සහභාගීත්වය (Participation) සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව හිමිවීම (Inclusivity) යන ප්‍රධාන මූලධර්මයන් ඔස්සේ රටේ මහජනතාවට පාර්ලිමේන්තුව වඩාත් සමීප ආයතනයක් බවට පත් කිරීමේ පියවර පිළිබඳව මෙහිදී ‘විවෘත පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ජාතික උපදේශ’ ඇන්ජලීනා හර්මන් මිය කරුණු ඉදිරිපත් කළාය. තවද විවෘත පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාත්මක ලොව විවිධ රටවල් සහ ඊට අදාළ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

එසේම 2015 වසරේදී මුල් වරට මෙම සංසදය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාවට වඩාත් සමීප ආයතනයක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා විසින් කරුණු පැහැදිළි කරන ලදී. තවද, පළාත් පාලන ආයතනවල කමිටු ක්‍රමය සහ ඒවායේ මහජන සහභාගීත්වය වැඩි කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රධාන නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක මහත්මිය  දැනුවත් කිරීමක් ද සිදු කළාය. 

මෙහිදී සම්පත් දායකයන් සහ සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් අතර දැනුම, අදහස් හුවමාරු කර ගැනීම සිදුවූ අතර ඒ අනුව සංසදයේ ඉදිරි වැඩපිළිවෙල සහ ඊට අදාළ ක්‍රියාකාරි සහ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සිදුවිය. 

මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් අවධාරණය කළේ මහජනතාවට වඩාත් සමීප පාර්ලිමේන්තුවක් සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය කටයුතු කරන බවයි.  

මෙම අවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) මෙරට අධ්‍යක්ෂ සංජේ විග්නරාජා මහතා සහ සියලු පාර්ශ්ව සඳහා අවස්ථාව ලබාදීම සඳහා වූ සන්ධානය  (CII) නියෝජනය කරමින් ඩිලාෂිනී අඟුනවෙල මහත්මිය ද සහභාගී වූහ.
 



සම්බන්ධිත පුවත්

2026-07-30

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රගතිය සහ අභියෝග පිළිබඳ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් මෙහෙයුම් ප්‍රගතිය, සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිරි ගමන, 2026 වර්ෂයට අදාළ මූල්‍ය කාර්යසාධනය, මීට පෙර කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ 2024 වාර්ෂික වාර්තාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.ඒ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.එහිදී පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වාර්තා කර ඇති මූල්‍ය ප්‍රගතිය සහ ලාභදායීත්වය සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වූ අතර, එම ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.විශේෂයෙන්ම කොළඹ වරාය මුහුණ දී සිටින කලාපීය සහ දේශීය තරඟකාරීත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. ඉන්දියාවේ විසිංජම් (Vizhinjam) වරායේ වර්ධනය, ලෝකයේ ප්‍රධානතම නැව් සමාගමක් වන MSC (Mediterranean Shipping Company) ආයතනය එම වරාය වෙත ආයෝජනය කිරීම සහ හම්බන්තොට වරායේ ධාරිතාව ඉහළ නැංවීමේ සැලසුම් හේතුවෙන් කොළඹ වරායට එල්ල වී ඇති තරඟකාරී බලපෑම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී.එසේම, කොළඹ වරායේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, ඒවා ප්‍රමාද වීමට හේතු වූ කරුණු, ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලියේ ඇති වූ ගැටලු මෙන්ම එම ප්‍රමාදයන් හේතුවෙන් රජයට සිදුව ඇති මූල්‍ය බලපෑම් පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.මෙහිදී ප්‍රමාදයන්ට හේතු වූ කරුණු සම්බන්ධයෙන් නිසි විගණනයක් සිදුකර වගකිවයුතු පාර්ශ්ව හඳුනාගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළ අතර, අනාගතයේ මෙවැනි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කාර්යක්ෂම ප්‍රසම්පාදන හා ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.හම්බන්තොට, ගාල්ල සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රාදේශීය වරායන් සංවර්ධනය කිරීම, ඒ ආශ්‍රිත යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ දේශීය ඉදිකිරීම් සමාගම්, උපදේශකයන් සහ තාක්ෂණික වෘත්තිකයන්ගේ දායකත්වය වැඩිදියුණු කරමින් දේශීය ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.අවසානයේදී, වරාය අධිකාරියේ ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම, ආයතනික වගවීම හා විනිවිදභාවය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතනයක් ලෙස එහි කාර්යක්ෂමතාව හා ලාභදායීත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කාරක සභාව අවධාරණය කළේය.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, මංජුල සුරවීර ආර්ච්චි, චතුර ගලප්පත්ති, රවීන්ද්‍ර බණ්ඩාර, ධනුෂ්ක රංගනාත් සහ ශාන්ත පද්ම කුමාර යන මහත්වරු සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ අදාළ නිලධාරීහු සහභාගී වූහ.


2026-07-30

ඉදිකිරීම් අතරමඟ නැවතී ඇති නිවාසවල වැඩ නිම කිරීම සඳහා 2027 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය

පසුගිය කාලසීමාවන්හිදී සහ පසුගිය රජයන් යටතේ ආරම්භ කර, විවිධ හේතූන් මත අතරමග නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ගරු අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා විය.මෙම නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට 2027 වසරේ අයවැය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.පසුගිය කාලසීමාවන්හිදී ආරම්භ කරන ලද ඇතැම් නිවාස ව්‍යාපෘති සඳහා වෙන් කළ ණය සහ ආධාර මුදල් සම්පූර්ණයෙන් ලබා නොදීම හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නවතා දමා ඇති බවත්, එවැනි නිවාස ව්‍යාපෘති 5,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.ඒ අනුව, එම නිවාස ව්‍යාපෘති අතරින් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින නිවාස හඳුනාගෙන, ඒවා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.එම කමිටුව මේ වන විට සිය කටයුතු ආරම්භ කර ඇති අතර, අදාළ නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින්, භාවිතයට ගත හැකි නිවාස හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.මෙම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ අනුව අතරමග නවතා ඇති නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.එමෙන්ම, අඩක් ඉදිකර ඇති නිවාස සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පවුල් සඳහා ලබන වසරේදී ආධාර ලබා දීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව පවුල් 2,000කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.මේ අතර, කාරක සභා රැස්වීමට සහභාගී වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය ප්‍රදේශවල පවතින නිවාස හා ජල සම්පාදන ක්ෂේත්‍රවල ගැටලු කාරක සභාවේ අවධානයට යොමු කළහ.කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති ඇතුළු නිවාස ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද අමාත්‍යාංශය එකඟ විය.


2026-07-30

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ප්‍රථම වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (Public Debt Management Office - PDMO) 2025 වර්ෂයට අදාළ ප්‍රථම වාර්ෂික වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු,  විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, තිලිණ සමරකෝන් සහ නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී ය. එහිදී 2025 වර්ෂයේ රාජ්‍ය ණය ප්‍රමානයේ වර්ධනය, පොලී අනුපාතවල උච්චාවචනයන් සහ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම හේතුවෙන් රාජ්‍ය ණය සේවාකරණයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම රාජ්‍ය ණය කළමනාකරණයේදී මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර පවතින සම්බන්ධීකරණයේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් විය.2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මගින් රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු එක් ඒකාබද්ධ ආයතනයක් යටතට ගෙන ඒම සඳහා PDMO පිහිටුවා ඇති අතර, එහි ප්‍රධාන වගකීම් අතර රාජ්‍ය ණය කළමනාකරණය, ණය තිරසාරභාවය තහවුරු කිරීම, මධ්‍යකාලීන ණය කළමනාකරණ උපායමාර්ග සකස් කිරීම සහ වාර්ෂික රාජ්‍ය ණය කළමනාකරණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම ඇතුළත් බවද මෙහිදී පැහැදිලි කෙරිණි.කාරක සභාවේදී PDMO ආයතනයේ මානව සම්පත් ඌනතාවය සහ නිලධාරීන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ හා නවීන ණය කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ විශේෂිත පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තාක්ෂණික සහාය යටතේ ක්‍රියාත්මක වන ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.එහිදී, PDMO ආයතනය සඳහා සකස් කෙරෙන පුහුණු අවශ්‍යතා ඇගයීම් වාර්තාව (Training Needs Assessment - TNA) සති දෙකක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.එම වාර්තාව මගින් ආයතනයේ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා හිඩැස් හඳුනා ගැනීම, විධිමත් වාර්ෂික පුහුණු සැලැස්මක් සකස් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ මෙහෙයුම්, ණය කළමනාකරණය සහ අවදානම් පාලනය වැනි තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම මෙන්ම ඉදිරි පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය අයවැය සැලසුම් කිරීම සඳහා පදනමක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී අනාවරණය විය.තවද රාජ්‍ය ව්‍යවසායයන් සඳහා ලබාදී ඇති රාජ්‍ය ඇපකර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සහ රාජ්‍ය ණය කළමනාකරණයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. 


2026-07-23

ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (Telegraphic Transfer - TT) ක්‍රමය අවභාවිත කරමින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළේය.ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2493/39 සහ අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදන මගින් හඳුන්වා දී ඇති නව රෙගුලාසි  සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (ජූලි 21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ සහ නිශාන්ත ජයවීර මහත්වරුන් මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු සහභාගී වූහ.වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම විමර්ශනය යටතේ සමාගම් 105ක්, බැංකු ගිණුම් 227ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13ක් හරහා සිදුකර ඇති ගනුදෙනු 24,300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි. TT ක්‍රමය මගින් මුදල් යවා තිබුණද අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති අවස්ථා මෙන්ම ව්‍යාජ ඉන්වොයිසි, ආනයන ලේඛන සහ සමාගම් භාවිත කළ අවස්ථාද විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව සඳහන් විය.අනීතික විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින බාධා, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවේ පවතින අඩුපාඩු සහ බැංකුවල පාරිභෝගික අනන්‍යතාව තහවුරු කිරීමේ (Know Your Customer - KYC) ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.කෙසේ වෙතත්, මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී නීතිගරුක ව්‍යවසායකයන්ට අනවශ්‍ය අපහසුතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.  නව රෙගුලාසි වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය වන ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කළේය.අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම් මගින් විදේශ විනිමය රටින් පිටතට ගලායාම වැළැක්වීම, ආනයන ගනුදෙනු අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය අවභාවිතයන් පාලනය කිරීම එහි අරමුණ බව සඳහන් විය.නව රෙගුලාසි අනුව පෙර ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ "සුදුසුකම් ලත් ආනයනකරුවන්" ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, සෑම ගනුදෙනුවක් සඳහාම බැංකු මගින් Unique Identification Number (UIN) ලබාදී එම තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තා කළ යුතු වේ.එමෙන්ම අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසිද කාරක සභාවේදී අනුමත කෙරිණි.ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර HS කේත 55ක් නව පාලන ක්‍රමවේදයට ඇතුළත් කර තිබේ. නීතිවිරෝධී ලෝහ අපනයනය වැළැක්වීම සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම මෙම පියවරේ අරමුණ බව සඳහන් විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks