පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-02-10
පුවත් කාණ්ඩ : පුවත්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153අ ව්‍යවස්ථාව යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා පහත සඳහන් පත්වීම් සඳහා සුදුසු තැනැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ කළ යුතුය:
i. නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෝ ඊට ඉහළින් වූ ධුරයක් දරන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධරයන් දෙදෙනෙක්;
ii. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙක්; සහ
iii. ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමලත් I වන පන්තියේ නිලධරයෙක්.
මීට අදාළ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ නමින් පළකර ඇති අයදුම්පත්‍රයට අනුකූලව පිළියෙල කරනු ලැබිය යුතු ය. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2026 පෙබරවාරි 20 දින හෝ එදිනට පෙර,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ
යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරනු ලැබිය යුතුය.
ලියාපදිංචි තැපෑලෙන් එවනු ලබන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.
2026-02-10
පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන දා සිට 20 වන දා දක්වා රැස්වෙයි.පාර්ලිමේන්තුව පෙබරවාරි 17 වන අඟහරුවාදා සිට 20 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත ය. 2026.02.06 වන දින ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව 2026 පෙබරවාරි 17 වන අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට සහ ප.ව. 5.00ට මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව ද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද නියමිතය.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.2026 පෙබරවාරි 18 වන බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්, (235 අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ (203 අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.2026 පෙබරවාරි 19 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.2026 පෙබරවාරි 20 වන සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන, “බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු” යන මැයෙන් වූ යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබේ.
2026-02-10
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව සඳහා පත්කිරීමට ගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(1) (ඇ) වගන්තිය ප්‍රකාරව, සිවිල් සමාජ සංවිධාන වෙතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නාමයෝජනා කැඳවයි.තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(2) (අ) (i) වගන්තිය ප්‍රකාරව, කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීනත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතුය.තවද, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12(2) (අ) (ii) සිට (v) වගන්තිය ප්‍රකාරව, එසේ නාමයෝජනා කරනු ලබන නාමිකයන් -පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නොවිය යුතුය;යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් නොවිය යුතුය;යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතුය;යම් ව්‍යාපාරයක් කරගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදිය යුතුය.පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයකට පත් කිරීම' නමින් පළ කර ඇති නාමයෝජනා පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු අතර නිවැරදිව සම්පුර්ණ කරන ලද නාමයෝජනා 2026 පෙබරවාරි 15 වැනි දින හෝ ඊට පෙරආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලයශ්‍රී ලංකා පාර්ලිමේන්තුවශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය. එවනු ලබන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් තැපෑලෙහි විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයකට පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.
2026-02-06
ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින ජෝර්ජියානු තානාපති ගරු වක්තන්ග් ජාඕෂ්විලි මහතා (Vakhtang Jaoshvili) ඊයේ (පෙබ. 05) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවාය.මෙහිදී සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය, විදුලි සංදේශ, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය වැනි අංශවල, ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරිණි.ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව 2023 දී වසර 25 ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සනිටුහන් කිරීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරිණි.ශ්‍රී ලංකා ආර්ථිකය මේවන විට ස්ථාවරවී ඇති බැවින්, විදේශ ආයෝජන සඳහා ආකර්ෂණීය අවස්ථා ඇති බව ගරු කථානායකතුමා ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා පැමිණෙන ලෙස ජෝර්ජියානු ආයෝජකයින්ට ආරාධනාවක් කළේය. ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ සුවිශේෂි ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළ අතර, මෙරට උරුමය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳීමට පැමිණෙන ලෙස ජෝර්ජියාවේ සංචාරකයින් දිරිමත් කරන බවද සඳහන් කළේය.මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරයා පැවසුවේ දෙරට අතර සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා කැපවන බවයි. එසේම ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ජෝර්ජියාවේ අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.දෙරට අතර පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉදිරියේදී දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ජෝර්ජියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ අපේක්ෂාව ද ගරු කථානායකතුමා මෙහිදී ප්‍රකාශ කළේය.
2026-02-06
ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කරන ලද "අනාගතයට සූදානම් - ඉන්දු-ලංකා සහයෝගීතා සංවාදය" යන මැයෙන් සාකච්ඡාවක් ඊයේ (පෙබ. 05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රතිපත්ති විශේෂඥයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.බලශක්ති හවුල්කාරිත්වය සහ සමුද්‍රීය සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා කෙරෙහි මෙම සංවාදයේදී අවධානය යොමු විය. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහ 'ෆැක්ටම්' ආයතනයේ තාක්ෂණික සහය මෙම සංවාදය සංවිධානය කිරීම සඳහා හිමිවී තිබිණි. ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ විය. කලාපීය සහ ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින්, තිරසාර හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායි සහයෝගීතාවයක් අත්කර ගැනීම සඳහා මෙවැනි සංවාදයක වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය වැඩබලන මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යංජල් පාණ්ඩේ මහතා, ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට සහ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ට, මෙම සංවාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළේය. තිරසාර ආර්ථික සහයෝගීතාවයක් සඳහා ණය ලබා ගැනීමට නැඹුරු මූල්‍යකරණයට වඩා ආයෝජනවලට නැඹුරු මූල්‍යකරණයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.මෙම සංවාදය සැසිවාර දෙකක් යටතේ පවත්වන ලදී. පළමු සැසියේදී බලශක්ති හවුල්කාරිත්වය කෙරෙහි අවධානය යොමු කළ අතර, චින්තන් පර්යේෂණ පදනමේ සභාපති සහ හිටපු ඉන්දීය පරිපාලන නිලධාරියෙකු වන ශිෂිර් ප්‍රියදර්ශි සහ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් යන මහත්වරු විසින් අදහස් පළ කරන ලදී. බලශක්ති සම්බන්ධතාවය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ ඒකාබද්ධ සහයෝගීතාව සඳහා නව මාර්ග ඇතුළු බලශක්ති සහයෝගීතාව සඳහා පවතින අවස්ථා සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය.දෙවන සැසිය ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වැදගත්කම පිළිබිඹු කරමින් සමුද්‍රීය සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කළේය. සමුද්‍රීය ආරක්ෂාව, සමුද්‍රීය කර්මාන්තයේ තිරසාර සහයෝගීතාව, සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ විභවය සහ අදාළ අභියෝග සාකච්ඡා කරන ලදී. චින්තන් පර්යේෂණ පදනමේ සාමාජික ආචාර්ය චාවි වසිෂ්ට් සහ සමුද්‍ර විශ්ලේෂක සහ හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරි රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න (විශ්‍රාමික) යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් ඉදිරිපත් කළහ.මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ ෆැක්ටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඕමාර් රාජරත්නම් මහතා විසිනි. ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනාගත ක්‍රියාකාරී සැලසුම් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා, මෙම කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය සහ නායකත්වය වෙනුවෙන් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසට සිය කෘතඥතාව පළ කර සිටියේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks