02

E   |     |  

2026-02-12

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පකිස්ථානයේ කරච්චි නුවර පැවති 7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය සමුළුවට සහභාගී වෙති

පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, 2026 පෙබරවාරි 3 සිට 7 දක්වා පකිස්ථානයේ කරච්චි නුවර  පැවති 7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපීය සමුළුව, 2 වන ඒකාබද්ධ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කඳවුරට සහ  නැගෙනහිර ආසියානු කලාපීය සමුළුවට සහභාගී වූහ. පකිස්තානයේ සින්ද් පළාත් සභාව විසින් සත්කාරකත්වය දරන ලද මෙම සමුළුව "අනාගතයේ පාර්ලිමේන්තු: විශ්වාසය, සියලුදෙනාටම අවස්ථාවන් ලබාදීම, නවෝත්පාදනය සහ සාමය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය නැවත අර්ථ දැක්වීම." යන තේමාව ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ගරු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ, සුජීව දිසානායක සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළත් වූහ. 2026 පෙබරවාරි 3 වන දින පැවති සමාරම්භක උත්සවයට පකිස්ථාන ජාතික සභාවේ කථානායක ගරු සර්දාර් අයාස් සාදික් මහතා සහභාගී විය. මෙම සමුළුවට පකිස්ථානය, මාලදිවයින සහ මැලේසියාව මෙන්ම පළාත් සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් කිහිපයක නියෝජිතයින් ද ඇතුළුව ආසියාව සහ නැගෙනහිර ආසියානු රටවල  සභාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගීව සිටියහ.

“සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසය: සංහිඳියාව සඳහා පාර්ලිමේන්තු” යන මැයෙන් පැවති පළමු සැසිවාරයේදී ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා මෑත කාලීන ආර්ථික හා දේශපාලන අභියෝගවලින් පසු ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසය නැවත ගොඩනැගීමේදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් සඳහන් ක‍ළේය. විනිවිදභාවය, අධීක්ෂණ කාරක සභා, දූෂණ විරෝධී යාන්ත්‍රණ සහ තරුණ සහභාගීත්වය තුළින් සාකච්ඡා සහ සංවාදය ප්‍රවර්ධනය කරන සහ වගවීම ශක්තිමත් කරන ආයතන ලෙස නූතන පාර්ලිමේන්තු ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළේය. එසේම එය  සංහිඳියාව, විශ්වාසය, කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය අත්තිවාරම බව ද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අධ්‍යාපනය: එදිනෙදා ජීවිතයේදී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ඇති කිරීම” යන මාතෘකාව යටතේ පැවති සැසියේදී, නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන රාමුව, ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන්, තරුණ පාර්ලිමේන්තු වැඩසටහන් සහ පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් පැහැදිලි කළ අතර, පාසල් මට්ටමේ සිට වැඩිහිටි විය දක්වා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ පාර්ලිමේන්තු වගවීම පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

ගරු විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් අගලකඩ සුජීව දිසානායක, සහ ගරු සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරු “සාමකාමී සමාජවල පෙරගමන්කරුවන් ලෙස පාර්ලිමේන්තු: ව්‍යාජ ප්‍රවෘත්ති, කෘතීම බුද්ධිය (AI) සහ වැරදි තොරතුරු වැඩිවීම”, “පැවැත්ම සඳහා නීති සම්පාදනය: දේශගුණික ප්‍රතිරෝධී හැකියාව සහ අවදානම”: “ස්ත්‍රී පුරුෂ සමාජභාවය, තාක්ෂණය සහ විශ්වාසය: මාර්ගගත ප්‍රචණ්ඩත්වයෙන් සහ ඩිජිටල් අවකාශයේ හිංසනයන්ගෙන් කාන්තා නායිකාවන් ආරක්ෂා කිරීම” යන මාතෘකා යටතේ සැසිවාරවලට සහභාගී වෙමින් සිය දායකත්වයන් ලබා දුන්හ.

සමාප්ති උත්සවයේදී, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ස්තූති කතාව පවත්වමින්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු කලාපයට, CPA සින්ද් ශාඛාවට සහ පකිස්ථාන පාර්ලිමේන්තුවට ඔවුන්ගේ උණුසුම් ආගන්තුක සත්කාර සහ සංවිධාන ශක්තිය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය. මෙම සමුළුව, සංවාදය සහ අත්දැකිීම් හුවමාරුව සඳහා වටිනා වේදිකාවක් සපයමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමේදී ශක්තිමත් පාර්ලිමේන්තුවල වැදගත්කම නැවත තහවුරු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම  මෙම සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය ද  නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය  කළේය.

සහභාගී වූ නියෝජිතයෝ කරච්චි ප්‍රකාශනය සම්මත කර ගැනීමෙන් සමුළුව අවසන් වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාමයබව, පාර්ලිමේන්තු වගවීම, සියලු දෙනා හට අවස්ථාව ලබා දීම, නවෝත්පාදනය සහ තිරසාර සාමය සඳහා කැපවීම නැවත තහවුරු කෙරිණි. එසේම  මහජන විශ්වාසය පහත වැටීම, ව්‍යාජ තොරතුරු සංසරණය සහ  දේශගුණික අවදානම වළක්වා ගැනීම මෙන්ම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරහා තාක්ෂණික දියුණුව ඇති කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කෙරිණි.



සම්බන්ධිත පුවත්

2026-03-12

පනත් කෙටුම්පත් දෙකකට කථානායකවරයාගේ සහතිකය

විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 2026.03.06 දින සිය සහතිකය සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත් දෙක 2026 පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.  විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක මගින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් හා නිෂ්පාදන ක්‍රියාමාර්ග පාලනය සඳහා පවතින නීති සංශෝධනය කර නව නීති සහ විධි විධාන හඳුන්වාදීම සිදු වේ.ඒ අනුව විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත් කෙටුම්පත, 2026 අංක 7 දරන  විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)) පනත ලෙස සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 8 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ. 


2026-03-11

පාර්ලිමේන්තුව මාර්තු 17 සිට 20 දක්වා රැස්වෙයි

ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් මාර්තු 19 සහ 20  පාර්ලිමේන්තුව මාර්තු 17 සිට 20 දක්වා රැස්වීම‍ට නියමිතය. මීට අදාළ  පාර්ලිමේන්තු කටයුතු 2026.03.06 වැනිදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය වී තිබේ. ඒ අනුව 2026 මාර්තු 17 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමට අතුරු යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.2026 මාර්තු 18 වැනි බදාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.  අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව ඇත. එසේම  ප.ව. 5.00 - ප.ව. 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. 2026 මාර්තු 19 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය වී ඇත.2026 මාර්තු 20 වැනි සිකුරාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් 2026.03.19 දින ඉදිරිපත් කරන ලද “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතව තිබේ.   


2026-03-03

සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් - පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ

2026 මාර්තු 6 වැනි සිකුරාදා දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 03) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය. ඒ අනුව එදිනට නියමිතව තිබූ  පෞද්ගලික මන්ත්‍රී යෝජනා වෙනත් දිනකදී විවාදයට ගැනීමටත් ඒ වෙනුවට 2026.02.28 දිනැති අංක 2477/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ගරු ජනාධිපතිතුමා විසින් සිදුකර ඇති ප්‍රකාශනය ඇතුළු යෝජනා සම්මතය පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය. අනතුරුව ප.ව. 5.00ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත් ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටත් නියමිතව ඇත.මේ අතර පෙර තීරණය කර තිබූ පරිදි එදින පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. එසේම  පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. එසේම  බදාදා (04)  සහ බ්‍රහස්පතින්දා (05) දිනවල පාර්ලිමේන්තු කටයුතු පෙර තීරණය කර තිබූ පරිදිම සිදු කෙරෙනු ඇත.


2026-02-26

පාර්ලිමේන්තුව මාර්තු 3 සිට 6 දක්වා රැස්වෙයි

ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 4 වැනිදාජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් මාර්තු 5 වැනිදාපාර්ලිමේන්තුව මාර්තු 3 සිට 6 දක්වා රැස්වීම‍ට නියමිත ය. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු 2026.02.18 වැනිදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය වී තිබේ. ඒ අනුව 2026 මාර්තු 3 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2467/67 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව විපක්ෂය විසින් ගෙනෙනු ලබන කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.2026 මාර්තු 4 වැනි බදාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත් පෙ.ව. 10.30 - පෙ.ව. 11.00කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.  අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය පැවැත්වෙනු ඇත. එසේම  ප.ව. 5.00 - ප.ව. 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 2026 මාර්තු 5 වැනි බ්‍රහස්පතින්දා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටත් තීරණය වී ඇත.2026 මාර්තු 6 වැනි සිකුරාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ. ඒ අනුව පහත සඳහන්  පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමගරු හේෂා විතානගේ මහතාජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම.ගරු චමින්ද විජේසිරි මහතාවෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම.ගරු රවී කරුණානායක මහතාසංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම.ගරු ලාල් ප්‍රේමනාත් මහතාබිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.ගරු රෝහණ බණ්ඩාර මහතාමහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම.ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතාෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍ර වලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks