2026-02-19
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.02.17 වැනි දින කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ (Industrial Technology Institute) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.එහිදී කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වත්මන් තත්ත්වය, එහි ඇති පහසුකම් සහ පවතින ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සිදුවිය.
මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ උක්ත ආයතනයෙන් සමාජයට සිදුවන කාර්යභාරය සහ එහි සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම හා රජයේ වැඩ පිළිවෙලට මෙම ආයතනය මගින් ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වන අතර මෙය සංවර්ධනීය අපේක්ෂාවෙන් කරනු ලබනන්නක් බව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම ආයතනය මෙරට ඇති ඉහළම මට්ටමේ පර්යේෂණාගාර සහ පරීක්ෂණාගාර පහසුකම් සහිත පර්යේෂණ (Research) හා පරීක්ෂණ (Testing) යන දෙක සඳහාම පහසුකම් ඇති ලංකාවේ පවතින එකම ආයතනය වේ. කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම, ආයතනය සතු සුවිශේෂී තාක්ෂණික හැකියාවන් විශේෂ පරීක්ෂණ සේවා සහ පහසුකම්, ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සහ ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම ආදී කරුණු පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.
කාර්මික තාක්ෂණ ආයතනය තුළ පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශ 6ක් සහ පරීක්ෂණ සේවා සපයන අංශ 7ක් ක්‍රියාත්මක වන අතර එහි ඖෂධ (pharmaceutical), ද්‍රව්‍ය (material), රසායන ද්‍රව්‍ය (chemical), ක්ෂුද්‍රජීව විද්‍යා (microbiology) පරීක්ෂණ , ක්‍රමාංකනය (calibration), විද්‍යුත් තාක්ෂණය (Electrotechnology) අවශේෂ (Residue) සම්බන්ධ පරීක්ෂණ සිදු කරනු ලබන බව එහිදී අනාවරණය විය.
පරිසර ආරක්ෂණ බලපත්‍ර (Environmental Protection License) සඳහා පහසුකම් සැලසීම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය කර්මාන්තශාලා සැලසුම් (Factory Layout) සහ යන්ත්‍රෝපකරණ උපදෙස් ලබා දීමද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.
ප්‍රතීතනය (Accreditation) සහ ජාත්‍යන්තර පිළිගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර ආයතනයේ විශ්වසනීයත්වය තහවුරු කරන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රතීතනය වන බවත් ආයතනය ISO 17025 (2017) ජාත්‍යන්තර ප්‍රමිතිය අනුගමනය කරන බවත් මෙහිදී අනාවරණය විය.
මුල් කාලයේ ස්වීඩනයේ SWEDAC ආයතනයෙන් ප්‍රතීතනය ලබාගත් නමුත්, 2013 සිට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) හරහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනය ලබා ගන්නා අතර දැනට ආයතනය සතුව ජාත්‍යන්තරව පිළිගන්නා විශේෂිත පරාමිතීන් 1035කට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රතීතනය පවතී. ITI ආයතනය ජාතික වශයෙන් වැදගත් පරීක්ෂණ රැසක් සිදු කරනු ලබන අතර ආහාර, ජලය (ආසනික් වැනි), ඖෂධ සහ විලවුන් (රසදිය අන්තර්ගතය වැනි) පරීක්ෂා කිරීමේ පහසුකම් පවතී.
විදේශයන්ට අපනයනය කරන තේ, එළවළු සහ පළතුරුවල අඩංගු පළිබෝධනාශක අවශේෂ (Pesticide Residue) පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 143ක් වටිනා අතිනවීන උපකරණයක් මෑතකදී එක් කර ඇති බව මෙහිදී අනාවරණය විය.
එමෙන්ම මහාමාර්ග (Highways) සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ශබ්ද පරීක්ෂණ (Sound Testing) සහ ධ්වනි සැලසුම් නිර්මාණය කරන්නේද මෙම ආයතනය විසින් වන අතර, ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂාව පිළිබඳ ගැටලුව (Coal Testing) සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු මතුවිය.
දැනට ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂා කිරීමට විදේශීය ආයතන වෙත මාස හයක කාලයක් සඳහා රුපියල් මිලියන 32ක් පමණ ගෙවීමක් සිදු කරනු ලැබේ. ITI ආයතනයේ නිලධාරීන් පෙන්වා දුන්නේ රුපියල් මිලියන 350ක පමණ මූලික ප්‍රග්ධනයක් ආයෝජනය කිරීමෙන් (උපකරණ 14ක් ඇතුළුව) මෙම පරීක්ෂණ පහසුකම ප්‍රතීතනය සහිතව මෙම ආයතනය තුළම ඇති කළ හැකි බවයි.
නොරොච්චෝල විද්‍යාගාරය සතුව ප්‍රතීතනය (Accreditation) නොමැතිවීම හේතුවෙන් එහි වාර්තා ජාත්‍යන්තරව හෝ අධිකරණයකදී පිළි නොගන්නා බව මෙහිදී අනාවරණය විය.එය ස්වාධීන තුන්වන පාර්ශවීය පරීක්ෂණාගාරයක් (Third-party independent lab) නොවීමද ගැටලුවක් බව මෙහිදී සාකච්ඡා විය.
ඖෂධ සහ ලිහිසි තෙල් පරීක්ෂණාගාර අඩපණ වීම හේතුවෙන් විගණන විමසුම් රැසක් මේ වන විටත් ආයතනය වෙත ලැබී ඇති බවත් රජයේ මුදල් වැය කර ස්ථාපිත කළ ඇතැම් පහසුකම් ප්‍රයෝජනයට නොගැනීම බරපතල තත්ත්වයක් බවත් රජයේ නිර්දේශයන්ට අනුව මෙලෙස මෙම රසායනාගාර ස්ථාපිත කළ බවත් මෙහිදී අනාවරණය විය.
එමෙන්ම රුපියල් මිලියන 99ක භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ 2019 දී ස්ථාපිත කරන ලද ඖෂධ පරීක්ෂණාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එකඟතාවන් නොමැතිවීම හේතුවෙන් අඩපණව (Underutilized) පවතින බවත් 2017-2020 කාලය තුළ රුපියල් මිලියන 117ක් වැය කර ඛනිජ තෙල් හා ලිහිසි තෙල් පරීක්ෂණාගාරයක් ඉදි කළද, තෙල් සාම්පල ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා එයින්ද නිසි ප්‍රයෝජන ගෙන නැති බවත් මෙහි දී අනාවරණය විය.
ඖෂධ පරීක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රධාන ගැටලුව වන්නේ "නියාමකයා සහ පරීක්ෂකයා වෙන් විය යුතුයි" (Separation of regulator and tester) යන WHO නිර්දේශය නොසලකා හරිමින්, නියාමන ආයතන විසින්ම පරීක්ෂණ සිදු කිරීම බවත් එහිදී "ලබැඳියාවන් පිළිබඳ ගැටුමක්" (Conflict of Interest) පවතින බවත් අනාවරණය විය.
රජයේ පරීක්ෂණ කටයුතු සඳහා ITI වැනි ප්‍රතීතනය ලත් රජයේ ස්වාධීන ආයතනයක් භාවිතා කිරීම දිරිමත් කරමින් නීතිමය යාන්ත්‍රණයක් සකස් විය යුතු බවට සාකච්ඡාවේදී එකඟවූ අතර එය මහජන විශ්වාසය (Public Confidence) තහවුරු කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන් (WHO වැනි) අනුගමනය කිරීමටත් හේතු වනු ඇත.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. කේ. එම් අස්ලම්, ගරු නීතීඥ නිලන්ති කොට්ටහච්චි, ගරු සමන්මලී ගුණසිංහ, ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවනන්දරාජා, ගරු රුවන් මාපලගම, ගරු අසිත නිරෝෂණ එගොඩවිතාන, ගරු චන්දිම හෙට්ටි ආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි විය.
2026-10-19
දකුණු පළාත් සභාවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීමේදී රාජ්‍ය ආයතනවලට අදාළ දීමනා ලබාදීම, චක්රලේඛ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, ප්රසම්පාදන ක්රියාවලියේ අක්‍රමිකතා සහ යන්ත්‍රෝපකරණ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්‍ය අලාභ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමු විය.2023.03.24 දිනැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී ලබාදී තිබු නිර්දේශ සම්බන්ධයෙන් පසු විපරමක් සහ 2021-2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 හා 2025 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තිබූ ඇස්ෆෝල්ට් නිෂ්පාදන යන්ත්රය 2021 වසරේදී වෙන්දේසි කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේය. 2013 වසරේදී අධිකාරිය වෙත පවරා දී තිබූ මෙම යන්ත්රය, 2018 වසරෙන් පසු මහා පරිමාණ මාර්ග කාපට් කිරීමේ ව්යාපෘති නොමැති වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව නිලධාරීහු පෙන්වා දුන්හ. යන්ත්රය අක්රියව තබා ගැනීමෙන් නඩත්තු හා ආරක්ෂණ වියදම් දැරීමට සිදුවීම ද එය වෙන්දේසි කිරීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් විය.කෙසේ වෙතත්, යන්ත්රය වෙන්දේසි කිරීමේදී එහි ඉතිරිව තිබූ තාර ලීටර් 21,782ක් සහ ඩීසල් තොගය නිසි පරිදි තක්සේරු කර වෙන්දේසි වටිනාකමට ඇතුළත් නොකිරීම හේතුවෙන් මූල්‍ය අලාභයක් සිදුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මෙම අලාභයට අදාළව ගැනුම්කරුගෙන් මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය විය.මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සිදුකර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබුණද, අලාභය අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීම මෙතෙක් සිදුව නොමැති බව ද සාකච්ඡා කෙරිණි. අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය කර සැබෑ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා නැවත පූර්ණ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.මීට අමතරව, දකුණු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වූ ප්රසම්පාදන ක්රියාවලියේදී මතුවූ ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පැළ සැපයීම සඳහා සිදුකළ ප්රසම්පාදනයකදී එකම සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීම, අත්තිකාරම් මුදල් ගෙවා තිබියදී නියමිත සැපයුම් සම්පූර්ණ නොවීම සහ අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ඉඩමක් පවරා ගැනීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එසේම, නිසි අවශ්‍යතා ඇගයීමකින් හෝ ශක්යතා අධ්යයනයකින් තොරව රුපියල් මිලියන 27ක පමණ වියදමින් ස්කෑනර් යන්ත්ර 86ක් මිලදී ගැනීම සහ ඒවායින් බහුතරයක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට නොගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. අදාළ මෘදුකාංග ව්යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඩිජිටල්කරණ කටයුතු අතරමඟ ඇනහිටීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.තවද, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ඉන්ධන සහ නිවාස දීමනා ලබාදීමේදී අදාළ චක්රලේඛ හා මූල්‍ය රෙගුලාසි නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලුණි.රාජ්‍ය මුදල් සහ දේපළ භාවිතයේදී විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, අනාවරණය වූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර, වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අදාළ නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අරවින්ද සෙනරත්, ගරු මන්ත්‍රීවරයන් වන නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, ලාල් ප්‍රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, රුවන්තිලක ජයකොඩි, මංජුල සුරවීර ආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-10-19
ක්ෂුද්ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්‍ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ගරු පාර්ලිමේන්තු මන්ත්රීතුමියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්ෂුද්ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි.ක්ෂුද්ර මූල්‍ය සහ ණය දීමේ ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම විධිමත් ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්ර මූල්‍ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.මෙහිදී ක්ෂුද්ර මූල්‍ය ව්‍යාපාර කටයුතු සිදු කරන ආයතනවලට බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය, පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්‍රායෝගික ගැටලු, තැන්පතු ලබා ගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳව සාකච්ඡා වූ අතර, දැනට ක්‍රියාත්මක ක්ෂුද්ර මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම, නියාමනයකට යටත්ව සීමිත මහජන තැන්පතු ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැය අරමුදල් වෙත ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කෙරිණි.එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ලැබෙන සහනදායී අරමුදල් නියාමනය වන ක්ෂුද්ර මූල්‍ය ආයතන වෙත ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් ණය පොලී අනුපාත පහළ දැමීමට හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.පනතේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ වගන්ති ක්‍රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ ආයතනවලට බලපත්‍ර ලබාගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මේ අතර, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් (LMSL) ආයතනය සඳහා ග්රිඩ් 68ක කැණීම් අයිතිය ලබාදීම සහ මෙහෙයුම් සහය ලබාදීම සම්බන්ධ කරුණු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ නිකුත් කිරීමට කාරක සභාව තීරණය කළේය.උතුරු-නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු වෙනත් පෞද්ගලික ආයතන වෙත ලබා නොදී රාජ්‍ය සතු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය වෙත අනන්ය කැණීම් අයිතිය ලබාදෙන ලෙස එම ආයතනය විසින් කාරක සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.මෙහිදී නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු භාවිත කරමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්රව්ය දීර්ඝකාලීනව සහ අඛණ්ඩව සපයා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා විය. ඛනිජ වැලි අමුද්රව්ය ලෙස පමණක් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කර අපනයනය කිරීමේ රජයේ ප්රතිපත්තිය අනුව, දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් අගය එකතු කිරීමේ ව්යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.එමෙන්ම, අතීතයේ නිකුත් කර ඇති ඛනිජ කැණීම් බලපත්‍ර සමාලෝචනය කිරීම, අක්රමවත් ලෙස පවතින බලපත්‍ර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සහ අදාළ ඛනිජ තැන්පතු LMSL ආයතනය වෙත පැවරීම පිළිබඳව ද සාකච්ඡා විය. පසුගිය කාලයේ සිදුව ඇති බවට හඳුනාගෙන ඇති ඇතැම් අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද සඳහන් වූ අතර, ඉදිරියේදී ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහ ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කිරීම සඳහා බහු-ආයතනික කමිටු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, කන්දසාමි ප්රභු, තිළිණ සමරකෝන්, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ සිවඥානම් ශ්රීතරන් යන මහත්ම මහත්මීන් ඇතුළු කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
2026-10-16
අධ්යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස ගරු අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නාය. ගරු අග්රාමාත්යවරියගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසමින් ඇය මෙලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. සාමාන්ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති අතර, ඒවා සඳහා Wi-Fi පහසුකම් ලබා දීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් කිසිදු සාමාන්ය ක්රමයකින් අන්තර්ජාලය සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා මෙරට ආරම්භ වූ චන්ද්රිකා අන්තර්ජාල පහසුකම් සපයන නව සමාගමක් මගින් අන්තර්ජාලය ලබා දීමට ව්යාපෘති යෝජනාවක් මගින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව නිලධාරිහු සඳහන් කළහ.පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන් කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ ලෙස ප්‍රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ද අගමැතිවරිය විසින් උපදෙස් ලබා දෙන ලදී.තෝරාගත් ප්රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ ප්‍රගතිය විමසා බැලූ අතර, ප්‍රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස පළාත් බලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දෙන ලදී. කුඩා දරුවන් පරිසරය හා සෘජුව බද්ධව ඉගෙනුම ලැබිය යුතු බැවින්, ප්රාථමික අංශවල එක් ශ්රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart classroom) පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර ස්මාර්ට් පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් අග්රාමාත්යවරිය උපදෙස් ලබා දුන්නාය. තවද අලුතින් සැලසුම් කෙරෙන ප්රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ රැඳී සිටිය හැකි විවේකාගාර හා කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය විය යුතු බව අවධාරණය කෙරිණි.පරිවාස භාරයේ පසුවන දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අධිකරණ නියෝග මත පදනම්ව කටයුතු කිරීමටත්, එම දරුවන්ට අනවශ්ය බාධාවකින් තොරව නගරාසන්න හා ජාතික පාසල්වලට ඇතුළත් වීමට හැකි වන පරිදි පොදු මාර්ගෝපදේශ සහ චක්රලේඛ ක්‍රියාත්මක කිරීමටත් කාරක සභාව විසින් උපදෙස් දෙන ලදී.වාර්ෂික ගුරු ස්ථාන මාරු ක්රියාවලියේදී අනුප්රාප්තිකයින් නොමැති වීම හේතුවෙන් විදුහල්පතිවරුන් විසින් ගුරුවරුන් මුදා නොහැරීම නිසා ඇතැම් ගුරු ස්ථාන මාරු සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට සිදු වූ බව අනාවරණය විය. අදාළ අංශ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය බඳවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට කාරක සභාවෙන් උපදේශ ලැබිණි. තවද, පාසල් වෙත පත් කර සිටින ක්රීඩා පුහුණුකරුවන්ගේ රාජකාරි නිරීක්ෂණය විධිමත් කිරීම, රාජකාරි වේලාවන් නියම කිරීම සහ පළාත් හා ජාතික මට්ටමින් ස්ථාන මාරු ප්රතිපත්තියක් සැකසීම පිළිබඳව ද සාකච්ඡා විය.විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල්වල පවතින වැසිකිළි හා ප්‍රවේශ පහසුකම්වල (Accessibility) දැඩි ඌනතා පිළිබඳව විශේෂ අවධානය යොමු විය. එම පාසල් සඳහා පවතින අවශ්‍යතා පිළිබඳව ජාතික විගණනයක් (Audit) සිදු කිරීමටත් විශේෂ ප්‍රතිපාදන යොදවා දරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ගොඩනැගිලි හා සනීපාරක්ෂක පහසුකම් කඩිනමින් ඉදිකිරීමටත් උපදෙස් ලබා දීම සිදු විය.පෙර පාසල් අධ්යාපනය නියාමනය කිරීම, ගුරු පුහුණු රාමුව විධිමත් කිරීම සහ අනවසර බාහිර ආයතන මගින් නිසි ප්රමිතියකින් තොරව සහතික පත්ර නිකුත් කිරීම වැළැක්වීම සඳහා ජාතික ප්රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මේ අතර, උසස් අධ්යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය, එම අනුකාරක සභාවේ සභාපති, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා විසින් ද, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් ද කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-10-15
වතු හා ප්රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති, ගරු වතු හා ප්රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.මෙහිදී වතුකරයේ පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්යවරයාගේ අවධානය යොමු කළහ. වතු ඉඩම්වල භාවිතයට නොගන්නා කොටස් ප්‍රයෝජනයට ගැනීම, වතුකරයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු සහ ඔවුන්ට නිවාස පහසුකම් සලසා දීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.වතු හා ප්රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු සුන්දරලිංගම් ප්රදීප් මහතා ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.