පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-01-29
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2026-01-29
ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.21 දින පාර්ලිමේන්තුවේදී රැස් විය.මේ සඳහා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ලබාදීමට ජාතික තරුණ සේවා සභාව සකස් කිරීමට බලාපෙරොත්තු වන වැඩසටහනට අදාළ නිර්ණායක පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. එසේම මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු මගින් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය. තවද විශ්ව විද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථීන් ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම අනු කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ,නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
2026-01-29
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම කාරක සභාව 2026.01.27 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත හා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ විවිධ ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් තම ක්‍ෂේත්‍රයන්හි පවතින ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තම කර්මාන්තය මුහුණ දෙන අසීරුතාවයන් පෙන්වා දෙමින් ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ඔවුහු අවධාරණය කළේය.එමෙන්ම අපනයනය දිරිමත් කිරීම උදෙසා පවතින නියාමනයන් ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරය නැවත සමාලෝචනය කර සකස් කිරීම, ආදායම් බදු සඳහා ආරක්ෂිත වරාය රීති හඳුන්වා දීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා වැට් ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන විදේශීය ආයතන නියාමනය කිරීම හා විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම ඔස්සේ තම කර්මාන්තය නගා සිටුවීමට හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. තවද මැණික් පතල් හැරීමේදී ස්කෑන් යන්ත්‍ර භාවිතය ඉඩ නොදීම සහ පවතින පතල් ඉඩම් අඩු වෙමින් යාමේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද එම කර්මාන්තකරුවෝ කාරක සභාවේ අවධානය යොමු කළහ.අවසානයේදී කාරක සභාවේ සභාපතිවරයා අදහස් දක්වමින් ලිහිල්කරණය (බදු හා භෞතික), පරිපාලනය සහ පතල් කැණීම් ප්‍රශ්නවලට අදාළ ප්‍රතිපත්ති කරුණු යන ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කර්මාන්තය තුළ ගැටලු හඳුනාගත හැකි වූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, එකී කරුණු සමස්තයක් ලෙස ඒකාබද්ධ කරමින් සවිස්තරාත්මක සාකච්ඡා ලේඛනයක් සකස් කර, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
2026-01-28
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කරන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව 2026.01.21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.ඒ අනුව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේදී සිදු කරන ලදී. එහිදී අදහස් දක්වමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන බවත් වසරකට රුපියල් බිලියන 225 - 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව පෙන්වා දුන්හ.මෙම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද පැවසූහ.ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කළේය. තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.තවද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඔවුන්ගේ පනතට සිදුකිරීමට අපේක්ෂිත සංශෝධනය හා අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් කාරක සභාව ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව පැවසීය.අනතුරුව යාපනය ශික්ෂණ රෝහල පිළිබඳව ආයතන සමාලෝචනය සිදු කෙරුණු අතර එහිදී එම රෝහලේ වර්තමාන තත්ත්වය පිළිබඳව රෝහල් බලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. දැනට රෝහලේ සිදු කරන ප්‍රතිකාර ඇතුළු සියලු සත්කාර තවදුරටත් කාර්යක්ෂම හා වර්ධනය කරගැනීම උදෙසා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුව ඇති බව රෝහල් පරිපාලන නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් කාරක සභාවට දැන්වූහ. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකාවේ දැනට ජාතික රෝහල් 3ක් පවතින බවත් නුදුරේදී අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය. එමෙන්ම කාර්ය මණ්ඩලය පිළිබදව නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේය.තවද යාපනය ශික්ෂණ රෝහල සඳහා අභ්‍යන්තර විගණකවරයෙක් රෝහලට පත්කොට රෝහල් පරිපාලනය ඇතුළු රෝහලේ ක්‍රියාකාරිත්වයේ විනිවිදභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මුනීර් මුලාෆර්, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සහ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
2026-01-27
• මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමටත් තීරණයක්කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම ප.ව 2.00 ට රැස්වී විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය කෙරිණි.එම කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් 2026.01.21 දින පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. ඒ අනුව කාරක සභාව 2026.01.28 වැනි බදාදා ප.ව 2.00 ට නැවත රැස්වීමට නියමිත ය.කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සහ කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ අතර සාමාජික මන්ත්‍රීවරයන් ඒ පිළිබදව සිය අදහස් පළ කළහ. මාස තුනක් තුළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, මයිල්වාගනම් ජෙගදීස්වරන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks