E   |   த   |  

2026-02-19

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.17 වැනි දින කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ (Industrial Technology Institute) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වත්මන් තත්ත්වය, එහි ඇති පහසුකම් සහ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සිදුවිය. 

මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ උක්ත ආයතනයෙන් සමාජයට සිදුවන කාර්යභාරය සහ එහි සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම හා රජයේ වැඩ පිළිවෙලට මෙම ආයතනය මගින් ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වන අතර මෙය සංවර්ධනීය අපේක්ෂාවෙන් කරනු ලබනන්නක්  බව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ආයතනය මෙරට ඇති ඉහළම මට්ටමේ පර්යේෂණාගාර සහ පරීක්ෂණාගාර පහසුකම් සහිත පර්යේෂණ (Research) හා පරීක්ෂණ (Testing) යන දෙක සඳහාම පහසුකම් ඇති ලංකාවේ පවතින එකම ආයතනය වේ.  කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම, ආයතනය සතු සුවිශේෂී තාක්ෂණික හැකියාවන් විශේෂ පරීක්ෂණ සේවා සහ පහසුකම්, ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සහ ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම ආදී කරුණු පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.

කාර්මික තාක්ෂණ ආයතනය තුළ පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශ 6ක් සහ පරීක්ෂණ සේවා සපයන අංශ 7ක් ක්‍රියාත්මක වන අතර එහි ඖෂධ (pharmaceutical), ද්‍රව්‍ය (material), රසායන ද්‍රව්‍ය (chemical), ක්ෂුද්‍රජීව විද්‍යා (microbiology) පරීක්ෂණ , ක්‍රමාංකනය (calibration), විද්‍යුත් තාක්ෂණය (Electrotechnology) අවශේෂ (Residue) සම්බන්ධ පරීක්ෂණ සිදු කරනු ලබන බව එහිදී අනාවරණය විය.

පරිසර ආරක්ෂණ බලපත්‍ර (Environmental Protection License) සඳහා පහසුකම් සැලසීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය කර්මාන්තශාලා සැලසුම් (Factory Layout) සහ යන්ත්‍රෝපකරණ උපදෙස් ලබා දීමද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.

ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර ආයතනයේ විශ්වසනීයත්වය තහවුරු කරන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රතීතනය වන බවත් ආයතනය ISO 17025 (2017) ජාත්‍යන්තර ප්‍රමිතිය අනුගමනය කරන බවත් මෙහිදී අනාවරණය විය.

 මුල් කාලයේ ස්වීඩනයේ SWEDAC ආයතනයෙන් ප්‍රතීතනය ලබාගත් නමුත්, 2013 සිට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) හරහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනය ලබා ගන්නා අතර දැනට ආයතනය සතුව ජාත්‍යන්තරව පිළිගන්නා විශේෂිත පරාමිතීන් 1035කට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රතීතනය පවතී. ITI ආයතනය ජාතික වශයෙන් වැදගත් පරීක්ෂණ රැසක් සිදු කරනු ලබන අතර ආහාර, ජලය (ආසනික් වැනි), ඖෂධ සහ විලවුන් (රසදිය අන්තර්ගතය වැනි) පරීක්ෂා කිරීමේ පහසුකම් පවතී.

විදේශයන්ට අපනයනය කරන තේ, එළවළු සහ පළතුරුවල අඩංගු පළිබෝධනාශක අවශේෂ (Pesticide Residue) පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 143ක් වටිනා අතිනවීන උපකරණයක් මෑතකදී එක් කර ඇති බව මෙහිදී අනාවරණය විය.

එමෙන්ම  මහාමාර්ග (Highways) සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ශබ්ද පරීක්ෂණ (Sound Testing) සහ ධ්වනි සැලසුම් නිර්මාණය කරන්නේද මෙම ආයතනය විසින් වන අතර, ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු මතුවිය. 

දැනට ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂා කිරීමට විදේශීය ආයතන වෙත මාස හයක කාලයක් සඳහා රුපියල් මිලියන 32ක් පමණ ගෙවීමක් සිදු කරනු ලැබේ. ITI ආයතනයේ නිලධාරීන් පෙන්වා දුන්නේ රුපියල් මිලියන 350ක පමණ මූලික ප්‍රග්ධනයක් ආයෝජනය කිරීමෙන් (උපකරණ 14ක් ඇතුළුව) මෙම පරීක්ෂණ පහසුකම ප්‍රතීතනය සහිතව මෙම ආයතනය තුළම ඇති කළ හැකි බවයි.

නොරොච්චෝල විද්‍යාගාරය සතුව ප්‍රතීතනය (Accreditation) නොමැතිවීම හේතුවෙන් එහි වාර්තා ජාත්‍යන්තරව හෝ අධිකරණයකදී පිළි නොගන්නා බව මෙහිදී අනාවරණය විය.එය ස්වාධීන තුන්වන පාර්ශවීය පරීක්ෂණාගාරයක් (Third-party independent lab) නොවීමද ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.

ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම හේතුවෙන් විගණන විමසුම් රැසක් මේ වන විටත් ආයතනය වෙත ලැබී ඇති බවත් රජයේ මුදල් වැය කර ස්ථාපිත කළ ඇතැම් පහසුකම් ප්‍රයෝජනයට නොගැනීම  බරපතල තත්ත්වයක් බවත් රජයේ නිර්දේශයන්ට අනුව මෙලෙස මෙම රසායනාගාර ස්ථාපිත කළ බවත් මෙහිදී  අනාවරණය විය.

එමෙන්ම රුපියල් මිලියන 99ක භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ 2019 දී ස්ථාපිත කරන ලද ඖෂධ පරීක්ෂණාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එකඟතාවන් නොමැතිවීම හේතුවෙන් අඩපණව (Underutilized) පවතින බවත් 2017-2020 කාලය තුළ රුපියල් මිලියන 117ක් වැය කර ඛනිජ තෙල් හා ලිහිසි තෙල් පරීක්ෂණාගාරයක් ඉදි කළද, තෙල් සාම්පල ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා එයින්ද නිසි ප්‍රයෝජන ගෙන නැති බවත් මෙහි දී අනාවරණය විය. 

ඖෂධ පරීක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රධාන ගැටලුව වන්නේ "නියාමකයා සහ පරීක්ෂකයා වෙන් විය යුතුයි" (Separation of regulator and tester) යන WHO නිර්දේශය නොසලකා හරිමින්, නියාමන ආයතන විසින්ම පරීක්ෂණ සිදු කිරීම බවත් එහිදී "ලබැඳියාවන් පිළිබඳ ගැටුමක්" (Conflict of Interest) පවතින බවත් අනාවරණය විය.

රජයේ පරීක්ෂණ කටයුතු සඳහා ITI වැනි ප්‍රතීතනය ලත් රජයේ ස්වාධීන ආයතනයක් භාවිතා කිරීම දිරිමත් කරමින් නීතිමය යාන්ත්‍රණයක් සකස් විය යුතු බවට සාකච්ඡාවේදී එකඟවූ අතර එය මහජන විශ්වාසය (Public Confidence) තහවුරු කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන් (WHO වැනි) අනුගමනය කිරීමටත් හේතු වනු ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එම් අස්ලම්, ගරු නීතීඥ නිලන්ති කොට්ටහච්චි, ගරු සමන්මලී ගුණසිංහ, ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවනන්දරාජා, ගරු රුවන් මාපලගම, ගරු අසිත නිරෝෂණ එගොඩවිතාන, ගරු චන්දිම හෙට්ටි ආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි විය.
 



සම්බන්ධිත පුවත්

2026-09-25

පත්වීම් ත්‍රිත්වයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරයෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ ආයතන සභපතිවරයෙක් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. උසස් නිලතල පිළිබඳ කාරක සභාව ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේ උක්ත පත්වීම් සඳහා අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පිලිපීනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස අන්සුල් බානු ජාන් මහත්මියගේ පත්වීමට සහ  කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.එමෙන්ම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්හි නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතාගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.


2026-09-24

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කිරීමට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (සැප්. 22) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාව සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.එමෙන්ම, ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.මේ අතර, දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම සඳහා දෙමළ භාෂාව හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. යාපනය ඇතුළු ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමයින්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පවතින භාෂාමය අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ විය.දිවයින පුරා පවතින ළමා නිවාස  පාලනය සහ අධීක්ෂණය විධිමත් කිරීම සඳහා මධ්‍යගත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක් විය. දරුවන්ට සිදු වන හිංසන වැළැක්වීම සඳහා එම ආයතනවල කළමනාකාරීත්වයේ වගකීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.තවද, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත්  වීම  සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් විය. විදේශ රැකියාවල නිරත කාන්තාවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික වියදම් ප්‍රතිපූරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.එමෙන්ම, 2027 වසර වන විට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වා දීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු හා සහතික ක්‍රමවේදයක් ඇති කිරීම සහ පෙර පාසල්වල පවතින යටිතල පහසුකම්වල ගැටලු විසඳීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.ළමා අපයෝජන නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබා දීම කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.ළමයින්ට සිදු කරන ශාරීරික දණ්ඩනය නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.


2026-09-23

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

සැප්තැම්බර් 24 සහ 25 දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට  නියමිත “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” පනත් කෙටුම්පත්, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 22) එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සලකා බැලිණි. නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම කාරක සභාවට සහභාගී වූහ. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් 2026.09.22 දින පාර්ලිමේන්තුවට නිවේදනය කළ  පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳව ද නිතිපතිවරයා කාරක සභාවට පැහැදිළි කිරීමක් සිදු කළේය. එසේම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් කාරක සභා මන්ත්‍රීවරු සිය අදහස් පළ කළහ. යෝජිත සංශෝධන මගින් අධිකරණ ධාරිතාව පුළුල් කිරීම, අභියාචනා යුක්තිය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, විභාග වෙමින් පවතින නඩු වේගවත්ව අවසන් කිරීම, විනිසුරුවරුන්ගේ අත්දැකීම් රඳවා ගැනීම සහ විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන තිබේ.ඒ අනුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.තවද, පළාත්බද මහාධිකරණ මට්ටමේ අධිකරණ ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. පළාත්බද මහාධිකරණ විසින් බරපතළ අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන අතර, 2006 වසරේ සිදු කරන ලද සංශෝධනවලින් අනතුරුව පළාත්බද සිවිල් මහාධිකරණ මඟින් අභියාචනා අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නඩු ගොඩ ගැසීම සහ ඒවා අවසන් කිරීමේදී සිදු වන ප්‍රමාදයන් හේතුවෙන් අතිරේක අධිකරණ සහ විනිසුරුවරුන්ගේ අවශ්‍යතාවය මතු වී ඇත. ඒ අනුව; අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීම මඟින් පළපුරුදු අධිකරණ නිලධාරින්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහතික කිරීම ද මෙම සංශෝධන මගින් අපේක්ෂා කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යා‍මේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ චන්දන සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ද මීට අමතරව කාරක සභික නොවන මන්ත්‍රීවරුන් වන නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, නීතීඥ යූ.පී. අබේවික්‍රම හා ගයාන් ජනක යන මහත්ම මහත්මීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.


2026-09-23

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට පියවර ගැනීම පිළිබඳව විශේෂ කමිටුවේ අවධානය

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට රැස්විය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සුගත් වසන්ත ද සිල්වා, දිනේෂ් හේමන්ත සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙන්ම ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන සකස් කර භාවිත කිරීමේදී මුහුණ පාන ප්‍රායෝගික හා නෛතික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.මෙහිදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (NTMI) මගින් සිදු කරන වෛද්‍ය පරීක්ෂණ, ආබාධිත තත්ත්වය අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්, වෛද්‍ය පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් ලබා දීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා පෙනීමේ පරාසය ඇතුළු වෛද්‍ය නිර්ණායක සලකා බලමින් රියදුරු බලපත්‍ර ලබා දෙන වාහන  වර්ග පුළුල් කිරීම,වාහනවලට  ගැළපෙන ආරක්ෂිත උපකරණ සවි කිරීම සහ ඉදිරි ගැසට් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කෙරිණි..ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වය, විශේෂ සලකුණු භාවිතය සහ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන නවීකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු විය.එක් පුද්ගලයෙකුට වාහන කිහිපයක් සඳහා බලපත්‍ර ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදය සරල කිරීම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද  යෝජනා ඉදිරිපත් විය.ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන, ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය විය.මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරීහු  ඇතුළු පිරිසක් සහභාගී වූහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks