පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-02-20
මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය.
(203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2463/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්‍ර අයභාර නියෝග සංශෝධනය කිරීමට අදාළ නියෝග සහ අංක 2467/52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රියදුරු බලපත්‍රවලංගු කාලය දීර්ඝ කිරීමට අදාළ නියෝග සඳහා මෙසේ අනුමතිය හිමිවිය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය. මෙම රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරු ද සහභාගි වූහ.
තවද, ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකක වාර්තා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදුවිය.
අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අනුකාරක සභාවේ වාර්තාව එහි සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්. දිනිඳු සමන් හෙන්නායක මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී. පුද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රීරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නන් (App Base Workers) වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ (ETF) දායකත්වය ලබා දීම ඇතුළු නිර්දේශ ගණනාවක් මෙම වාර්තාවේ ඉදිරිපත් කර තිබේ.
ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි (Business Models) සැකසීම වෙනුවෙන් පිහිටුවන ලද අනුකාරක සභාවේ වාර්තාව, එහි සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පරීක්ෂා කර ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
තවද රටේ විවිධ ප්‍රදේශවල ප්‍රවාහන අංශයේ සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ඇති අඩුපාඩු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ. මෙම කාරක සභා රැස්වීමට ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
2026-09-15
අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කෙරේ. වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවි කර ගැනීමට ලබා දුන් සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටත්, තුවාල සිදුවීමෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීම සඳහාත්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලු ආසවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම සඳහා අංක 1717/14 දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් අංක 2455/29 දරන 2025.09.25 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශ පත්කෙරිණි.ඒ අනුව, වාහනවල නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකොට නොමැති ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි සවිකිරීමට ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ දින සිට මාස 03ක සහන කාලයක් ලබාදෙන ලද අතර මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය. එහෙත් ආසන පටි සවිකර ගැනීම සඳහා මෙම සහන කාලය තවදුරටත් දීර්ඝ කොට දෙන ලෙසට ලද විවිධ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සහන කාලය නැවත 2026.03.20 දින සිට 2026.06.19 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා පියවර ගැණිනි. සභාපතිවරයා මෙහිදී මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේ අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන්න පටි සවි කිරීම පිළිබඳව වාහන හිමියන් සහ මහජනතාව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම, ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධ අවම ප්‍රමිතිය හා පිරිවිතර පරීක්ෂාවට ලක් කොට මාර්ගයේ ධාවන යෝග්‍යතාවය තහවුරු කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අංක 2489/22 දරණ 2026.05.19 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද පාර්ලිමේන්තුව විසින් අනුමත කොට තිබේ.ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ මාර්ග ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හා වාහනවල තාක්ෂණික යෝග්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ සිදුවන රථවාහන අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී රියදුරන් අතින් සිදුවන වැරදි මෙන්ම වාහනවල පවතින කාර්මික දෝෂ හා නඩත්තු ගැටලු හේතුවෙන්ද බරපතළ රිය අනතුරු බහුලව සිදුවන බව නිරීක්ෂණය කොට ඇති බව ද එහිදී සාකච්ඡා විය. මෙම කාරක සභාවට ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
2026-09-14
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 09) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ඇති අතර, ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මෙහිදී සඳහන් විය.සාමාන්‍ය පෙළ සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් ඇතුළත් කිරීමටත්, 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත්, 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමටත් සැලසුම් ඇති බව ද කියවිණි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට ද මෙහිදී ප්‍රකාශ විය.පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.මේ අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks