E   |     |  

2026-02-10

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡා කෙරේ

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.02.05 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්ව ඇති පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සහ කොමිෂන් සභාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එහි සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සේල්වරාස් මහත්මිය විසින් සංසදය වෙත යොමු කරන ලද 2026.02.02 දිනැති ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, සහ අදාළ අංශ නියෝජනය කරන පිරිස් ඉතා ඉක්මනින් ජනාධිපති ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය. 

එමෙන්ම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ එවකට සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රමණී ජයසුන්දර මහත්මිය විසින් 2026 ජනවාරි 20 දින සංසදය වෙත යොමු කරන ලද ලිපිය පරිදි 2024 අංක 37 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ඇතිව තිබෙන කොමසාරිස්වරියකගේ පුරප්පාඩුව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙවර කාන්තා දිනය සැමරීම සඳහා  වැඩසටහන් සකස් කිරීමට හා 2026 වර්ෂයේ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මක සකස් කිරීම පිළබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙවර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ සිදු කිරීමටත්, දේශපාලනය තුළ බිම් මට්ටමේ කාන්තාවන් බල ගැන්වීම සඳහා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පළාත් පාලන සංසද සමග සාකච්ඡාවක් සිදු කිරීමටත් තීරණය විය. 

තවද, කාන්තා හිංසනය පිටුදැකීම පිළිබඳ කාන්තා නියෝජනය ප්‍රමුඛවූ විවිධ වෘත්තීය සංවිධාන සමග සාකච්ඡාවක් සිදු කිරීමත් සංසදයේදී තීරණය විය. එයට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුකොටගෙන පීඩාවට පත්ව සිටින කාන්තාවන් සහ ඔවුන්ගේ ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් සිදු කිරීමටද සංසද සාමාජිකත්වයේ එකඟතාව හිමිවිය.  

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-06-19

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

කැලණි ‍‍ ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය. එම කාරක සභාව පරිසර ගරු අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා  රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. මේ අනුව, කැලණි ‍ ගඟේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර ඇති සමාගම් සමඟ සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය කාරක සභාවට ඉදිරිපත් කෙරිණි.  එසේම, ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 


2026-06-18

රාජ්‍ය අයවැයට ස්ත්‍රී–පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රවේශයක් එක් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම  රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද  සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද  සංසදය විසින්  මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ  නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.


2026-06-17

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී  පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු  රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2026-06-17

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වෙයි

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09)  පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද  යෝජනා සහ තවත් ගැටලූ  රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks