04

E   |     |  

2026-02-03

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

ආබාධ සහිත ප්‍රජාව ජාතික සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අතර සාකච්ඡාවක්

ආබාධ සහිත කාන්තාවන් ඇතුළු ප්‍රජාවේ අයිතිවාසිකම්, අන්තර්කරණය සහ ජාතික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ  ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය  (ආකාස)  අතර පසුගියදා (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ගරු අමාත්‍ය සරෝජා පොල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම  රැස්වීමට ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය වන එන්.ජී කමලාවති මෙ‍ෙනවිය ඇතුළු නියෝජිත පිරිසකට  ආරාධනා කර තිබිණි.

මෙහිදී ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ කාර්ය භාරය මෙන්ම වර්තමානයේ ආබාධ සහිත කාන්තාවන් ඇතුළු සමස්ත ආබාධ සහිත ප්‍රජාවට මුහුණදීම‍ට සිදුවන ගැටලු, අයිතිවාසිකම් සහ අභියෝග පිළිබඳව මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත කරුණු ඉදිරිපත් කිරීම සිදුවිය. 

පොදු ස්ථානවලට ප්‍රවේශ පහසුකම් නොමැතිවීම සහ ඉදිකර ඇති ඇතැම් ඒවා ප්‍රමිතියට අනුකූල නොවීම, ප්‍රවාහන ගැටලු, ඇතැම් බැංකු හරහා ගිණුමක් විවෘත කර ගැනීමට පවා නොහැකිවීම ඇතුළු අභියෝග සහ ඒවාට විසඳුම් ලබාදීමට අදාළ යෝජනා ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. 

ආබාධ සහිත ප්‍රජාවට අනුකම්පාවෙන් සැලකීම වෙනුවට සහකම්පනයෙන් යුතුව ඔවුන්ව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය ඇතුළු නියෝජිතයෝ අවධාරණය කළහ.

ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරමින් ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාට පාර්ලිමේන්තුවේ නියෝජනයක්  ලබාදීමට හැකිවීම සාධනීය පියවරක් බව සංසදයේ සභාපතිවරිය මෙහිදී සඳහන් කළාය. ආබාධ සහිත කාන්තාවන් ඇතුළු සමස්ත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ රජය විසින් සිදුකරනු ලබන වැඩපිළිවෙලට ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ යෝජනා සහ සහය අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. 

අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්මිනිස්ටර් පදනමේ (WFD) මෙරට ප්‍රධානී සංජය විග්නරාජා මහතා ඇතුළු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ද පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්මිනිස්ටර් පදනමේ අනුග්‍රහය සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව මූලික කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.



සම්බන්ධිත පුවත්

2026-02-06

සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයය විසින් ඊයේ (පෙබ. 05) කථානායකවරයා වෙත ඉල්ලීමක් භාරදී තිබේ. වැඩිම කාන්තා නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුව ලෙස දසවන පාර්ලිමේන්තුව කැපී පෙනේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද  නියෝජිතයන් ලෙස, ඔවුහු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සහ ඉන් පිටත ස්වකීය රාජකාරි ඉටු කරති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ " ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16 ක්‍රියාකාරිත්වයේ" කොටසක් ලෙස වාර්ෂික "තැඹිලි පැහැ දිනය" වැනි සංකේතාත්මක වැඩසටහන් සංසදය විසින් සිදු කර ඇතත්, ඒවා සභා ගර්භයේ ක්‍රියාකාරිත්වය තුළින් හරයාත්මක ලෙස අර්ථ ගැන්වීමට නොහැකි වී ඇති  බව තම නිරීක්ෂණය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ  සභාපති සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් ඉදිරිපත් කොට ඇති මෙම ඉල්ලීම තුළ සඳහන්වේ. විශේෂයෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉලක්ක කර වාචික හිංසනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් මෑත කාලයේ නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම ප්‍රකාශවල පවතින අභියෝගය හුදෙක් පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොව, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයටද, කාන්තාවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අයිතියටද එරෙහි අභියෝගයක් බව සංසදය අවධාරණය කරයි. සමස්තයක් වශයෙන් සමාජය තුළ දේශපාලනයෙහි කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයටද මෙමගින් ඍණාත්මක පූර්වාදර්ශයක් සැපයන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් යන දෙපාර්ශ්වයම විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ සිදු නොකළ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ යෝජනා කරන අතර එය ස්ථාවර නියෝග යටතේ වන "පාර්ලිමේන්තුව තුළ විනය" කොටස හරහා ක්‍රියාත්මක කළ හැකි බවද යෝජනාවේ සඳහන් වේ. ඒ අනුව, උක්ත කරුණු සලකා බලා ඒ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නව ස්ථාවර නියෝගයක් අන්තර්ගත කිරීමෙන් ස්ථාවර නියෝග සංශෝධනය කරන ලෙසට මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ. 


2026-01-30

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට දිට්වා සුලි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සහ පරිසරයට දිට්වා සුලි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.22 පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.මේ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ. මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා විසින් ඒ ඒ අමාත්‍යංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ගෙන් දිට්වා සුලි කුණාටුව හේතුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් දත්ත ඇතුළත් වාර්තාවක් සකස් කොට ඇත්දැයි විමසීය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ සිදු වී ඇති හානිය ගණනය කරමින් වාර්තා සකස් කොට ඇති බවයි. මේ සම්බන්ධයෙන් කෙටියෙන් කාරක සභාව දැනුවත් කිරීමද සිදු විය. එසේම ඒ ඒ අමාත්‍යාංශයට ඇතුළත් දෙපාර්තමේන්තු සහ සංස්ථා නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් තම ආයතන සතු දත්ත කාරක සභාවට ඉදිරිපත් කිරීම සිදු කළේය.දත්ත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සභාපතිවරයා විසින් එ් ඒ හානි සම්බන්ධයෙන් ලබාදෙන වන්දි සහ එම වන්දි ගණනය කිරීම සම්බන්ධයෙන් විමසන ලදි. මෙහිදී වැවිළි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමේන් අනතුරුව වන්දි ගෙවීම සිදු කරන බවයි. මේ නිසා එම තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව ඔවුහු පෙන්වා දුන්හ.මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ වන්දි ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් බවයි. එසේම වන්දි ලබාදීම කඩිනම් කරන ලෙසද කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදි. එසේම ඒ ඒ අමාත්‍යාංශය විසින් දිට්වා සුලි කුණාටුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් සකස් කළ වාර්තා කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කළේය. මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) අජිත් පී. පෙරේරා,  රොෂාන් අක්මීමන, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, (නීතිඥ) භාග්‍ය ශ්‍රී හේරත් සහ උපුල් කිත්සිරි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-29

ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම සම්බන්ධයෙන් සකස් කරන ලද නිර්ණායක පිළිබඳ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාවේ අවධානය

ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.21 දින පාර්ලිමේන්තුවේදී රැස් විය.මේ සඳහා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ලබාදීමට ජාතික තරුණ සේවා සභාව සකස් කිරීමට බලාපෙරොත්තු වන වැඩසටහනට අදාළ නිර්ණායක පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. එසේම මේ සඳහා  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු මගින් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය. තවද විශ්ව විද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථීන්‍ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම අනු කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ,නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-29

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම කාරක සභාව 2026.01.27 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත හා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ   විවිධ ප්‍රජාව නියෝජනය  කරන  සංවිධාන කිහිපයක  නියෝජිතයින්  තම ක්‍ෂේත්‍රයන්හි  පවතින ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තම කර්මාන්තය මුහුණ දෙන අසීරුතාවයන් පෙන්වා දෙමින් ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ඔවුහු අවධාරණය කළේය.එමෙන්ම අපනයනය දිරිමත් කිරීම උදෙසා පවතින නියාමනයන් ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරය නැවත සමාලෝචනය කර සකස් කිරීම, ආදායම් බදු සඳහා ආරක්ෂිත වරාය රීති හඳුන්වා දීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා වැට් ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන විදේශීය ආයතන නියාමනය කිරීම හා විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම ඔස්සේ තම කර්මාන්තය නගා සිටුවීමට හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. තවද මැණික් පතල් හැරීමේදී ස්කෑන් යන්ත්‍ර භාවිතය ඉඩ නොදීම සහ පවතින පතල් ඉඩම් අඩු වෙමින් යාමේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද එම කර්මාන්තකරුවෝ කාරක සභාවේ අවධානය යොමු කළහ.අවසානයේදී කාරක සභාවේ සභාපතිවරයා අදහස් දක්වමින් ලිහිල්කරණය (බදු හා භෞතික), පරිපාලනය සහ පතල් කැණීම් ප්‍රශ්නවලට අදාළ ප්‍රතිපත්ති කරුණු යන ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කර්මාන්තය තුළ ගැටලු හඳුනාගත හැකි වූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, එකී කරුණු සමස්තයක් ලෙස ඒකාබද්ධ කරමින් සවිස්තරාත්මක සාකච්ඡා ලේඛනයක් සකස් කර, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා අවධාරණය කළේය. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks