01

E   |     |  

2026-01-27

පුවත් කාණ්ඩ : පුවත් 

බොට්ස්වානාහි පැවති මානව - වනජීවී සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් සහභාගී වෙති

2026 ජනවාරි 19 සිට 21 දක්වා බොට්ස්වානාවේ ගැබරෝන් නගරයේ පැවති මානව-වනජීවී සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මන්ත්‍රණය සඳහා  ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් සහභාගී වූ අතර  මේ සඳහා බොට්ස්වානාව, අනෙකුත් අප්‍රිකානු රටවල්, තෝරාගත් යුරෝපීය සංගම් සාමාජික රටවල් මෙන්ම ආසියානු රටවල් ඇතුළු රටවල් 12 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු   සහභාගී වී සිටියහ.

මෙම තෙදින ජාත්‍යන්තර  සම්මන්ත්‍රණයේදී  දේශගුණික විපර්යාස, ඉඩම් පරිහරණයට අදාළ ගැටලු, වාසස්ථාන අහිමි වීම සහ ජනගහන වෙනස්වීම්  හේතුවෙන්  වර්ධනය වන සමාජ-පාරිසරික අභියෝගයක් වන මානව-වනජීවී ගැටුමට විසඳුම් සෙවීම කෙරෙහි  අවධානය යොමු විය. මානව ජනගහනය සහ වනජීවීන් අතර තිරසාර සහජීවනය වර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය අත්දැකීම් සහ නිවැරදි භාවිතයන් හුවමාරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, ප්‍රාදේශීය ප්‍රජා නායකයින් සහ වනජීවී සංරක්ෂණ විශේෂඥයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගරු  පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි සහ  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් යන මහත්වරු මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර දීර්ඝ කාලයක් පුරා පවතින  අලි–මිනිස් ගැටුම කළමනාකරණය කිරීමට අදාළ  ශ්‍රී ලංකාවේ ජාතික දැක්ම , ප්‍රතිපත්ති සහ  අත්දැකීම් ඉදිරිපත් කළහ. 

එහිදී 2026.01.19 වැනිදා  ගරු  නියෝජ්‍ය අමාත්‍යවරයා  අලි- මිනිස්  ගැටුම් කළමනාකරණය කිරීමේ ශ්‍රී ලංකාවේ පුළුල් අත්දැකීම් ඉදිරිපත් කළ අතර, කෙටිකාලීන  ක්‍රියාමාර්ගවල සිට විස්තීර්ණ හා දූරදර්ශි ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක විසඳුම් වෙත යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. විශේෂයෙන් අලින්ට ජීවත්වීමට උචිත කලාප ඇති කිරීම තුළින් අලි මිනිස් ගැටුම සඳහා දීර්ඝ කාලීන විසඳුම් සැපයීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. පර්යේෂණ පදනම් කරගත් ප්‍රතිපත්ති සංවර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය සහ විශේෂයෙන් සමාන අභියෝග වලට මුහුණ දෙන ආසියානු රටවල් අතර ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම ද ඔහු තවදුරටත් අවධාරණය කළේය. 

2026.01.20 වන දින, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා "මානව ක්‍රියාකාරකම් කෙරෙහි වන ජීවීන්ගේ බලපෑම කළමනාකරණය කිරීම: ප්‍රජා පාදක ස්වාභාවික සම්පත් කළමනාකරණය සහ ප්‍රතිලාභ බෙදාගැනීමේ ආකෘති" යන මැයෙන් සැසිය ආමන්ත්‍රණය කළේය. එහිදී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්, විශේෂයෙන් අලි - මිනිස්  ගැටුම්වලින් දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල ජනතාව මුහුණ දෙන යථාර්ථයන් කෙරෙහි අවධානය යොමු කළේය. මිනිසුන් සහ වන ජීවීන් අතර සාර්ථක සහජීවනයක් ලබා ගැනීම සඳහා අර්ථවත් ප්‍රජා සහභාගීත්වය, සාධාරණව ප්‍රතිලාභ බෙදාගැනීම සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. සංරක්ෂණ අරමුණු සමග බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ සමාජ-ආර්ථික අවශ්‍යතා සමතුලිත කරන ප්‍රජා කේන්ද්‍රීය ප්‍රතිපත්ති, ප්‍රාදේශීය පාලන යාන්ත්‍රණ සහ තිරසාර සංවර්ධන ප්‍රයත්න ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැදගත් කාර්යභාරය ඔහු තවදුරටත් අවධාරණය කළේය.

මෙහිදී පැවති සාකච්ඡාවලදී ක්‍රියාශීලී ප්‍රතිපත්ති හා නීති, ප්‍රජා සවිබල ගැන්වීම, වන්දි හා රක්ෂණ මගින් ආර්ථික ආරක්ෂාව සහ  වනජීවී කළමනාකරණයේ දී නවීන තාක්ෂණය හා  දත්ත මත පදනම් වූ විසඳුම්  භාවිතය  යන කරුණු අවධාරණය කෙරිණි .  විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නව ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රජා සහභාගීත්වය තුළින් අලි - මිනිස්  ගැටුම විසඳීමේදී  ලද අත්දැකීම්, මෙම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංවාදයට වටිනා දායකත්වයක් එක්  කරන ලදී.

මානව-වනජීවී සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මන්ත්‍රණය  2026.01.21 දින අවසන් වූ අතර, තිරසාර හා සාමකාමී මානව-වනජීවී සහජීවනයක් සඳහා ව්‍යවස්ථාදායක සභාවල භූමිකාව ශක්තිමත් කිරීම අරමුණු කරගත්  තීරණ සහ නිර්දේශ මෙහිදී  සම්මත කර ගන්නා ලදී.




සම්බන්ධිත පුවත්

2026-01-26

දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත රජය විසින් ලබා දෙනු ලබන ප්‍රතිලාභ පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ව්‍යවසායකයාගේ ඇපකරයකින් තොරව ණය ලබා ගැනීමේ ක්‍රමවේදය සහ තොරතුරු අදාළ බැංකුවලට නිසිලෙස සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු අවධාරණය කරතිදිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත රජය විසින් ලබා දෙනු ලබන ප්‍රතිලාභ පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.01.20 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් පවත්වන කරන ලදී. මූල්‍ය ප්‍රවේශයන්ට ඇති ප්‍රධාන බාධාවන් වන ඉහළ පොලී අනුපාත සහ ඇපකර නොමැති වීම සඳහා රජය විසින් ලබා දී ඇති විසඳුම් නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. ඉහළ පොලී අනුපාත සඳහා විසඳුම් ලෙස රජයේ හෝ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ අරමුදල් මගින් ක්‍රියාත්මක ප්‍රතිමූල්‍ය ණය ක්‍රමය (Re-financing loans) හදුන්වා දීම සහ පොලී සහනාධාර ලබාදෙන ණය ක්‍රම(Interests subsidy loans) සඳහා 2026 වසර වෙනුවෙන් රු. මිලියන 95686ක් වෙන් කර  ඇති බව  නිලධාරිහු පැවසූහ.මේ අනුව දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතු ඉක්මනින් නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන ණය (Working capital loans) ලබා දීම පසුගිය දෙසැම්බර් 16 සිට රාජ්‍ය බැංකු 3ක් මගින් මේ විටත් අරඹා ඇති බව නිලධාරීහු දැනුම් දුන්හ. පෞද්ගලික බැංකු ඇතුළු තවත් බැංකු 13 ක් මේ වන විට මෙම ණය ලබාදීමට ගිවිසුම්ගතවීම සදහා කැමැත්ත පළ කර ඇති බවත් මෙහිදී නිලධාරීහු පැවසුහ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් 0% පොලිය මත බැංකුවලට මුදල් ලබාදෙන බවත් බැංකු මගින් 3%ක පොලී අනුපාතය යටතේ රු. මිලියන 25ක් දක්වා ණය ලබා ගත හැකි බවත් ඔවුහු සඳහන් කළහ. ඒ අනුව 2026 වර්ෂය සදහා රු. මිලියන 10,000ක් ඒ සඳහා වෙන්කර තිබේ.  එසේම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත බල ගැන්වීම සඳහා වන ණය පහසුකම යටතේ රු. මිලියන 25 ක් දක්වා 5% පොලිය යටතේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගත හැකි බවත් 2026 වසරේ ඒ සඳහා රු. මිලියන 25000ක් වෙන් කර ඇති බවත් මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම ණය ලබා ගැනීමේදී ව්‍යවසායකයන් මුහුණදෙන ඇපසුරැකුම් ඉදිරිපත් කිරීමේ ගැටලුවට විසඳුමක් ලෙස  ස්ථාපිත කර ඇති සීමාසහිත ණය සුරැකුම් ආයතනය විසින් එම මෙහෙයුම් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ වන විට අදාළ ණය මුදලින් 67% ක් සදහා ඇප ආවරණය ලබා දෙන බවත් කාන්තා ව්‍යවසායකයන් සඳහා 80%ක ඇප ආවරණයක් ලබා දෙන බවත් එම ආයතනයේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය. ව්‍යවසායකයෙක් ලබා ගන්නා ණය මුදලින් 67%කට පමණක් ඇපකරයක් හිමිවීම තුළ ඉතිරි 33% සදහා ඇපකරයක් නොමැතිවීම ප්‍රායෝගික තත්ත්වය තුළ ගැටලුවක් බැවින් ඒ සඳහා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දෙන ලදී.එසේම මෙම ණය ලබා ගැනීමේදී සහ  ඇපකරයන් පිළිබඳ නිවැරදි ක්‍රමවේදය සහ තොරතුරු අදාළ බැංකුවලට සහ ව්‍යාපාරිකයන්ට තවමත් නිසිලෙස සන්නිවේදනය නොවීම ගැටලුවක් බවත් එය  නිවැරදිව සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ. කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන දායක්වය ඉහළ නැංවීම සඳහා ණය පහසුකම් ලබා දීම පෙබරවාරි දෙවන සතියේ සිට ආරම්භ කරන බවත් නිලධාරීහු සඳහන් කළහ. මේ යටතේ රු. ලක්ෂ 50 ක ණයක් කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිර්දේශය මත ලබා දීමට නියමිත බවත් 2026 වසරේ ඒ සඳහා රු. මිලියන 800ක් වෙන්කර ඇති බවත් දැනුම් දුන්හ.  මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මගින් ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රම සහ පොලී සහනාධාර ලබාදෙන තවත් ණය යෝජනා ක්‍රම පිළිබඳව මෙහිදී  මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සිදුවූ අතර ඒවාට අදාළ මන්ත්‍රීවරයන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදුවිය. මෙම වැඩසටහන සඳහා අමාත්‍යවරු පිරිසක් ද, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්  ද ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ. එසේම  නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ සෙනෙවිරත්න, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එම් ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද  සහභාගී වූහ. 


2026-01-26

ධුරයෙන් ඉවත්ව යන පාකිස්තානු මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ධුරයේ සිය සේවා කාලය අවසන් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා පසුගියදා (ජන. 22) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද සහභාගී විය.එහිදී පාකිස්තානු මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ තම ධුර කාලය පුරාවටම තමාට සහ තම දූත පිරිසට ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත සිය අවංක කෘතඥතාව පළ කළ අතර, සිය සේවා කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ප්‍රධාන මුලපිරීම් සහ ක්‍රියාකාරකම් පිළිබඳවද දැනුවත් කළේය.මෙරට ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සහ මෑත කාලීන ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළ මහ කොමසාරිස්වරයා  අනාගතයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාකිස්තානයේ කැපවීමද නැවත තහවුරු කළේය.ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සඳහා මහ කොමසාරිස්වරයා විසින් දරණ ලද උත්සාහයන් ගරු කථානායකතුමා අගය කළේය. දෙරට අතර කාලාන්තරයක් තිස්සේ ශක්තිමත්ව පවත්නා ද්වී පාර්ශ්වික සබඳතා සිහිපත් කළ ඔහු, විශේෂයෙන් ජාත්‍යන්තර සංසදවලදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් 30 වසරක යුධ සමය තුළ අවශ්‍ය අවස්ථාවන්හිදී පාකිස්තානය විසින් ලබා දෙන ලද සහයෝගයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය.තවද, ශිෂ්‍යත්ව වැඩසටහන්, කෘෂිකාර්මික සහයෝගීතාව සහ පශු සම්පත් කර්මාන්තයට අදාළ තාක්ෂණය බෙදා ගැනීම තුළින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහිද මෙම  සාකච්ඡාවේදී අවධානය යොමු විය. 


2026-01-23

මීළඟ පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු තීරණය කෙරේ

•    පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 රැස්වෙයිපෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (ජන. 23) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 දිනවල රැස්වීමට නියමිතව ඇත.පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්‍රිත්වයේදීම පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 2026 පෙබරවාරි 3 වැනි අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය) විවාදයට ගැනේ.2026 පෙබරවාරි 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා තත්‍ය දේපළ වෘත්තීකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත. එසේම පාර්ලිමේන්තුවේ දැනට පළමුවර කියවා ඇති  කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්‍ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත් දෙකට අදාළ   දෙවැනිවර කියවීමේ විවාදය පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වීමටත්  මෙහිදී තීරණය වී ඇත.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ. 2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ. ව 11.30 සිට ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ. ඒ අනුව පහත සඳහන්  පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමහේෂා විතානගේ මහතාජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම.චමින්ද විජේසිරි මහතාශ්‍රී ලංකා විදේශ සේවයේ පත්වීම් ලබාදීම විධිමත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම.රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීම.ලාල් ප්‍රේමනාත් මහතාබිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.ගරු රෝහණ බණ්ඩාර මහතාමහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.නලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම.රවීන්ද්‍ර බණ්ඩාර මහතාෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍ර වලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම.අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය) විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ ධුර කාලය පසුගියදා අවසන්වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ (4) සහ (5) ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ නව පත්කිරීමට අදාළ යෝජනා සම්මතය,  පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගැනීම සඳහා සභාවේ විශේෂ අවසරය සහිතව අද දිනයේම (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ. 


2026-01-23

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයින් තිදෙනාගේ නම් ත්‍රිත්වය ඇතුළත් යෝජනා සම්මතය සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය.  විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද (ජන. 23) පාර්ලිමේන්තුවේදී සම්මත වීම සිදු විය. මෙම පනත් කෙටුම්පත, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් වන අතර මීට අදාළ ගැසට් නිවේදනය නොවැම්බර් 21 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් 2025 දෙසැම්බර් 3 වන දින පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ ධුර කාලය පසුගිය ජනවාරි 19 වැනිදා අවසන්වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ (4) සහ (5) ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ නව පත්කිරීමට අදාළ නාමයෝජනා ත්‍රිත්වය ඇතුළත් යෝජනා සම්මතය සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමද අද සිදු විය. මේ අනුව  01.    ඔස්ටින් ප්‍රනාන්දු මහතා02.    මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය03.    රංජිත් ආරියරත්න මහතායන නාමයෝජනා ත්‍රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි වූ අතර අනුමත කරන ලද නම් ත්‍රිත්වය ගරු කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබේ. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks